Home » රුසියානු-යුක්රේන හමුදා සේවයට ගිය මෙරට ආරක්ෂක අංශවල පිරිස් ගැන පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබෙනවා

රුසියානු-යුක්රේන හමුදා සේවයට ගිය මෙරට ආරක්ෂක අංශවල පිරිස් ගැන පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබෙනවා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ජාවාරම්කරුවන් පිරිසක් මෙරට ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිස් රුසියාවට හා යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව කරුණු සොයා බලාගෙන යනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ද අවශ්‍ය සොයා බැලීම් සිදු කරනවා. මේ සම්බන්ධයෙන් පුළුල් පිළිතුරක් අද දිනයේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ලබාදෙනවා.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු කිරීම ගැන දයාසිරි ජයසේකර මහතාට මම ස්තූතිය පිරිනමනවා. එම කාරණය පිළිබඳව ජනතාවටත් අදහසක් ලබා ගැනීමට මෙය අවස්ථාවක්. දැනට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. යම් රැකියා ඒජන්සියක් මුවාවෙන් යම් ජාවාරම්කරුවන් පිරිසක් රැකියා ලබාදෙන මුවාවෙන් රුසියාවට හා යුක්රේනයට රැගෙන ගොස් ඔවුන් වෙනත් රැකියා වෙනුවට රුසියානු හා යුක්රේන හමුදාවන්ට බඳවා ගෙන ඇති බවට. ඒ පිළිබඳව දැනටමත් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කරුණු සොයා බලමින් සිටිනවා. ඒ වගේම මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මහජන ආරක්ෂක ඇමැතිවරයා හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා.”

දයාසිරි ජයසේකර මහතා මෙසේ ද පැවැසීය.

අපේ හමුදා සෙබළු අරන් ගිහිල්ලා රුසියාවේ යුද්ධයට පාවිච්චි කරනවා. සමහර අය යුද්ධයට අරන් යනවා. සමහර අය ජෙනරල් හෙල්පර්ස්ලා විදිහට අරන් යනවා. මේක ජාවාරමක්. කෑම්ප් හෙල්පර්ස්ලා විදිහට අරන් ගිහින් ඒ අය යුද්ධයට අරන් යනවා. කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයා තවත් කිහිපදෙනෙකු අරන් ගිහිල්ලා යුද ටැංකියක් ඇතුළට දානවා. ඒ යුද ටැංකිය පුපුරලා දෙන්නෙක් මැරෙනවා. මේ පුද්ගලයා පැනලා එළියට එනවා. දැන් මේ කුෂන්ත ගුණසිංහ අතුරුදන්. මේ හොඳට වැඩ කරපු හමුදා නිලධාරියෙක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT