Monday, May 20, 2024
Home » මොනරාගලින් බිහි වූ චමුදි ක්‍රිකට් උපත ලැබූ රට අන්දමන්ද කරයි
වයස 14 යි: වැඩ ගොඩකින් කඩුලු 5යි

මොනරාගලින් බිහි වූ චමුදි ක්‍රිකට් උපත ලැබූ රට අන්දමන්ද කරයි

by sachintha
April 10, 2024 2:32 am 0 comment

එංගලන්තය පරාජය කළ යොවුන් කාන්තා පිල දෙවැනි තැනට

ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සහභාගි වූ යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 118ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය. එම ජයත් සමඟ මේ තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි තැනට පත් විය. තරග 2ක් ජයගත් ඔස්ට්‍රේලියාව පළමු තැනට හා තරග දෙකම පරාජය වූ එංගලන්තය අවසන් තැනට පත්විය.

ඊයේ පැවති තරගයේදී එංගලන්ත පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් චමුදි මුණසිංහ කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වීම කැපී පෙනිණි. මොනරාගල පඤ්ඤානන්ද මහා විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි 14 හැවිරිදි චමුදි එංගලන්ත ක්‍රීඩිකාවන්ට හිස එසැවීමට ඉඩ නොදුන්නාය. දුෂ්කර පළාතකින් පැමිණ ශ්‍රී ලංකා යොවුන් පිලට එක් වූ ඇය පැහැබර අනාගතයක් ඇති ක්‍රීඩිකාවක් බව ඔප්පු කළාය.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 25ක් එක්කරමින් එංගලන්ත කඩුලු 4ක් බිඳ හෙළූ දෙව්මි විජේරත්න තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය. එංගලන්ත පිල ආක්‍රමණශීලි ලෙස පන්දුවට පහර දීමට සූදානම් වුවද එය ආරම්භයේ සිට බිඳ දැමීමට දෙව්මි හා චමෝදි සමත් වූහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහර දී සියලු දෙනා දැවී ලකුණු 226ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 118කට දැවී ගියහ. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕවර 50 එක්දින ක්‍රිකට් තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේ පළමු තරගයෙන් එංගලන්තය හමුවේ පරාජයට පත් වුවද, කාන්තා ක්‍රිකට් නැංවීම උදෙසා මෙවැනි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් වනු ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 226 (ඕවර 48.4) සන්ජනා කාවින්දි 27, සුමුදු නිසංසලා 27, මනුදි නානායක්කාර 25, දෙව්මි විජේරත්න 25, රශ්මිකා සෙව්වන්දි 59, රශ්මි නේත්‍රාංජලී 17, අතිරේක 27 (ඇලෙක්සා ස්ටොන්හවුස් 27/1, මේරි ටේලර් 43/1, අමු සුරේන්කුමාර් 21/2, සොපියා ස්මෝල් 34/2, අවේ ලී 36/1, චරිස් පව්ලේ 16/2)

එංගලන්ත 19න් පහළ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 118 (ඕවර 23.3) ජොඩී ග්‍රේවොක් 26, අබී නොග්‍රොව් 14, අමු සුරේන්කුමාර් 25, මේරි ටේලර් නොදැවී 10, අතිරේක 6 (දෙව්මි විජේරත්න 43/4, චමුදි මුණසිංහ 42/5)

ප්‍රින්ස් ගුණසේකර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT