Home » සකද මලයි බඹලු වැලයි

සකද මලයි බඹලු වැලයි

by sachintha
April 8, 2024 1:03 am 0 comment

වහලයේ ඇති සිදුරෙන් පොළොවට දවස මුළුල්ලේම ආලෝක ලප වැටෙන්නේය. සිදුර කුඩාම හෙයින් අතිශයින් තීව්‍ර වූ ආලෝක ලපය දවස මුළුල්ලේ පැවතුණද එය එකම ස්ථානයක නොපවතින්නේය. මේ ආකාරයට වැටෙන ආලෝක ලපය බුබුළු ලෙස ගෙන ලකුණු කිරීමේ සිරිතක් පැරැන්නෝ භාවිත කළහ. ඒ කියන්නේ දවසේ එකම වේලාවක් ගෙන මේ බුබුල වැටෙන තැන ලකුණු කර, වසරක් පුරා එය සිතියම්ගත කිරීමය. එහෙම කළ විට අටේ ඉලක්කම ‘නිදා ගත්තා වැනි’ සංකේතයක් ඇති වන්නේය. එහි එක් පංගුවක් ලොකුය. මෙය එක් අතකට පෙති දෙකක මලක් වැන්න. බුබුළු වැලකින් සැදුණු මේ මලට කියනුයේ සකද මල කියාය. ඒ කාලයේ මංගල උත්සවයක කතා පවත්වන කල්හි වැඩිහිටියෝ අලුත් ජෝඩුවට කියුවේ ‘සකද මලයි බඹලු වැලයි’ වගේ ඉන්නට ඕනේ කියාය. හිරුගෙන් වැටෙන ලපය හේතුවෙන්, බඹලු වැල උපදියි. බඹලු වැල ලකුණු කරමින් ගිය කල්හි සකද මල ඇතිවේ. සමහරු මේ ගැන කියන්නේ, වහලේ ඇති සිදුරකින් අඳුරු කාමරයකට වැටෙන ආලෝක ලපය ‘සකද මල’ බවය. දුහුවිල්ල හේතුවෙන්, ඒ ලපයේ සිට වහලේ සිදුර කරා දිවෙන රශ්මි ධාරාව ‘බඹලු වැල’ ලෙසය.

මේ නිසා ‘පොකුණයි පියුමයි වගේ ඉන්න’ කියන උපහැරණය සඳහාම, වැලේ සහ මලේ කතාව ද අතීත වැඩිහිටියා අපට ගෙන හැර දැක්විය.

සකද මල වනාහි හිරුගේ ගමන පිළිබඳව වූ කතාවය.නාලන්දා ගෙඩිගේ විහාරයේ වහලයෙන් වැටෙන හිරු ලපය දවසේ එකම වේලාවකට ගෙන, වසරක් පුරා එය තිත් ලෙස තබා යා කරගත් කල්හි ඇති වූ සටහන මේ බඹලු වැලට ගත්තා යැයි සමහර ජ්‍යෝතිෂය පරම්පරා කියන්නාහ. මේ තරමට ඉර ගමන ගැන අපට කතාවක් ඇත්තේය. ඒ කතාවේ වැදගත් ස්ථානයක් සිංහල අවුරුද්ද හිමි කර ගන්නේ බැවින් මේ තීරුවේ අද කතාව සිංහල අලුත් අවුරුද්ද ගැනය.

සිංහල අවුරුද්ද යනු නැකත් කෙළියකි කියා පහසුවෙන් කියන්නේ වුවද එහෙම නැකැත් කෙළි සිදු කිරීම පහසු නැත්තේය. නැකත් යනු වෙනම විෂයයකි. අනාවැකි සහ ශාස්ත්‍රය අත දරන්නන්ගේ, බාල බොළඳ වැඩ හේතුවෙන් ජ්‍යෝතිෂය බාල්දු වී ඇත්තේ වුවද, විශ්වය පිළිබඳව වෙනම කතාවක් එහි ඇත්තේය. මේ ගණනය කිරීම් ඔස්සේ නැකත් හදාගෙන වැඩක් කිරීම යනු මේ රටේ මිනිස්සු වෙනම කලාවකට වැඩ කළ ජාතියක් බව කියා පෑමකි.

ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේදී පමණ තාරකා විද්‍යාඥයකු වූ ටොලමි ඉදිරිපත් කරන ලද තර්කනය වූයේ පොළොව මධ්‍ය කරගෙන අනෙකුත් ග්‍රහ වස්තු එය වටා චලනය වන්නේ බවය. ඔහුගේ තර්කයට අනුව ඉර, සඳ හා ග්‍රහලෝක කුඩා කුඩා රවුම් ලෙස ඊට වඩා විශාල රවුම් වටා කැරකීම සිදු වේ. එම විශාල රවුම් පෘථිවිය වටා කැරකීම සිදු වේ. යුරෝපය වසර දහසක පමණ කාලයක් ගත කළේ ඔය මතයේ හිඳිමින්ය.

මේ මතය ඛණ්ඩනය කරන ලද්දේ කොපර්නිකස්ය. ‘විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය’ යන්න වෙනුවට සූර්ය කේන්ද්‍ර වාදය නම් තියරිය කොපර්නිකස් මහ පොළොවට ගෙන ආවේය. යුරෝපය සලිත වන්නේ එවන් මතයක් හේතුවෙන් පැවති ආගමික මතවාද, දෙවියන් වහන්සේ දෙසා වදාළ බැව් කියමින් කියන ලද පොත් පත් ආදිය එක් සැණෙකින්, අවලංගු වන න්‍යායක් ලෙස මේ දෙස බැලීමට ඔවුන් පටන් ගත්තේ බැවිනි. කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍ර වාදය වර්ෂ 1500දී පමණ වන විට පිළිගත් තියරියක් විය.

කොපර්නිකස් දෙස බලා, තාරකා විද්‍යාව, බටහිරට අප පවරා දෙන විට අවුරුද්දේ නැකත් න්‍යාය පිළිබඳව අප කතා කර නැති තරම්ය. භාරතයේ ජ්‍යෝතිෂය පැතිරී ඇති තත්ත්වය, සූර්ය සිද්ධාන්තය වැනි ග්‍රන්ථ පළවීමෙන් පෙනේ.

අප අද දැනුම ලෙස ගන්නේ තොරතුරු තාක්ෂණයට අදාළ කතා ගොඩය. මේ රටේ දැනුම සඳහා දරුවා පොලඹවන්නේ සල්ලි බලාගෙන රස්සාවක් කිරීම පිණිසය. මේ රටේ උපන් දැනුම ගෙන අලුත් දැනුමක් කොළයට ලබා දීම සඳහා කටයුතු නොකරන්නේ හෙයින් අප හැම අතින්ම ජාතියක් ලෙස බංකොලොත්ය.

සූර්යසිද්ධාන්තය අනුව ලෝකයේ මධ්‍ය ලෙස ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවය. සමකය ආසන්නයේ පිහිටා ඇති හෙයින් මේ ගණනය කිරීම කර තිබෙන බව කිව හැකිය. එහෙව් රටේ හිරු මුල් කරගෙන සිදු කරන අවුරුදු උදාව ගැන තවම අපට ඇත්තේ වසන්ත සැණකෙළිය, සෞ‍භාග්‍යයේ ආරම්භය වැනි සාහිත්‍යමය ප්‍රලාප පමණය. සිංහලයාගේ මේ අනගි නිර්මාණයේ යටි පෙළ අප තවම මතු කරගෙන නැත්තේය.

වසරක් ගෙවී වසරක් ලබනවා යන්නට වඩා වැඩියමක් සිංහලය සිය අවුරුදු සැමරුම සඳහා යොදා ගත්තේය. එය මන්නාරමට හිරු මුදුන්වීම ආදී ‘රාවණා ප්‍රලාපයන්’ තුළ සිර කර කොහේවත් නැති ඉතිහාසයක් එක් අතක දිග හැර තිබේ. එවන් මුසාබස් අතට ගෙන සංගත ඉතිහාස කතාව සැඟවීමේ සිට සිංහල අවුරුද්ද පිළිබඳව වූ සැබෑ කතාව මතු කර නොගැනීම ද අපරාධයක් බව කොහෝ හඬ මැද්දේ මේ සිංහල අවුරුද්දේ කිව යුතුය. සූර්ය සිද්ධාන්තය අනුව ලෝකයේ මධ්‍ය දරන්නේ මේ දිවයිනය. ඒ පොතේ කතුවර තෙමේ භාරත වැසියෙක් වූ ආර්යදේවයන්ය. එතුමෝ මේ රට මධ්‍ය කරගත් සූර්ය සිද්ධාන්තයක් එළි දක්වන්නේය. මේ රටේ මධ්‍ය ලක්ෂය ලෙස සැලකෙන්නේ, නාලන්දා ගෙඩිගේය. නාලන්දා ගෙඩිගේ වහලයේ සිදුරෙන් වැටෙන හිරු එළිය ගෙන ‘සකද මලයි බඹලු වැලයි’ නම් න්‍යායයක් අපේ පාරම්පරික ජ්‍යෝතිෂයේ ගොඩ නඟාගෙන ඇත්තේය. මෙවන් න්‍යාය යළි එළියට ගෙන, අවමැ තරමින් ඒ කුමක්දැයි හදාරන තැනට මේ අවුරුද්දේ අප යා යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT