Thursday, May 2, 2024
Home » පුංචි දරුවන්ට අලුත් අවුරුදු තෑගි අරන් ජපන් යුවළක් ලංකාවට එයි වසර 18ක් තිස්සේ ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත දීලා

පුංචි දරුවන්ට අලුත් අවුරුදු තෑගි අරන් ජපන් යුවළක් ලංකාවට එයි වසර 18ක් තිස්සේ ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට අත හිත දීලා

by sachintha
April 19, 2024 1:00 am 0 comment

අලුත් අවුරුද්දට තෑගි භෝග ගෙන ආර්ථික අපහසුතා ඇති මුල් ළමා වියේ දරුවන් සොයා ලංකාවට ආ ජපන් යුවළක් පෙරේදා (17) හම්බන්තොට, වැලිගත්ත, ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලෙන් හමුවිය.

මෙම අපූරු සත්කාරය සඳහා 18 වන වරටත් ලංකාවට පැමිණ සිටියේ ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති, 66 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori) මහත්මිය හා ඇයගේ සැමියා වන 68 හැවිරිදි යොෂිනිති මහතාය. මුල් ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්ත්වය නඟා සිටුවීම සඳහා මෙම ජපන් ජාතික යුවළගේ ප්‍රධානත්වයෙන් දැනට වසර 17ක් තිස්සේ හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි. එහි ඉගෙනුම ලබන සියලුම දුවා දරුවන් සඳහා දිනපතා නොමිලයේ ගුණාත්මක ආහාර වේලක්, අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම පොත්පත් හා අනෙකුත් සියලුම පහසුකම් මෙන්ම වෛද්‍යාධාර පහසුකම්ද ලබා දීම මෙම දෙපළ විසින් සිදුකරනු ලබයි.

මෙවර අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ලංකාවට පැමිණි මෙම ජපන් ජාතික යුවළ විසින් වැලිගත්ත ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 50 දෙනකු සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පොත්පත් හා එක් පවුලකට රුපියල් 15,000ක් වටිනා වියළි සලාක මල්ලක් බැගින්ද ප්‍රදානය කෙරුණි. මෙම අපූරු කටයුත්ත පිළිබඳව ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති 66 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori) මහත්මිය මෙලෙස පැවසුවාය.

“මේ කුඩා දරුවන්ට උදවු කරන්න මම දැන් වසර 18ක් තිස්සේ ගමන් වාර සියයකට වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිත් තියෙනවා. මගේ එකම අරමුණ මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න හා ඔවුන්ගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවන්න අවශ්‍ය උපරිම ශක්තිය ලබා දීමයි. මේක අපි බොහොම ආශාවෙන් හා කැමැත්තකින් කරන දෙයක්. අද වන විට අපිට ජපානයේ බොහෝදෙනකු මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. සුනාමියෙන් පසුව තමයි මම ලංකාවට පැමිණ මෙම ස්ථානයේ මේ ගොඩනැඟිලි හදලා මේ පෙර පාසල ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ. ඉතින් අද මට ගොඩක් සතුටුයි. මේ පෙර පාසලෙන් ඉගෙනගත්ත දරුවෝ ගොඩ දෙනකු හොඳට උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

මම ඒ සියලුම දරුවන්ට ආරාධනා කරනවා එම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ජපානයට එන්න කියලා. ලංකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා එදා සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදි කළ කතාව ජපන් ජාතිකයන්ට කිසිදා අමතක වෙන්නේ නැහැ. එතුමා එම සාම සමුළුව අමතමින් කළ කතාව ජපානය ආරක්ෂා කළා. ඒ නිසා තමයි අපි අදටත් ලංකාවට පැමිණෙමින් ලංකාවේ දුවා දරුවන්ට ඉගෙන ගන්න හා ඔවුන්ගේ පෝෂණය නඟා සිටුවන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ.”

මෙම අවස්ථාව සඳහා ජපානයේ නගෝයාහි SYS ආයතනයේ ලංකාවේ අධ්‍යක්ෂ පුෂ්ප කුමාර ජයතිලක, වැලිගත්ත ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේ ප්‍රධාන පාලිකා කුමාරි වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර නැටුම් ගැයුම්වලින් යුත් අපූරු උත්සවයකින් එම ජපන් ජාතික යුවළ පිළිගැනීමට ගම්වාසීන් කටයුතු කර තිබුණි.

සූරියවැව විශේෂ නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT