Home » පතහ ළිඳකට නව හැවිරිදි දරුවෙක් බිලි අනාරක්ෂිත මේ ළිඳට බිලි වූ තුන්වැන්නා

පතහ ළිඳකට නව හැවිරිදි දරුවෙක් බිලි අනාරක්ෂිත මේ ළිඳට බිලි වූ තුන්වැන්නා

by sachintha
April 17, 2024 1:00 am 0 comment

ගම්පොළ නගරයේ අඹගමුව වීදියේ ඇති පැරණි අනාරක්ෂිත පතහා ළිඳට වැටී පෙරේදා (15) වයස අවුරුදු නවයක දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පොළ පොලිසිය පවසයි. මෑත කාලය තුළදී මෙම ළිඳට වැටී මියගිය තුන්වැන්නා මෙම දරුවාය. මෙයට පෙර තවත් කුඩා දරුවකු හා කාන්තාවක එසේ මියගොස් තිබිණි. මෙම අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ කොළඹ ටොරින්ටන් ජාවත්ත පදිංචි මොහොමඩ් සියාම් මොහොමඩ් ඊබ්‍රාහිම් නමැති දරුවායි.

මෙම දරුවාගේ මවගේ දෙමාපියන් ගම්පොළ අඹගමුව වීදියේ මෙම පතාහා ළිඳ අසල පදිංචිකරුවන් වන අතර මෙවර රාමසාන් අවුරුද්ද වෙනුවෙන් ඔවුන් සිය මහ ගෙදරට පැමිණ තිබිණි. මෙම දරුවාගේ මව පියා හා සහෝදරයන් දෙදෙනෙකු පසුගිය 11 වැනිදා මෙම නිවසට පැමිණ තිබූ අතර ඔවුන් නැවත කොළඹ යාමට සූදානමින් සිට ඇත.

ඊයේ දහවල් දරුවා එළියේ සෙල්ලම් කරමින් සිටිය දී මව අසල වෙළෙඳසලකට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ පියා නිවසේ නිදියමින් සිට ඇත.

මව නැවත පැමිණ බලද්දී දරුවා දකින්නට නොලැබුණු නිසා අවට ගම්වාසීන් සමඟ සොයා බලා තිබේ. මේ අතර තරුණයන් පිරිසක් නිවෙසට මීටර් 25ක් දුරින් ඇති මෙම පතහා ළිඳට බැස බලද්දි දරුවාගේ සිරුර හමු වී ඇති අතර ඒ සමඟ ගම්පොළ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබිණි.

වසර 150කට අධික කාලයක් ගම්පොළ නගරයේ බොහෝ වැසියන් දිය නෑමට භාවිත කර ඇති මෙම විශාල ළිඳ දැනට වසර හතක් පමණක ගම්පොළ නගර සභාව මඟින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එය අභාවයට පත්ව තිබේ. ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම වෙන වෙනම දිය නෑමට සකස් කර ඇති මෙය ස්වභාවික උල්පතකින් සමන්විතය. මෙහි ගැඹුර අඩි නවයක් පමණ වේ.

මෙම ළිඳ වසා දමා කිසියම් පිරිසක් එම ඉඩම් කොටස අල්ලා ගැනීමට උත්සාහ කරන අතර බහුතර පිරිසක් මෙම ළිඳ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා සිටියි.

පොලිසිය පවසා සිටියේ ළිඳ ප්‍රතිසංස්කරණය කරන තුරු එහි දොරටුව වසා දමන ලෙසයි. ඒ අනුව එම දොරටුවට තහඩු ගසා වසා දැමිණ.

දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

 

ගම්පොළ සමූහ සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT