Monday, May 20, 2024
Home » නිව්මෝනියාවෙන් මියගිය වලේබොඩ වැසියාගේ පෙනහල්ලේ මිනිස් දතක් – පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වෙයි

නිව්මෝනියාවෙන් මියගිය වලේබොඩ වැසියාගේ පෙනහල්ලේ මිනිස් දතක් – පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වෙයි

by sachintha
March 28, 2024 12:38 am 0 comment

වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටින අතරතුර නිව්මෝනියාවෙන් මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් බළන්ගොඩ රෝහලේදී ඊයේ (27) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය එම පුද්ගලයාගේ පෙණහැල්ලේ තිබී මිනිස් දතක් හමු වී ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩි. චේති සත්‍යා මෙනෙවිය විසින් සිදු කළ අවස්ථාවේදී එම දත පෙණහැල්ලේ තිබී හමු වූ බව බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතා පැවැසීය.

බළන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුදුහකුරුගේ කරුණාරත්න නමැති 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහැල්ලේ තිබී මෙම දත හමුවී තිබේ.

මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිටි අයකු බවත් කාලයක් තිස්සේ නිව්මෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. එම පුද්ගලයා මියගොස් ඇත්තේ නිව්මෝනියාව උත්සන්න වීම හේතුවෙන් බව හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතා කීය.

මෙම දත වසර කිහිපයකට පෙර ගැලවී ගොස් පෙණහැල්ලේ සිර වී තිබෙන්නට ඇති බවට සැක කරන බව ද හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේය.

බළන්ගොඩ පින්නවල පොලිසියේ පොලිස් සැරයන් මිල්ලගහගොඩ (60507) මහතා සාක්ෂි මෙහෙයවීම සිදු කළේය.

බළන්ගොඩ විශේෂ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT