Home » ජපන් රැකියා දෙනවා කියා මුදල් වංචා කළ කාන්තාව මැයි 8දා තෙක් යළි රිමාන්ඩ්

ජපන් රැකියා දෙනවා කියා මුදල් වංචා කළ කාන්තාව මැයි 8දා තෙක් යළි රිමාන්ඩ්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ජපානයේ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් පනස් හය ලක්ෂ අනූදහසක මුදලක් වංචා කළේ යැයි සැකපිට රිමාන්ඩ් කර සිටි කාන්තාවක් ලබන මැයි මස 8 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කළ මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය එදිනට එම සැකකාරිය බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (24) නියම කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පදිංචි ශර්මිලා ජයරත්න නමැති කාන්තාව එසේ බන්ධනාගාරගත කර ඉදිරි දින බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නන්දන නාලක බණ්ඩාර, වික්ටර් ජයරත්න ෆොන්සේකා යන අය විසින් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිලි විමර්ශනය කර සැකකාරියට එරෙහිව නඩු පවරා තිබිණ. බන්ධනාගාර නිලධාරීන් වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බැවින් අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව පැවසීය.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් (71453) ඩී.එම්.ඒ. කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙම සැකකාර කාන්තාව ජපන් රටේ විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් සම්බන්ධව දිවයිනේ විවිධ අධිකරණ රැසක නඩු රැසක් පවරා ඇති අතර, ඇය එම නඩු සඳහා ඉදිරිපත් නොවී පලා ගොස් සැඟව සිටියදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පැවසීය.

මෙම සැකකාරිය ජපන් රටේ රැකියා ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් සම්බන්ධව ඇප මත සිටියදී පවා නැවතත් මෙලෙස දිගින් දිගටම මුදල් ලබා ගෙන වංචා කර ඇති බවට හෙළිවන නිසා මෙම සැකකාරියට ඇප ලබා දීම සම්බන්ධව තරයේ විරුද්ධ වන බව සැරයන්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය.

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT