Home » වනජීවී ආඥා පනත උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ සත්තු 88ක් අත්අඩංගුවට

වනජීවී ආඥා පනත උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ සත්තු 88ක් අත්අඩංගුවට

by sachintha
March 27, 2024 1:13 am 0 comment

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත, සත්ත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමඟ තරුණ ව්‍යාපාරික යුවළක් පෙරේදා (25) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්, රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව නිරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ ව්‍යාපාරික යුවළ වයස අවුරුදු 35 තරමේ පසුවන්නන් වෙයි.

මොවුන් දෙදෙනා පෙරේදා (25) පස්වරු 04.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන්, ගෙම්බන්, මාළු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා හා තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණි.

මෙම ජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හෝ රේගු නිලධාරීන්ට ඇස නොගැටීම ගැටලුවක් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු පැවැසූහ.

කෙසේ වෙතත් මීට දෙසතියකට ඉහතදී මෙවැනිම ආකාරයෙන් සතුන් 87 දෙනෙකු තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවට රැගෙන යැමට තැත් කළ ඉන්දියානුවන් පිරිසක් බැංකොක් නුවරදී අත්අඩංගුවට ගෙන තිබින.

මෙම තරුණ ව්‍යාපාරික යුවළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන අතර ඔවුන් මෙම සතුන් වීකිනීමේ අපේක්ෂාවෙන් රැගෙන එන්නට ඇති බවට සැකයක් පවති. මෙම සතුන් එම විමර්ශන කටයුතු නිම වන තෙක් කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව නිරෝධායන ආයතනය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT