Home » තරුණ කතුන් ඇතුළු 32ක් ලක්ෂපාන දිය ඇල්ලෙන් පැන බිහිසුණු ක්‍රීඩා අත්දැකීමක

තරුණ කතුන් ඇතුළු 32ක් ලක්ෂපාන දිය ඇල්ලෙන් පැන බිහිසුණු ක්‍රීඩා අත්දැකීමක

by sachintha
April 18, 2024 1:00 am 0 comment

මෙරට පළමු වතාවට මීටර් 126ක් උස ලක්ෂපාන දිය ඇල්ලෙන් පනිමින් ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීමක යෙදීමට තරුණ කාන්තාවන් ඇතුළු තිස් දෙදෙනකු (32) සමත් වූහ. ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හඳුන්වන දිය ඇලිවලින් පැනීම (waterfall rope swing jump) ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළමු වතාවට පසුගියදා සිදු කෙරුණු අතර අදියර දෙකකදී තිස් දෙදෙනෙකු ඊට එක්වූහ. මෙයට පෙර මේ කණ්ඩායම ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලෙන් බසිමින් ක්‍රීඩාවේ යෙදුණ අතර, දිය ඇල්ලකින් පැනීම සිදු වූයේ පළමු වතාවටය. මාවෙල් ශ්‍රී ලංකා නමින් පිහිටුවා ඇති ත්‍රාසජනක ක්‍රීඩාව යෙදෙන ක්‍රීඩා කණ්ඩායමේ 18 දෙනකු එක් දිනයකදීත් තවත් 14 දෙනෙකු ඊළඟ දිනයේදීත් ලක්ෂපාන දිය ඇල්ලෙන් පනිමින් මේ අපූරු ක්‍රීඩාවේ යෙදුණි. වෛද්‍යවරයකු, ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් සහ කාන්තාවන් නව දෙනෙක් ද මේ සඳහා සහභාගී වූහ. රත්නපුර දිස්ත්‍රික්කයේ විද්‍යුත් මාධ්‍යවේදියෙක් වන බළන්ගොඩ මහින්ද කුමාර මහතා ද ලක්ෂපාන දිය ඇල්ලෙන් පැනීමේ දෙවැනි අදියර සඳහා සහභාගී වෙමින් සාර්ථකව එය කළ බව මාවෙල් ශ්‍රී ලංකා කණ්ඩායම පවසයි. මහින්ද කුමාර මහතා පැවසුවේ තරුණයකු ලෙස තමා ලද අපූරු අත්දැකීම ගැන සතුටු වන බවයි. “මම හිතනවා අපි වෙනස් දේ කළ යුතුයි කියලා. මුලදී බයක් හිතට දැනුණා. ඒත් මාවෙල් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදෙස් මඟ පෙන්වීම නිසා දිය ඇල්ලෙන් පැනීම පහසුවක් වුණා” යැයි මහින්ද මහතා පැවසීය.

ලෝකයේ ජනප්‍රිය ක්‍රියාදාම ඉසව්වක් වන මෙය දැන් ලංකාවේ තරුණ තරුණියන්ට ද විවෘතව ඇති බවත් ත්‍රාසජනක ක්‍රීඩා සඳහා සංචාරකයන් පිරිසක් ලෝකයේ බිහිවී සිටින නිසා මේ ක්‍රීඩා නිසා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ද හේතුවක් වනු ඇතැයි ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම පවසයි. මේ කණ්ඩායමේ නියුතු වෛද්‍යවරයකු වන සංචරණ වෛද්‍ය විද්‍යා සංගමයේ උප සභාපති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේ මෙවැනි සුවිශේෂී අත්දැකීම් ලබාගැනීමට ලෝකයේ ඉතා හොඳ ප්‍රවණතාවක් පවතින අතර ශ්‍රී ලංකාවේ ස්වභාව ධර්මය තුළින් adventure සංචාරක කර්මාන්තය සඳහා හොඳ අවස්ථාවක් පවතින බවයි. මෙවැනි adventure ක්‍රියාකාරකම් ඕනෑම නීරෝගි පුද්ගලයකුට කරන්න පුළුවන්. මීට කලින් මෙවැනි adventure ක්‍රියාකාරකම්වල නොයෙදුණු කෙනෙක් නම් මූලික වෛද්‍ය පරීක්ෂාවකින් පසුව තමයි සහභාගි වෙන්න ඕනෑ. තමන් තමන් ගැන ධෛර්යයකින් පසුවෙන්න ඕනෑ.

එහිදී වෙද්‍යවරයා මෙසේද පැවසීය. අනිත් වැදගත්ම දේ තමයි මේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආනයනය කර තිබෙන්නේ පිටරටින්. මේ සියලු උපකරණ ජාත්‍යන්තර තත්ත්ව සහතිකය අනුමත කරන ලද උපකරණ. ඒ වගේම මේ සම්බන්ධව හොඳ පුහුණුවක් ලබාගත් කණ්ඩායම තමයි මාවෙල් ශ්‍රී ලංකා කියන්නේ. නවීන ලෝකයේ කුරුල්ලන්, කලාමැදිරියන් සඳහා වෙන් වූ සංචාරක ව්‍යාපාර පවා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය මේ වන විට විවිධාංගිකරණයට ලක් කිරීමට කාලය එළැඹිලා. මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා හරහා හොඳ විදේශ විනිමයක් ලබාගත හැකිය. ලංකාවේ දිය ඇලි ලෝකයේ අන් දිය ඇලි මෙන් නොව ඉතාමත් ආරක්ෂිත දිය ඇලි වන අතර ඉතාමත් පහසුවෙන් ළඟා වීමටද පුළුවන්. මෙවැනි ක්‍රියාකාරකම් ඕනෑම නීරෝගි පුද්ගලයකුට කරන්න පුළුවන්.

කහවත්ත – නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT