Thursday, May 16, 2024
Home » එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක් මහනුවරදී ජනපති පවසයි
සජබ තුළ එජාප ප්‍රතිපත්ති නැහැ

එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක් මහනුවරදී ජනපති පවසයි

by sachintha
April 8, 2024 1:04 am 0 comment

අද වන විට සමගි ජනබලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

2020දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජනබලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (07) පැවැති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.

2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමඟ මෙරට පක්ෂ ක්‍රමය ද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බව ද පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

‘ආර්ථික අර්බුදය හමුවේ 2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමඟ මෙරට පක්ෂ ක්‍රමය ද වෙනසකට ලක් වුණා. අද සියලුදෙනාගේ සහයෝගයෙන් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීමට අපට හැකිව තිබෙනවා. මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම අප සියලුදෙනාගේ වගකීමක්.

පසුගිය වසර දෙක තුළ අප පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන නීති ඇතැම් අය සිය පාර්ලිමේන්තු කාලය තුළම සිදු කර නැහැ. රටේ ආර්ථික ගැටලු තිබුණ ද අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කර, එතෙක් පැවැති දීමනාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අප කටයුතු කළා. ඒ වගේම ලක්ෂ 20කට ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකය යහපත්ව තිබූ කාල සීමාවේ ඉටු නොකළ වැඩකොටසක් බව කිව යුතුයි.

මෙම වැඩසටහන් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය ලබා දී තිබෙනවා. පොදුජන පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද කොටසක් මේ අතර සිටිනවා. ඒ වගේම වෙනත් පක්ෂවල අය ද සිටිනවා. මේ සියලුදෙනා එකට එක්ව සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

පොදුජන පෙරමුණේ සිටියත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් වෙනත් පක්ෂයක සිටියත් රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යනවා ද නැද්ද යන තීරණය ගැනීමට පමණයි තිබෙන්නේ.

පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජනබලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසූ සමගි ජනබලවේගය අද පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමට යට වී සිටිනවා.

අද සමගි ජනබලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩ කළා. අද සමගි ජනබලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.

ඔබ සියලුදෙනා ගමට යා යුතුයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20න්, ලක්ෂ 10ක් මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම ඔප්පු මාසයක් තුළ ජනතාවට බෙදා දීමට තිබෙනවා. අපිට එක්ව වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලුදෙනා මනා සම්බන්ධීකරණයකින් යුතුව රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.’

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කරමින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක්විය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමඟ සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ගම්වල තිබෙන ගැටලු පිළිබඳ සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගි වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද කියා සිටියේය. එසේම පළාත් පාලන බලප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT