Home » අලුත්කඩේට දුන් පිළිතුර

අලුත්කඩේට දුන් පිළිතුර

by sachintha
April 18, 2024 1:00 am 0 comment

උණුසුම් පිළිගැනීමක් දෙන්න! ප්‍රයෝජනවත් තොරතුරු ඉදිරිපත් කරන්න! සවන් දී ප්‍රතිචාර දක්වන්න! ගුණාත්මක සේවාවක් ලබා දෙන්න!’ කැනඩාවේ පිහිටා ඇති වයඹ දිග ප්‍රාන්ත රජය, සියල්ල සංක්ෂිප්ත කර මෙසේ දක්වන්නේ, සංචාරකයා වෙත සිය සේවය සලසන්නේ කෙසේද සඳහා වන මාර්ගෝපදේශයක් ලෙසය. මේ කලාපය වනාහි සංචාරකයන් උතුරන්නට ඇති ප්‍රදේශයකි. සංචාරක බර දරා ගැනීමට නොහැකි තත්ත්වය නිසා මෙවැනි කලාප ගණනාවක් ඒ සඳහා වන සීමා ද පනවා තිබේ. එසේ තිබියදී එම රටවල් සංචාරක සත්කාරය සඳහා ලබාදී ඇත්තේ අනුල්ලංඝනීය මාර්ග උපදේශයන්ය. සියල්ල කැටි කර සංචාරකයා සඳහා තමන් සැලකිය යුතු ආකාරය මේ තරම් සියුමැලි ආකාරයට ඒ රටවල් විදහා දක්වන්නේය. ඕවර් ලෝඩ් වුවද වැඩේ අත්නොහැර එන තනි පුද්ගලයාට වුවද උපරිම සත්කාරය දක්වනුයේ, අපට හෙතෙම එක් සංචාරකයෙක් වුවද, ඔහුගේ ජීවිතයේ එම ගමන, සන්ධිස්ථානයක් වන්නේ හෙයිනි.

එකල්හි පැමිණි සංචාරකයා සිරි විඳින ලද්දේ, සුඛෝපභෝගී ජීවිතය කරණ කොටගෙනය. විසල් හෝටල් තුළ ගෙවන ලද අවන්හල් ජීවිතය සැපයක් යැයි සිතූ ඒ යුගය අනූව දශකයෙන් පසුව අහවර විය. සංචාරකයාගේ චර්යාව ඒ රටේ ජන ජීවිතය සමඟ බද්ධ වෙන්නට පටන් ගත්තේය. ගැමි ප්‍රදේශ සොයා එම ජීවිතය ආඝ්‍රාහණය කරනු රිසියෙන් සංචාරකයා ද බැක් පැක් එකක් සහිතව මඟට බැස්සේය. කලින් සූදානම් කරන ලද නවාතැන් හෝ සප්පායම් සේවා ඔහු කෙරෙහි නොවීය. අප එදිනෙදා ගත කරන ජීවිතයමැ රසවිඳීම, සංචාරකයාගේ ආශ්වාදය විය. එය රටකින් රටකට යෑමක් නොවීය. යන රටේ ජීවිතයට සතියක් දෙකක් හුරු වීමක් විය. මෙය මානවයා ලෝකය සමඟ සිදු කරන පිළිසඳරක් බවට පත්විය. විෂම දේශගුණික, සංස්කෘතික කලාප තුළ සිට අනෙකාගේ සුවඳ සිතට ගැනීම සඳහා මෙසේ පෙළ ගැසුණු මනු තෙමේ සංචාරක ව්‍යාපාරයේ කතාව අලුතෙන් ලියන ලද්දේය. දැන් සංචාරකයා ලෙස හැඩවී එන්නේ, ගරු සරු සහිත සත්ත්වයෙක් නොව, අප වන්වූ මිනිසෙකි.

කොළඹ, කෙසෙල්වත්තේ, අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් වීදියක් මේ දිනවල දකින්නට ඇත්තේය. ඔය වැනි අත්දැකීම් සංචාරකයා ප්‍රියය. වෙනදා ඔහොම පාරේ අයිනේ පෙට්ටි කඩවලින්, බඩට යමක් දා ගැනීමට සංචාරකයෝ නොඑන්නාහ. අලුත් ට්‍රෙන්ඩ් එක අනුව එහෙම වීදි ආහාර රසවිඳීම, වෙනස් අත්දැකීමකි. මේ ආකාරයේ වීදි ආහාර සංකීර්ණ, වෙන රටවල සැලසුම්සහගතව ගොඩ නඟා ඇත්තේ, එම අත්දැකීම, අපුලකින් තොරව සංචාරකයා වෙත ලබා දීම සඳහාය.

ඒ අනුව අලුත්කඩේ ඇති පෙට්ටි කඩයකට සංචාරකයෙක් පැමිණෙන්නේ මේ අත්දැකීම විඳගනු රිසියෙනි. සමහර එකාලා හොඳට හැඳ පැලඳගෙන සිටින්නේ නමුදු තවම සිටින්නේ පරිණාමයේ මුල් යුගයේය. මෙහෙම එකෙක් සිය වැයික්කිය සඳහා සුද්දෙක් පැමිණෙන වග දුටුවිට, නිධානයක් ගොඩ ගත්තා වැනි හැඟීමක් ජනිත කර ගන්නේය. ඔහුට සංචාරකයා පෙනී යන්නේ සුද්දය සඳහා අනගි භාණ්ඩයක් සේය. කොත්තුවක් මිලට ගැනීම සඳහා සංචාරකයා ගණන් විමසූ විට රුපියල් එක්දහස් නවසීයක මිල අර ‘මුල් යුගය ගත කරන වානරයා’ ඔහුට පවසා සිටියේය. එහෙම මිලකට වීදි ආහාර ලබා ගැනීම සංචාරකයා රුචි නොවූ හෙයින්, එම ආහාර වේල ප්‍රතික්ෂේප කර වෙන අතක් බලා ගැනීමට සංචාරක තෙමේ උනන්දු විය. වානරයා සමඟ එහෙම මාරුවීම් බැරිය. ඔහු කියූ ගණනට, ඔහුගේ කෑම ලබා ගැනීම අනිවාර්යය. කොහෙන් හරි ආපු සුද්දෙක් අපිට එහෙම එපා කියන්නේ කොහොමදැයි, වානරයාගේ නොදියුණු මනස ප්‍රශ්න කරන්නේය. එතැන් සිට බලෙන් බිල ගෙවා, ඔහුගෙන් කෑම ලබා ගැනීම සඳහා සංචාරකයා සූදානම් විය යුතුය.

‘එහෙම කෑම දෙන සිරිතක් ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සමහර ස්ථානයන්හිය. මැදවච්චිය පොලිසියේ රාලහාමිලා කිහිප දෙනෙක් තම පොලිසියේම සේවයේ නියුතු නිලධාරියෙක්ගේ දරුවෙක් වෙත ඒ ආකාරයට ‘හොඳම එකෙන්’ සංග්‍රහ කළහ. එහෙම ස්ට්‍රීට් ෆුඩ් වෙළෙඳාමේ නිරතවීමට ගිය අලුත්කඩේ වානර තෙමේ, සංචාරකයා වෙත සලකන ආකාරය, වීඩියෝවක සටහන්ව, සමාජ මාධ්‍යයේ වයිරල් වී ගියේය. වීඩියෝව බලා, පොලිසියේ නුවණැති පිරිසක් අලුත්කඩේ බලා ගියහ. වානරයා හඳුනා ගත්හ. රු. 1900ට බලෙන් කොත්තු කවන්නට හැදූ එකා, දැන් කූඩුවේය.

මේ වැනි වානරයන් දුටු තැන මැදවච්චි ක්‍රමයට සංග්‍රහ කිරීමේ වරදක් නැත. ඔය පිරිස් උළා කන්නේ මේ රටේ නම්බුවය. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර සඟරා පමණක් නොවේ. මෙහි පැමිණෙන විදේශිකයෝ ටික් ටොක්, යූටියුබ්, ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය හි, ශ්‍රී ලංකාව ගැන වර්ණනා පළ කරන්නාහ. සංචාරක වෙබ් අඩවි හි කමෙන්ට් පළ කර, ශ්‍රී ලංකාවේදී තමන් ලද ගරු සම්භාවනා පිළිබඳව ප්‍රශංසා කරන්නාහ. ඒවා දුටු සඳ, තවත් සංචාරකයෙක් වෙත, මේ රටට ඒමට හිත දෙන්නේය. අලුත්කඩේ වානරයා වැනි චරිත හානි පමුණුවන්නේ ඒ කීර්තිනාමයටය. රටක කීර්තිනාමය සමඟ එහෙම සෙල්ලම් කිරීමට ඉඩ දිය යුත්තේ නැත.

සංචාරකයා යනු අතින් ගෙවාගෙන, මේ රටේ කීර්තිය ලොව පුරා පතළ කරවන අයෙකි. එහෙව් චරිත සමඟ සුමට ආකාරයට ගනුදෙනු කරන ආකාරය පාඩම් පොතේ එන්නේ නැත. කඳ බඩ උස් මහත්වූ ඕනෑම අයෙක් එය තේරුම් ගෙන කටයුතු කළ යුත්තේය. එහෙම නොදන්නා වුන් සඳහා, මේ ආකාරයට අප සත්කාර කළ යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT