Saturday, May 18, 2024
Home » උමා ඔය ටර්බයින් දෙකට අපේ නම් දානවා කියා ඉරාන ඉංජිනේරුවන් කියද්දී අපි හිනා වුණා

උමා ඔය ටර්බයින් දෙකට අපේ නම් දානවා කියා ඉරාන ඉංජිනේරුවන් කියද්දී අපි හිනා වුණා

විදුලි ජනන ව්‍යාපෘති ලේකම් ලෙස කටයුතු කළ දසුනි සචින්ද්‍ර මාධ්‍යයට කියයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment
සුලෝචනා‌ සංජීවනී සහ දසුනි සචින්ද්‍ර ලුවිස්

උමා ඔය බහුකාර්ය ව්‍යපෘතියේ ටර්බයින් (විදුලි ජනන යන්ත්‍ර) අංශයේ ව්‍යපෘති ලේකම් ලෙස වසර හයක් සේවය කළ මගේ නමත් මට සහාය දැක්වූ සුලෝචනා‌ නංගීගේ නමත් ටර්බයින් දෙකට දැම්මා කියන ආරංචියත් සමඟ අපි දෙන්නාගේ කකුල් වෙව්ලන්න පටන්ගත්තා යැයි දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය පැවසුවාය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය ඊයේ (24) ජනතා අයිතියට පත්කරන අවස්ථාවේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් සඳහා තමන්ගේ නම් දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.

උමා ඔය ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කළ ඊයේ දිනයේ දසුනිගේ නමත් සුලෝචනාගේ නමත් ඇතැමුන් නිතර කියවමින් ඒ දෙදෙනා ගැන විපරම් කළ කාටත් එම දෙදෙනා නෙත නොගැටුණේ ඔවුන් වැඩ බිමට සමුදී වෙනත් රැකියාවලට ගොස් සිටිය නිසාය.

කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටින දසුනිව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් සමඟ ටර්බයින දෙකට නම් දැමීමේ සත්‍ය කතාව දැනගැනීමට හැකිවිය.

ඒ ගැන දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය මෙසේ අප සමඟ පැවැසුවාය.

අද දවසේ උමා ඔයේ ටර්බයින දෙකට තේ හදපු කෙල්ලෝ දෙන්නෙක්ගේ නම් දාලා කියලා සමාජ මාධ්‍යයෙන් සහ ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය වුණා. ඒක මහා බොරුවක් අපි දෙන්නාට ඒක නිසා අවමානයක් සිදු වුණා. මම උමා ඔයේ ටර්බයින් අංශයේ ව්‍යපෘති ලේකම් ලෙස කටයුතු කළා. සුලෝචනා‌ නංගී කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක්. අපි දෙන්නා ටර්බයිම අංශයේ සේවය කරද්දී ඉරානයේ ඉංජිනේරුවන් සමඟ සුහඳව වැඩ කළා. උපරිමයෙන් හා කැපවීමෙන් උමග ඇතුළේත් කාර්යාලයේත් සේවය කළා.

කාලයක් යද්දී ඒ රටේ ඉංජිනේරුවන් සහ නිලධාරීන් කිව්වා අපි දෙන්නාගේ නම් දෙක ටර්බයින දෙකට දානවා කියලා. අපි විහිළු කරන්න එපා කියලාත් කිව්වා. මෙතන වැඩ කරන්න හිටපු කාන්තාවෝ දෙන්නත් අපි දෙන්නා විතරයි. මෙවැනි දැවැන්ත විදේශීය රටකින් කරගෙන යන ව්‍යපෘතියකට අපේ නමක් දානවා කියන්නේ හීනයක්. අපි දෙන්නා නිතර මේ විහිළුව ගැන කතා කළා. ඇතැම් අවස්ථාවලදී සමහර ඉංජිනේරුවරුන් ටර්බයින හයිකරද්දී ළගින්ම වැඩ කරන ගෑනු අයගේ නම් දාන කතාවකුත් කිව්වා. ඒත් අපිට විහිළුවක් විතරයි.

අනේ දවසක් ඇත්තටම අපි දෙන්නගේ නම් දෙක ටර්බයින දෙකට දාලා අපිට පෙන්නුවා. ඒ වෙලාවේ කකුල් වෙවුලලා අපිට කලන්තය වගේ හැදුනා. අපිට හිතා ගන්නා බෑ. හිතේ තිබුණ හීනය අපිට සැබෑ වුණා. ජීවිතයේ ලබන්න තිබුණ ලොකුම සතුට අපි එදා ලැබුවා. ඇත්තටම මමත් සුලෝචනාත් අපිට ලැබුණ රැකියාව අවංකවම හා උපරිමෙන් කළා. හිතේ තිබුණ ශක්තියත් සමඟ උමගක් ඇතුළේ අපි වැඩ කළා. අපි කළ කැපවීමට ඒ රටේ අය අපේ නම් දෙක පවා ටර්බයිනයට දැම්මා. නමුත් අද ඊයේ අපිට එතනට යන්නවත් අපේ අය අවස්ථාව දුන්නේ නෑ. ඒ කියන්නේ ආරාධනාවක් නැහැ. ඇත්තටම විවෘත කළ දවසේ අපි යන්න ආසාවෙන් හිටියා අපිට ඒක මඟ හැරුණා. අපේ රටේ හැටි එ‍හෙම වෙන්න ඇති.

2016 වසරේදි තමයි මම රැකියාවට ගියේ අපි දෙන්නාම වසර හයත් එක දිගට වැඩ කළා. 2022දී උමග මැදින් ගලා ආ ජල දහරාවක් නතර වෙන්නේ නැති නිසා වසරක කාලයක් වැඩ නතර කළා. මම වැල්ලවාය කරදගොල්ලේ පදිංචිකාරිනියක් වුණත් ස්වාමියා හා දරුවා සමඟ කුරුණෑගලට ආවා. මම දැන් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. සුලෝචනා‌ නංගී ගැන ආරංචියක් නෑ,

කෙසේ වෙතත් අද උමා ඔය විවෘත කළා කීවාම මට ලොකු සතුටක් දැනුණා යැයි ඇය කීවාය.

සුලෝචනා‌ සංජීවනී මෙසේ කීවාය.

මම ජීවිතේ ලබන්න ඕනි සතුට ලැබුවා. වෙල්ලස්සේ ඉපදිලා සුළු රැකියාවක් කළ මටත් දසුනි අක්කාටත් මේ වගේ ගෞරවයක් විදේශීය රටකින් ලැබෙයි කියලා අපි දෙන්නා හීනයකින්වත් හිතුවේ නැහැ.

මම 2017 දී උමා ඔය ව්‍යපෘතියේ ටර්බයින් අංශයේ වැඩ කළා. එහි හිටපු ඉංජිනේරුවන් අපි දෙන්නාගේ නම් දෙක ටර්බයින දෙකට දානවා කීවා. අපි හිතුවේ විහිළුවක් කියලා. බලද්දී නම් දෙක දාලා. අපිට තාම ඒක හීනයක් මට හිතා ගන්නවත් බෑ. ඉරාන ජනාධිපතිටත් අපේ රටේ ජනාධිපතිතුමාටත් මම ස්තුති කරනවා. අපි දෙන්නට දුන්න ගෞරවය ගැන. ඊයේ උමා ඔය විවෘත කළා. අපිට යන්න බැරි වුණා. ඒත් මට ඉතාම සතුටුයි යැයි ඇය කීවේය.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT