Saturday, May 18, 2024
Home » මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

by chanaka
May 5, 2024 11:52 am 0 comment

දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු මෙන්ම මෙරට ප්‍රමුඛතම විද්වතෙකු වු මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාත්‍රීයේ දී අමෙරිකාවේ සිදුකිරීමට නියමිතය.

මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අමෙරිකාවේ දී සිදුකිරීමට නියමිතය.

මේ අතර ඒ මහතා වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී ‍භික්ෂුන් වහන්සේ සියක් නමකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පාංශකූල පිංකම පැවැත්විමට නියමිතය.

සියලු ජාතික සංවිධාන හා දේශහිතෛෂි ව්‍යාපාර එකතුවෙන් මෙම පාංශකූල පිංකම සිදුකෙරේ.

කොළඹ තර්ස්ටන් සහ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු නලින්ද සිල්වා මහතා 1962 වසරේ දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වේ.

එහිදී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් ලබා ගන්නා ඒ මහතා එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.

සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් ඔහු අනාවැකි පළ කළේය.

පසුව කැලණිය විශ්වවිද්‍යාලයට එක්වු මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද හෙඹවීය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිවරයා ද වු ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කලක් කටයුතු කළේය.

තිදරු පියෙකු වු ඒ මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහු විසින් පළ කරන ලද පුවත්පත් ලිපි සංඛ්‍යාව දෙදහස් පන්සියය ඉක්මවයි.

ජාතික චින්තනය, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාව දේශපාලන මතවාද සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙකු වු මහාචාර්ය නලින් ද සිල්වා මහතා මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කළ විද්වතෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT