Thursday, May 16, 2024
Home » අපනයන දිරිගැන්වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රසංශා කුමාරි ජයසූරිය

අපනයන දිරිගැන්වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – මහාචාර්ය ප්‍රසංශා කුමාරි ජයසූරිය

by sachintha
May 2, 2024 2:52 am 0 comment

රටක ආර්ථික සංවර්ධනයට රාජ්‍ය ආයෝජන වගේම පෞද්ගලික ආයෝජන ද ඉතා වැදගත්රාජ්‍ය අංශයට වගේම පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩිවීම සිදු විය යුතුයි

ආයෝජනයට දේශීය විදේශීය පෞද්ගලික අංශ දිරිගැන්වෙන ආකාරයේ වැඩසටහන්වලට රජයේ දායකත්වය ප්‍රමාණවත් නැහැ සියලු දෙනාගෙන්ම බදු අය කර ගනිමින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි

මේ වන විට රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳව සහ රටේ ආර්ථික ගැටලු විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල සාර්ථක හා අසාර්ථකභාවය පිළිබඳව විමසමින් කැලය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසංශා කුමාරි ජයසූරිය සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

මේ වන විට යම්තාක් දුරකට හෝ ආර්ථිකය යහපත් තත්ත්වයකට වෙලා යැයි ඔබ සිතනවා ද ?

පසුගිය වර්ෂ දෙක තුන කාලයේදී අපේ රට මුහුණ දුන් විනිමය අර්බුදය නිසාත් රට තුළ උද්ගත වූ තවත් බොහෝ බාහිර සහ අභ්‍යන්තර සාධක නිසාත් අපට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවුණා. එවිට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය පෙර තිබුණු 7.9% ක වර්ධනය 2022 වර්ෂය වන විට -3.9% ක් දක්වා හැකිළීමකට ලක් වුණා. එය දළ දේශීය නිෂ්පාදිතය ඍණ අගයක් කරා ගමන් කිරීමක්. ඊට සමගාමීව ශ්‍රී ලාංකිකයින් ලෙස අප මුහුණ දුන් තවත් ගැටලුවක් වුණේ අධික උද්ධමනයයි. 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ උද්ධමන අනුපාතිකය 70 % ක් දක්වා ඉහළ ගියා. විශේෂයෙන්ම ආහාර උද්ධමනය සම්බන්ධයෙන් ඉහළ අගයක් ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක් ලබා ගත්තා. මෙම හේතු කාරණා සහ දත්ත මත පදනම්ව වර්තමාන ආර්ථිකය පිළිබඳ සලකා බැලීමේදී පසුගිය වසර දෙක තුනට වඩා අද වන විට රට පත්ව තිබුණු අර්බුදයෙන් යම්කිසි ආකාරයක ප්‍රගතියක් ලබාගෙන ඇති බව හඳුනා ගැනීමට පුළුවන්. මොකද 2023 වර්ෂයේ තුන්වැනි කාර්තුව වන විට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.6% කින් වර්ධනය කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම එය සිවුවැනි කාර්තුව වන විට 4.5% කින් වර්ධනය කර ගැනීමට හැකිවෙනවා. එපමණක් නොව 2022 සැප්තැම්බර් මාසය වන විට 70% ක් වූ උද්ධමන අනුපාතිකය 2024 පෙබරවාරි වන විට 5.9% ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අයුරින් සාර්ව ආර්ථික විචල්‍යයන් වෙනස් වීමක් දක්නට ලැබුණ ද මහජනතාවගේ පැත්තෙන් සලකා බැලීමේදී ආර්ථිකයේ ඇතිවූ මෙම යහපත් තත්ත්වය ඔවුන්ටත් දැනෙන බවක් පෙනෙන්නට නැහැ. මොකද අඩු ආදායම්ලාභී, දෛනික ආදායම්ලාභී බොහෝ පිරිසක් රටේ පවතින උද්ධමනය සහ බදු බර නිසා නිසා පීඩාවට ලක්වෙලයි සිටින්නේ. 2019 වර්ෂයේදී මිලියන 4ක් වූ දරිද්‍රතා ප්‍රමාණය 2023 වර්ෂය වන විට මිලියන 7ක් දක්වා වැඩි වෙලා. ඒ වගේම දවසකට වේල් කිහිපයක් පමණක් ආහාරයට ගන්නා මිනිසුන් ප්‍රමාණය 47% දක්වා වර්ධනය වී ඇති බවට පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා. මේ නිසා වර්තමානයේදී රටේ උද්ධමනය අඩු වුවත්, දළ දේශීය නිෂ්පාදිතය වැඩි වුවත් එය සාමාන්‍ය ජනතාවට යහපත් අයුරින් දැනෙන බවක් කියන්න බැහැ. නමුත් සමස්තයක් ලෙස ගත්කල රටේ ආර්ථිකය පසුගිය අවුරුදු දෙක තුනට වඩා යම්කිසි සතුටුදායක තත්ත්වයකට පත්ව ඇති බව කියන්න පුළුවන්.

IMF ණය කළමනාකරණය කර ගැනීම සාර්ථක ද?

දැනට ශ්‍රී ලංකාව IMFඑකෙන් ලැබුණු ණය බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වන විදේශ විනිමය සපුරා ගැනීම සඳහායි. තවමත් අපි විදේශීය රටවලට බහුජාතික සමාගම්වලට තිබෙන ණය ගෙවීම් මෙම මුදල් මඟින් සිදුකොට නැහැ. ඒ නිසා IMFහි ණය කළමනාකරණයේ සාර්ථක, අසාර්ථකභාවය අපිට දැකගත හැකි වන්නේ මෙම ණය නැවත ගෙවීමත් සමඟයි. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණයන්ට යාමට වගේම වෙනත් රටවලින්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් ආයතනවලින් ණය ගැනීම සහ ණය ගෙවීමේ කාලසීමාව තවත් වසර 5කට කල් ඉල්ලා ගැනීම වැනි සාධක වෙත යොමුවීමට අපට රටක් විදියට සිදුවෙනවා.

රටේ විදේශ විනිමය උත්පාදනය නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙලා ද?

රටේ දළ විදේශීය සංචිත ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. පසුගිය වසර කිහිපය සමඟ සංසන්දනය කිරීමේදී මෙය සතුටුදායක තත්ත්වයක්. නමුත් මේ තුළින් අපට සම්පූර්ණ අරමුණ කරා ගමන් කොට ඇතැයි සිතා සතුටු වීමට බැහැ. මොකද මේ වැඩි වීම මූලික වශයෙන්ම සිදුවී තිබෙන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආනයන සීමා කිරීම් මඟින් විදේශීය සංචිත ප්‍රමාණයන් ආරක්ෂා කර ගැනීමෙන්. නමුත් යම්කිසි ආකාරයකින් පැවැති අයුරින් ආනයනවලට නැවතත් යොමුවුවහොත් මෙසේ විදේශ සංචිත පවත්වා ගැනීමට හැකිවන්නේ නැහැ. ඒවගේම මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවීමත් විදේශීය ප්‍රේෂණ යම්කිසි ආකාරයකින් වැඩිවීමත් සහ සංචාරක කර්මාන්තය ක්‍රමිකව වර්ධනය වීමත් වැනි කරුණු කාරණා නිසා රටේ විදේශ සංචිත වැඩිවීමට හේතුවී තිබෙනවා. නමුත් රටේ විදේශීය ණය ගෙවීම ආරම්භ කළ පසු මෙම තත්ත්වය මේ අයුරින් තවදුරටත් පවත්වාගෙන යාමට හැකිවන්නේ නැහැ. එම නිසා මෙම සංචිත ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගන්නේ කෙසේද පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන ඇති පියවර සාර්ථක ද ?

පසුගිය වසර කිහිපය සමඟ සලකා බැලීමේදී නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා රජය මගින් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දැකගත හැකියි. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශය සංවර්ධනය කර ගැනීම සඳහා රජයේ බදු ප්‍රතිපත්තිය මඟින් ගත් ප්‍රතිපත්ති වැදගත් වෙනවා. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස මෙම ප්‍රතිපත්ති ඉතා සාර්ථක යැයි කීමට බැහැ. නිෂ්පාදිත ආර්ථිකයක් ගොඩනැංවීමේ ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ ඒ රටේ අපනයනය දිරිගැන්වෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා පෞද්ගලික ව්‍යවසායකත්වය දියුණු කිරීමට, කුඩා කර්මාන්ත දියුණු කිරීමට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික අංශයෙන් ඉදිරියට යා හැකි රටක්. නමුත් කෘෂිකාර්මික අංශය කෙරෙහි රජය විසින් දක්වා ඇති දායකත්වය, ලබා දෙන දිරිගැන්වීම් සහ දිරි දීමනා සහ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවල දුලබ බවක් දැකගන්න පුළුවන්. ඒ වගේම විදේශීය ඍජු ආයෝජන කියන්නේ නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ඉතා වැදගත් සාධකයක්. සංවර්ධනය වෙමින් පවතින රටකට නවීන තාක්‍ෂණය සහ ශිල්පීය ඥානයන් ගෙන්වා ගැනීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස විදේශීය සෘජු ආයෝජන හඳුනා ගන්න පුළුවන්. මේ නිසා විදේශීය මූලාශ්‍රයන්ගෙන් විදේශීය ණය ලබාගැනීමට වඩා කාර්යක්ෂම බව සහ ඵලදායිතාව රැකගත හැකි අවස්ථාවක් ලෙස විදේශීය ඍජු ආයෝජන පෙන්වා දිය හැකියි. නමුත් කලින් කලට රජයන්ගේ වෙනස්වීම් නිසා විදේශීය ඍජු ආයෝජකයන් ආකර්ෂණය කර ගත හැකි ස්ථාවර ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය ද නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ඍජුවම දායක කර ගත හැකි මුත් ඒ සඳහා ආයෝජනය කිරීමට දේශීය සහ විදේශීය පෞද්ගලික අංශය දිරිගැන්වෙන ආකාරයේ වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජයේ දායකත්වය ප්‍රමාණවත් නැහැ.

රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් වැඩිවීමේදී පෞද්ගලික අංශයට අසාධාරණයක් වන බවට චෝදනා නැගෙනවා ?

රටක ආර්ථික සංවර්ධනයට රාජ්‍ය ආයෝජන පමණක් නොවයි පෞද්ගලික ආයෝජන ද වැදගත්. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක පෞද්ගලික අංශය ඒ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගයක්. සේවා සහ රැකියා අවස්ථාවන් උත්පාදනයට, නවෝත්පාදනයන් සිදුකිරීමට, නව දැනුම සොයා යාමට, ආර්ථිකය තුළ තරගකාරීත්වය ඇති කරවීමට සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට පෞද්ගලික අංශය ද වැදගත් වෙනවා. රටේ උද්ධමනය සහ භාණ්ඩ මිල ඉහළ යාම රාජ්‍ය සේවකයන්ට පමණක් සීමාවූවක් නොවෙයි. පෞද්ගලික අංශයේ ජනතාවට ද ඒ මිල ගණන්වලට, ඒ ප්‍රතිපත්තිවලට අනුකූල වීමට සිදුවෙනවා. ඒ නිසා රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ ද වැටුප් වැඩිවීම සිදු විය යුතුයි. එසේ සිදු කිරීමෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාව මෙන්ම ඵලදායීතාව වැඩි කරගත හැකියි. එසේ නොමැතිවුවහොත් සමතුලිත ආර්ථික ක්‍රියාවලියක් ආර්ථිකය තුළ දැකගත හැකි වන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයට සාපේක්ෂව රටක ඉතා වැදගත් අංශයක් ලෙස සැලකිය යුතුයි.

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔබ යෝජනා කරන කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් මොනවාද?

රටේ ආර්ථික දියුණුව සඳහා දිගුකාලීන සැලසුම් යෙදිය යුතුයි. එහිදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. රජයේ මූල්‍ය කළමනාකරණය ක්‍රමවත් නොවීම සහ ප්‍රධාන මූලාශ්‍රයන්ගෙන් බදු ආදායම් නොලැබීම වැනි සාධකයන් නිසා රජයේ ආදායමට වඩා වියදම ඉහළ යාමෙන් දිගුකාලීන රාජ්‍ය මූල්‍ය හිඟයකට මුහුණදීමට සිදුවෙලා තිබෙනවා. මේ නිසා රජය මූල්‍ය කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. තවත් කාරණාවක් වන්නේ ක්‍රමවත් බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමයි. මෙහිදී සියලු දෙනාගෙන්ම බදු අය කර ගනිමින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතු අතර රජයේ වියදම් කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා. එසේම අනවශ්‍ය දේවල් සඳහා වියදම් අවම කරමින්, අනවශ්‍ය බඳවා ගැනීම් නතර කරමින් සහ වංචා දූෂණවලින් තොරව රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ වගේම රටේ දළ දේශීය නිෂ්පාදිතය සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන දිරිගැන්වීම් සිදු කළ යුතු අතර විවිධ රටවල්වල වෙ‍ෙළඳපොළවල් හඳුනා ගනිමින් නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජකයන් වැඩි කර ගනිමින්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒවගේම නවෝත්පාදන හඳුනා ගනිමින් විදේශීය වෙළෙඳපොළවල්වල භාණ්ඩ සමඟ තරග කිරීම සඳහා අවශ්‍ය වන නවීන නිෂ්පාදන තාක්ෂණය සඳහා රට ආයෝජනය කළ යුතුයි. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතුයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ බලයට පත්වන රජයේ අවශ්‍යතාව මත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. මේ නිසා විදේශීය සෘජු ආයෝජකයන්ගේ ආකර්ෂණය සහ විශ්වසනීයත්වය අඩු වී තිබෙනවා. ඒවගේම විටින් විට සිදු වන දේශපාලනමය බිඳ වැටීම් සහ පක්ෂ මාරුවීම් නිසා විදේශීය ආයෝජකයන් අහිමි වීම සිදුවෙනවා. රටක් ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේදී සැමටම සමාන වූ නීතියක් පැවැතීම ද ඉතා වැදගත්. මෙම කරුණු කාරණාවලට අමතරව රටේ පුරවැසියන් ද ආර්ථික ක්‍රියාවලිය සංවර්ධනය කර ගැනීමට සහාය දැක්විය යුතුයි. ආදායමක් නිසි ලෙස නොලබන බොහෝ දෙනෙක් රජයේ සහනාධාර බලාපොරොත්තු වෙනවා. ඊට වඩා ඔවුන්ටත් ආදායමක් ලැබිය හැකි යමක් කළ හැකි නම් එය ඉතා වැදගත්. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මෙන්ම රටේ පුරවැසියන්ගේ ද ඒකාබද්ධ වෑයමක් ලෙස තමයි අපිට රටක් ලෙස ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ.

කෞෂාණි පල්ලියගුරු

ජන සන්නිවේදන අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය

ඡායාරූපය – සමීර කේ. අත්තනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT