Sunday, May 5, 2024
Home » සිරිපා වඳින්න ගිහින් අතුරුදන් වූ තරුණයා දින 5කට පසු හමුවෙයි

සිරිපා වඳින්න ගිහින් අතුරුදන් වූ තරුණයා දින 5කට පසු හමුවෙයි

by sachintha
April 26, 2024 1:07 am 0 comment

ශ්‍රී පාදස්ථානයට ගියා මතකයි: කන්දෙන් බිමට පැන්න කියලා දන්නේ නැහැ

කැලෑවේදී මට සිහිය ආවා – බිහිසුණු අත්දැකීමක් ගැන දිනේෂ් කියයි

“මට මතක ශ්‍රී පාදස්ථානයට ගියා විතරයි. ඉන් එහාට වුණු දෙයක් මතක නෑ.මම දන්නේ නැහැ කන්දෙන් පැන්න කියලවත්. මට එහෙම කන්දෙන් පනින්න වුවමනාවක් තිබුණේ නෑ. මට සිහිය ආවේ කැලෑවේදි. මගේ මුහුණට වතුර වගයක් විසි වුණා. ඒ වෙලාවෙයි සිහිය ආවේ. වැස්සක් තිබුණෙත් නැහැ.වතුර මුහුණට විසි වුණේ කොහොමදවත් කියා මම දන්නේ නැහැ”යි ශ්‍රී පාදස්ථානය වන්දනාවේ පැමිණ පසුගිය 19 වැනිදා උඩමළුවේ රත්නපුර මාර්ගයෙන් බිමට පැන අතුරුදන්ව සිට දින පහකට පසු පෙරේදා (24) හමු වූ දිනේෂ් හේමන්ත නමැති තරුණයා නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් හා සිද්ධිය ගැන පවසා ඇත්තේ එවන් කතාවකි.

සිහිය එන විට කැලෑව මැද සිටි තමා මාර්ගයක් සොයා කැලෑවේ ඒ මේ අත ඇවිදින විට කුඩා ජල පහරක් හමු වූ බවත් එම ජල පහර ඔස්සේ පැමිණීමේදී තේ වතුයායක් හමුවූ බවත් ඒ වත්තේ සිටි පිරිසකට තමාට වූ දේ ගැන පැවසූ විට පොලිසියට දැනුම් දී තමා පොලිසියට භාර දුන් බවත් දිනේෂ් පවසයි.

මේ තරුණයා කැලෑව මැදින් ගමන් කිරීමේදී ගස් කොළන් සහ කටු පඳුරුවලට ඇතිවුණු සුළු සීරීම් හැරුණු කොට කන්ද උඩ සිට බිමට වැටීමෙන් කිසිදු අස්ථි බිඳීමක් හෝ තුවාලයක් සිදු වී නැති බව පොලිසිය කියයි.

මේ තරුණයා 18 වැනිදා ඔහු අනියම් ඇසුරක් පවත්වන කාන්තාවක් ඇතුළු පිරිසක් සමඟ ශ්‍රී පාදය කරුණා කිරීමට පටන්ගෙන ඇත්තේ නල්ලතන්නියෙනි.19 වැනිදා උදෑසන ශ්‍රී පාදස්ථානයට පැමිණි ඔහු උඩමළුවේ සිට කන්දෙන් බිමට පැන ඇත්තේ රත්නපුර මාර්ගයෙනි. ඔහු උඩමළුවෙන් ආරක්ෂිත වැටෙන් එහාට පැන කන්දෙන් බිමට පනින අයුරු උඩමළුවේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල ද සටහන් වී තිබී ඇත. ඒ හැරුණුකොට ඔහු බිමට පනින අයුරු ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශාල පිරිසක් ද දැක ඇත.

මේ තරුණයා අවුරුදු 33ක් වයසැති සූරියවැව පදිංචිකරුවෙකි. ඔහු සමඟ වන්දනාවේ පැමිණි අය නල්ලතන්නිය පොලිසියටත් ඔහු උඩමළුවෙන් බිමට පැනීම ගැන විමර්ශන පැවැත් වූ සිරිපාගම පොලිසියටත් මුල් අවස්ථාවේදීම පවසා තිබුණේ උඩමළුවට පැමිණි මොහොතේ සිට ඔහු හැසිරුණේ සිහි විකල්ලෙන් මෙන් බවය.

මේ තරුණයා බිමට පැන ඇත්තේද හෙළක් වැනි ස්ථානයකිනි. ඒ ස්ථානය අඩි 100කට වඩා ප්‍රපාතයක් බව පොලිසිය කියයි. මෙවන් ස්ථානයකින් පැන අතපය නොකැඩී මේ තරුණයා බේරී තිබීම ගැන පොලිසියටත් ඇත්තේ පුදුමයකි.

“මේ තරුණයා කියන්නේ දිය පහර දිගේ පැමිණි බවයි. කන්න යමක් ලැබී නෑ. ගහකොළ සහ ගෙඩි පවා ඔහු ආහාරයට ගෙන නෑ. හැබැයි දිය පහරින් වතුර බිබී පහළට ගමන් කළ බවයි කියන්නේ. 19,20,21,22 සහ 23 දිනවල රාත්‍රී පහක් ඔහු ගත කර තිබෙන්නේ කැලෑවේ. අපි ඔහුගෙන් ඒ ගැන ඇහුවා. දියපාර දිගේ එනකොට රෑ වුණාම ගල්තලාවක් හරි ගහක් මුල හරි නැවතුණා කියලයි කියන්නේ. ඔහු හමුවෙනකොට හිටියේ හෙම්බත් වෙලා. ඒ ශරීරය දුර්වල වෙලා, ගමන් මහන්සිය හා කෑම නැතිකමින්. සුළු සීරීම් කීපයක් තිබුණා. ඒවත් ගස් කොළන්වලට සීරුණු ඒවා. ඒ හැරුණු කොට වෙන කිසිම ශාරීරික අපහසුතාවක් හෝ තුවාලයක් ඔහුගේ සිරුරේ දකින්න නැහැ”යැයි නල්ලතන්නිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ තරුණයා දිය පහර දිගේ පැමිණ මතු වී ඇත්තේ නල්ලතන්නිය පොලිස් වසමේ රාජමලේ කොටසේ මරේවත්තේදීය. අපහසුවෙන් ඔහු ජල පහර දිගේ පැමිණ තේ වත්තේ ඇති කොටසක වැටී ඇති බවත් එහිදී වතු කම්කරුවන් ඔහු අසලට පැමිණ තොරතුරු අසා පොලිසිය දැනුම්වත් කර ඇති බවත් කියයි.

පොලිස් නිලධාරීන් පැමිණ ඔහුව මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහලට මාරු කර යවා ඇත. දික්ඔය මූලික රෝහලේ තරුණයා ප්‍රතිකාර ලබමින් සිටී.

මේ තරුණයා උඩ මළුවෙන් බිමට පැන්න බව වාර්තා වූ මොහොතේ සිට පොලිසියත් යුද හමුදාවත් ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. ඊට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා කමාන්ඩෝ සෙබළු ද සම්බන්ධ වී සිටියහ. තරුණයා වැටුණු ස්ථානය මෙන්ම ඒ අවට සෝදිසි කළද ඔහු සොයාගත නොහැකි විය. ඔහුගේ ජංගම දුරකතනයේ අවසානයට ඔහු රැඳී සිටි ස්ථානය පෙන්නුම් කළ බැවින් කන්දෙන් පහළ කැලෑබද එම ස්ථානය හඳුනාගෙන පරීක්ෂා කළත් අඩුම තරමින් එම ස්ථානයේ තිබී දුරකතනය හෝ වෙනත් කිසිදු සලකුණක් හමු වී නැත. එබැවින් ඇතිවුණු යම් සැකයක් මත පොලිසිය මේ තරුණයාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබිණි. තරුණයා හමුවන්නේ පොලිසිය ඔහු සොයා එවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබියදීය. එහෙත් තරුණයා හමුවන විට ජංගම දුරකතනය ඔහු සතුව නොවීය. ඊට කුමක් සිදුවීදැයි තමා නොදන්නා බව ද ඔහු පොලිසියට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන්ට මෙන්ම එහිදී අනතුරට ලක් වන වන්දනාකරුවන්ට සමන් දෙවියන්ගේ රැකවරණය ලැබෙන බවත් ශ්‍රී පාදස්ථානයේ හාස්කම් තිබෙන බැවින් දිනේෂ් හේමන්ත තරුණයාට කිසිම අනතුරක් සිදුව නැති බවත්ය.

ගයාන් කුමාර වීරසිංහ, හැටන් – රංජිත් රාජපක්ෂ, සුදත් මනුර සෙල්ලහේවා, හැටන් – මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT