Home » නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් පාසල් පොත් බෑගයේ බර අඩු වන ලකුණු

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් පාසල් පොත් බෑගයේ බර අඩු වන ලකුණු

by sachintha
March 27, 2024 1:00 am 0 comment

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ පාසල් බෑගයේ බර අඩු කිරීමට පෙළ පොත කොටස් තුනකට වෙන් කර ඉගැන්වීමටත් පාඩමෙන් පාඩමට මොඩියුල් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම මොඩියුල් ක්‍රමය ක්‍රියාවට නංවන විටදී වැඩ පොත මෙන්ම කොටස් කළ පෙළ පොත භාවිත කළ හැකි බවත් සෑම මොඩියුල් එකක් අවසන් වන විටදී අභ්‍යාසයක් ඇති අතර දරුවා අදාළ මොඩියුල් එක තේරුම් ගත්තේද නැතිද යන්න මොඩියුල් අභ්‍යාසයෙන් තීරණය කළ හැකි බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අනුව වාර දෙකක් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවත් 2025 වසරේදී එම ක්‍රමය සියලු පාසල් වෙත ව්‍යාප්ත කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මෙම මොඩියුල සිස්ටම් එක ක්‍රියාවට නැංවීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සමඟ කටයුතු කරන බවත් 2025 වසර වන විට 1, 6, 10 ශ්‍රේණිවලට සම්පූර්ණයෙන්ම මෙම ක්‍රමවේදය ව්‍යාප්ත කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකයේ බොහෝ රටවල මොඩියුල් සිස්ටම් ක්‍රියාවට නංවන බවත් වසර අවසානයේ විභාග පවත්වන විටදී දරුවා ලකුණු 35, 40ක් ගන්නා විට පාඩම් ධාරණය කරගෙන නොමැති බව වටහා ගන්නා බවත් වසර අවසන් වන තෙක් හෝ වාර විභාග අවසන් වන තෙක් නොසිට මෙම මොඩියුල් සිස්ටම් ක්‍රියාත්මක කිරීමෙන් දරුවාගේ අධ්‍යාපන මට්ටම මැන ගත හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

පාසල් පෙළ පොත කොටස් තුනකට බෙදා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමෙන් පොත් බෑගයේ බර තුනෙන් දෙකකින් අඩු වන බවද කීවේය.

සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 5ක් පමණ දරුවන් පෙනී සිටින අතර ඉන් ලක්ෂ 4ක් පමණ උපකාරක පංතිවලට යොමු වන අතර එක් දරුවකුට රුපියල් 20,000ක් පමණ ඒ සඳහා වියදම් කිරීමට මවුපියන්ට සිදු වන බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 3,37000න් ලක්ෂ 3ක් පමණ උපකාරක පංතිවලට යොමුව ඇති අතර රුපියල් 25,000 ගණනේ මාස 24ක් මවුපියන් උපකාරක පංතිවලට වියදම් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව රුපියල් බිලියන 517ක් අධ්‍යාපනයට වියදම් කරන බවත් මවුපියනුත් බිලියන 250කට වඩා වියදම් කරන බවත් ඇමැතිවරයා කීය.

ආණ්ඩුව වියදම් කරනුයේ මවුපියන්ගේ මුදල් බවත් මවුපියන් තවත් මුදල් වියදම් කිරීමෙන් දරුවන්ට කන්න දෙන්න පවා මුදලක් මවුපියන්ට ඉතිරි නොවන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

නිදහස් අධ්‍යාපනයක් පමණක් නොව ගුණාත්මක හා සම අධ්‍යාපන ක්‍රමයක් ලබා දිය යුතු බවත් මේ සියලු දේ අවධාරණය කර ගනිමින් වර්තමානයට ගැළපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

 

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT