Home » ශ්‍රීලනිප මූලස්ථානයේ දොරගුළු වසාදැම්මේ පොලිසියෙන් නොවේ අප කළේ බිල්ඩිමට රැකවල් යෙදීම පමණයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

ශ්‍රීලනිප මූලස්ථානයේ දොරගුළු වසාදැම්මේ පොලිසියෙන් නොවේ අප කළේ බිල්ඩිමට රැකවල් යෙදීම පමණයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

by sachintha
April 8, 2024 1:03 am 0 comment

කොළඹ 10, ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිද­හස් පක්‍ෂ මූල­ස්ථා­නයේ දොර­ගුළු වසා දමා ඇත්තේ පොලි­සිය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය. පක්ෂ­යේම යම් පිරි­සක් අගුළු ලා එහි යතුරු රැගෙන ගොස් ඇති බවත්, පොලි­සිය කර ඇත්තේ ගැටු­මක් ඇති නොවී­මට එම කාර්යා­ලය පිහිටි ගොඩ­නැ­ඟි­ල්ලට ආර­ක්ෂාව සැප­යීම පම­ණක් බවත් තල්දූව මහතා කීය.

කොළඹ 10, ටී.බී. ජායා පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දොරගුළු වසා දමා ඇත්තේ පොලිසිය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. පක්ෂයේම යම් පිරිසක් අගුළු ලා එහි යතුරු රැගෙන ගොස් ඇති බවත්, පොලිසිය කර ඇත්තේ ගැටුමක් ඇති නොවීමට ඒ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලට ආරක්ෂාව සැපයීම පමණක් බවත් තල්දූව මහතා කීය.

කාර්යාලයේ තිබූ වැදගත් ලිපිගොනු කීපයක් අතුරුදන්ව ඇති බවට ඒ පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිලි කර ඇති බවත්, සිදු වී ඇත්තේ සොරකමක්ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කාර්යාල පරිශ්‍රයට පොලිසිය යා යුතු බැවින් ඒ සඳහා කාර්යාලය විවෘත කර දෙන තුරු පොලිසියද බලා සිටින බවත් නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය. කාර්යාලයේ දොරගුළු බලහත්කාරයෙන් විවෘත කරගැනීමට පොලිසියට අවශ්‍යතාවක් නැති බවත්, සිදු වී ඇත්තේ පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර මත ගැටුමක් බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිසිය විමර්ශන පවත්වන්නේ අපරාධමය සිදු වීමක් මෙහි සිදු වී තිබේ නම් පමණක් බවද පොලිසිය සිදු කර ඇත්තේ ගැටුමක් ඇති නොවීමට ආරක්ෂකාව සැපයීමක් පමණක් බවද කීය.

මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දොරවල් ඉබි යතුරු දමා වසා ඇති බව දැනගෙන ඇත්තේ සෙනසුරාදා (6) උදෑසන 9.30ට පමණ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් එහි පැමිණ රැස්වීමක් පැවැත්වීම සඳහා පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය. ඒ කණ්ඩායම පවසන්නේ රැස්වීම පැවැත්වීම සඳහා කාර්යාලයට ඇතුළු වීමට පොලිසිය විසින් අවසර නොදුන් බවත් ඉබියතුරු දමා දොරවල් වසා තිබුණු බවත්ය.

ඒ අනුව පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස් වූ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් මෙන්ම පාක්ෂිකයෝද විරෝධතාවක නිරත වූහ. මේ පිරිස විරෝධතාවෙහි නිරත වන අතරතුර එම ස්ථානයට පක්ෂයේ වැඩ බලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, දහම් සිරිසේන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පැමිණියහ. ඒ පිරිසට පාක්ෂිකයන් ඇතුළු පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි විය.

පසුව එම විරෝධතාවට එම පිරිසද එක් වූ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂය සතු වැදගත් ලිපි ලේඛන ගණනාවක් අතුරුදන්ව ඇති බවත්, ආණ්ඩුවේ අමාත්‍ය ධුර ගත් අයගේ අවශ්‍යතාව මත පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් සඳහන් කළේය. ශ්‍රීලනිප මූලස්ථානයට පක්ෂ‍යේ ප්‍රධානීන් කිසිවකු නැති අවස්ථාවක නන්නාඳුනන පිරිසක් ඇතුළු වී ඇති බවත්, පක්ෂ මූලස්ථානයට විශාල අලාභ හානියක් සිදු කර ලිපි ලේඛන ප්‍රමාණයක් රැ‍ගෙන ගොස් ඇති බවත් ඔහු පැවසීය. ඒ සම්බන්ධයෙන් තමන් මරදාන පොලිසියට පැමිණිලි කළ බවද පැමිණිලි කිරීමෙන් පසුද පක්ෂයෙන් පරිබාහිර පිරිස් පැමිණ පක්ෂ මූලස්ථානය තුළ මාධ්‍ය සාකච්ඡා පවත්වන ආකාරය මාධ්‍ය ඔස්‍සේ තමන් දුටු බවද මිත්‍රපාල මහතා පැවසීය. ආණ්ඩුවේ ඇමති ධුර ගත් පිරිස සිය බලය උපයෝගි කරගනිමින් පොලිසියද යොදාගනිමින් සිදු කරන මේ ක්‍රියාවලිය සිදු කර ඇති බවද ඒ මහතා සඳහන් ක‍ළේය. මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට යෑමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීට පෙර මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මේ අවස්ථාවට සහභාගි විය. එහිදී දයාසිරි ජයසේකර මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, මේ විරෝධතාව ඉදිරියෙන් සිය නිල රථයෙන් මෛත්‍රිපාල සිරි‍සේන මහතාද ගමන් කළේය. සිය නිල රථයෙන් ගමන් ගත් මෛත්‍රිපාල සිරිසේන මහතා වාහනයේ වීදුරුව පහත් කරමින් පාක්ෂිකයන්ට සිය ආචාරය පුද කළේය.

මෙහිදී විරෝධතාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පාක්ෂිකයන් කිසිදු දැනුම් දීමකින් තොරව පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට විත් විරෝධතාවෙහි නිරත වන බවයි. එමෙන්ම කොහේ හෝ තිබෙන කුණු කන්දල් රැගෙන උසාවියට ගිය විට පක්ෂ සභාපතිවරයාට එරෙහිව වාරණ නියෝගයක් දී ඇති බවද මේ තත්ත්වය යටතේ මැයි දිනය පවා සංවිධානය කරගැනීම අසීරු වී ඇති බවද දයාසිරි ඒ මහතා පැවසීය.

භාණ්ඩාගාරික විදියට වගකීම තියෙන්නෙ මටයි ඒවා විනාස කරන්න මට පිස්සු නෑ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස පක්ෂයේ දේපළ කිසිවක් විනාශ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැති බවත්, දේපළ හානි සිදු කර ඇති බවට සිදු කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේපළ මෙන්ම ලිපිගොනු සම්බන්ධයෙන් වගකීම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තමන් වෙත පැවරෙන බවද එවන් තත්ත්වයක් යටතේ පක්ෂයේ දේපළ විනාශ කිරීමට තරම් මො‍ළේ අමාරුවක් නැති බවත්, ලසන්ත අලගියවන්න මහතා පැවසීය. පක්ෂයේ දේපළ නඩත්තු කිරීම වෙනුවෙන් වන මුදල් වෙන් කිරීම් ඇතුළු සියලු කටයුතු සිදු වන්නේ තම අනුමැතිය යටතේ බවද සිහිපත් කළ ලසන්ත අලගියවන්න මහතා මහගෙදර දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවද අවධාරණය කළේය. විවිධ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් ‌ චෝදනා එල්ල කළත් ඒ සියලු චෝදනා අසත්‍ය බවද ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් පැවසීය.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT