Home » දේශපාලන හිමෝෆිලියාව

දේශපාලන හිමෝෆිලියාව

by sachintha
April 17, 2024 1:00 am 0 comment

තුවාලයක් වූ විට ලේ කැටි නොගැසෙන්නේ නම්, වැඩේ කම්මුතුය. පයිප්පය විවෘත කළා සේ අඛණ්ඩව ලේ ගලා එනවා කියන්නේ, ඒ සත්ත්වයාට පමණක් නොව වටේ පිටේ අයට ද ‘ඇඟේ ලේ නැති වෙනවා’ කියන එකය. රුධිරය කැටි ගැසීම සඳහා වන සාධක අහිමි වීම ජානමය රෝගයකි. එම ජානය කාවැදුණු අයෙක්ගේ ශරීරයේ බාහිර මෙන්ම අභ්‍යන්තර ලේ වහනය නවතින්නේ නැත. මේ ලෙඩේට කියන්නේ හිමෝෆිලියාව කියාය. ඔය වැනි රෝග ගණනාවක් සමාජ දේහයේ ද වේ. එවන් එක් රෝගයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලැබීමය. සමහරක් දේශපාලන රෝගීන් වෙත මූල්‍ය අරමුදලේ වාරිකය පිළිබඳව කතා කරන කල්හි ඇඟේ ලේ වතුර වන්නේය. නොනවත්වා කෝපාග්නිය ඇවිළ යන්නේය. වාරිකය ලැබුණහොත් එය ද වාවාගත නොහැකිය. මේවා දේශපාලන පක්ෂයක අභිප්‍රාය සපුරා ගැනීම සඳහා වන පටු මාවත් වුවද රටක් ගැන සිතන විට එහෙම කටයුතු සිද්ධ නොවිය යුත්තේය.

මූල්‍ය අරමුදල යනු අසරණයන්ට පිහිටවීමේ කාර්යය සඳහා පිහිටුවන ලද්දක් නොවේ. රටක ආර්ථික අවපාතයක් ඇතිවූ විට ‘පිනට යමක්’ කියා තැටිය රැගෙන ගිය විට මූල්‍ය අරමුදල සල්ලි දෙන්නේ නැත. ඒ කාලයේ ඇත්ත පත්තරේ යුනුස්ගේ කාටුන්වල, මුදල් ඇමැති රොනී ද මැල්, කොළපතක් රැගෙන, හිඟන්නෙක් සේ සරසවා, ලෝකයෙන් හිඟා කන ආකාරයේ සරදම් පළ වන්නේය. එහෙම මූල්‍ය අරමුදල ‘හිඟමන්’ ලබා දෙන්නේ නැත. මූල්‍ය අරමුදල පිහිටුවීමේ එක් අරමුණක් වූයේ යම් සාමාජික රටක් ණය ඉල්ලීම් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් දක්වන ප්‍රතිපත්ති අනුගමනය කර, එම රටෙහි ගෙවුම් ශේෂයේ දුෂ්කරතා මඟහරවා ගැනීමට අදාළ රටට සහය වීමය. මෙම ප්‍රතිපත්ති රාමුව සකසා ගනු ලබන්නේ අදාළ රට සහ මූල්‍ය අරමුදල අතර ඇතිවෙන සාකච්ඡා මඟින් මිස මූල්‍ය අරමුදල ‘මැදට පැන’ කොන්දේසි පනවා බලහත්කාරයෙන් නොවේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල, 200 පමණ සිට 360ක් දක්වා අවප්‍රමාණ වූ රටක් ගැන දැන් බොහෝ දෙනාට මතක නැත. ඊට අනුරූපීව ආනයනික භාණ්ඩවල මිල 80%ක වැඩිවීමක් වාර්තා කළේය. පළමුව පාරිභෝගිකයා හබක් විය. ඊළඟට ලෙඩ වූයේ කර්මාන්තකරුවාය. අමුද්‍රව්‍ය ආනයනය මත බොහෝ කර්මාන්ත යැපෙන හෙයින් අමුද්‍රව්‍ය ගෙන්වා, භාණ්ඩයක් නිපදවා එළියට දැමිය නොහැකි තත්ත්වයක් උද්ගත වී සමහර කර්මාන්ත මුළුමනින්ම හාන්සි විය. ඒ අතරේ රුසියාව ද යුක්රේනයට පහර දුන්නේය. යුක්රේනය ඒ සඳහා ප්‍රතිප්‍රහාර ලබාදෙන විට අප අහක යන යුද්ධයක් නිසා, තුන් මුණින් ඇදවැටුණේය. මේ සියල්ල සිද්ධ වන්නේ එක කාලයේ බැවින් අපේ රටේ ආර්ථිකයේ නරක කාලය ලෝක ආර්ථිකයේ ද නරකම කාලයක් සමඟ සමපාත විය. අවසන් ශේෂය වූයේ 2022 අන්තිම කාලයේ උද්ධමනය 60%කට ආසන්නව ඉහළ යෑම සහ ආහාර උද්ධමනය 90% දක්වා ඉහළ යෑමය.

හිමෝෆිලියාව සේ දේශපාලනයේ ‘ආරේට’ යන ලෙඩක් පක්ෂ සඳහා තිබේ. මේ ගණන් හිලව් සහ අඳුරු අතීතය එම පිරිසේ මතකයට එන්නෙම නැත. වල්වාසි තකා ඒ සියල්ල අමතක කර දැන් දත කන්නේ මූල්‍ය අරමුදල සමඟ සිදුකරගෙන යන ක්‍රියාපිළිවෙත ‘අල’ බව කියන්නටය. වැඩේ සාර්ථක වී මූල්‍ය අරමුදලේ වාරික ලැබෙන විට වෙන ටෝක් එකකි. ඒ එවිට පාරම් බාන්නේ දැඩි කොන්දේසිවලට යටත්ව ණය ගත්තා කියාය. එම කොන්දේසි නිසා ජනතාව පිඩාවට පත්වෙන බවය.

අද ලෝක හිමෝෆිලියා දිනයය. හිමෝෆිලියාව යුරෝපයේ ‘රෝයල් ෆැමිලි’ අතර පැතිරී ගිය ලෙඩක් විය. වික්ටෝරියා රැජනට තිබූ, හිමෝෆිලියා රෝගය, ඇයගෙන්, පුත් ලියෝ පෝල්ඩ්ට සහ ඇලිස් සහ බියට්‍රිස් යන දියණියන් දෙදෙනා වෙත සංවේදනය විය. රජ පවුල් අතර විවාහ, විවිධ රටවල් අතර ද සිදු වූ හෙයින්, ‘වික්ටෝරියානු හිමෝෆිලියා උරුමය’ ස්පාඤ්ඤයේ, ජර්මනියේ සහ රුසියාවේ රාජකීය පවුල් අතර ද පැතිර යන්නට විය. මූල්‍ය අරමුදල සඳහා ඇති භීතිය ද එහෙම පැතිරී යන රෝගයකි. වමේ පක්ෂ මේ රෝගය සඳහා ජානගතව මුහුණ දෙන්නේය. ඒ වම්මු එහෙට මෙහෙට පැන සහ වමේ ලෙඩේ වටේ පැතිරී යෑම හේතුවෙන් දැන් දක්ෂිණාංශික පක්ෂ ද මූල්‍ය අරමුදල් භීතිකාව වැලඳගෙන ඇත.

මූල්‍ය අරමුදල යනු පරිපූර්ණ විසඳුමක් නොවේ. ආර්ථික අවපාතයේ හැටියට සහ දැන් සිදු කර ඇති වැඩ කොටස අනුව එයිට වඩා දෙයක් රට ඉදිරියේ ඇත්තේ නැත. ඒ නිසා මූල්‍ය අරමුදල වෙත දෙපය තබා යනවා හැර අන් විකල්පයක් මේ මොහොතේ ආණ්ඩුවට නැත. එය කැමැත්තම නොවිය හැකිය. බංකොලොත්භාවයට පත් රට සඳහා දැන් කළ හැක්කේ වාරිකයෙන් වාරිකයට මූල්‍ය අරමුදල සමඟ කතා කරමින් ගමන් කිරීම පමණය.

ජුනි මාසය වන විට මූල්‍ය අරමුදලේ තුන් වැනි ණය වාරිකය ලබාගැනීම සඳහා අප යා යුතුය. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාධනීය සාකච්ඡාවක් සඳහා ප්‍රවේශ විය යුත්තේය. ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස්ලා සමඟ සිදුවන මේ සාකච්ඡාව යනු ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එක් ස්ථානයක් පමණය. අප බැඳුම්කර නිකුත් කර ඒවා ලබාගෙන සිටින, පෞද්ගලික ණය හිමියෝ සමඟ සාකච්ඡාවේ කරුණු හතරෙන් දෙකක් සඳහා දෙපාර්ශ්වය එකඟය. තව දෙකක් සඳහා ජුනි මාසයට පෙර දෙගොල්ලෝ එකඟ විය යුත්තේය. ඒ වනාහි රාජ්‍ය ණය කණ්ඩායම් සමඟ ඇති සාකච්ඡාවන්ට අමතර කරුණුය.

මේ ආකාරයෙන් බාධක මැද්දේ ‘සිද්ධිය’ ඉදිරියට ඇදෙනවා මිස ‘කොට්ටාවෙන් හයිවේ දමා, සැණින් මාතර යන්නා සේ’ සාකච්ඡා සිදු වන්නේ නැත.

හිමෝෆිලියාව සේ මූල්‍ය අරමුදල කියූ ගමන් කොහෙන් හෝ අසුබවාදයම අතට ගන්නා දේශපාලන ජානගත රෝගය තද වූ පිරිස දැන් අලුත් සටන් පාඨයක් අතට ගැනීමට හැකිය. ණය හිමියන් සමඟ සාකච්ඡා අසාර්ථක හෙයින් තුන්වැනි වාරිකය පමා වන බව රටට කියා, තවත් භීතියක් ඔවුන් වෙ‍ෙළඳාම් කරනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT