Thursday, May 16, 2024
Home » ප්‍රතිසංස්කරණ වැඩසටහන් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යළි නැඟිටී

ප්‍රතිසංස්කරණ වැඩසටහන් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය යළි නැඟිටී

ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්

by sachintha
April 12, 2024 1:03 am 0 comment

උද්ධමනය තනි ඉලක්කමට පහත වැටිලා

විනිමය සංචිත වැඩි වීම අඛණ්ඩව

සංචාරක පැමිණීම විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි වෙයි

රැකියා උත්පාදනයත් දරිද්‍රතාව තුරන් කිරීමත් අවශ්‍යයි

පැවැති ආර්ථික සහ මූල්‍ය අර්බුදය අවසන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්වමින් තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වසර අවසානය වන විට ශ්‍රී ලංකාව සියයට 1.9ක ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇති අතර එළඹෙන 2025 වසරේදී සියයට 2.5ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් ළඟා කරගනු ඇතැයි එම බැංකුව විශ්වාසය පළ කරයි. මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය තනි ඉලක්කම දක්වා පහත වැටී තිබෙන අතර විදේශ විනිමය සංචිත අඛණ්ඩව ගොඩනඟා ඇති බව ද සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ ගලා ඒම ප්‍රකෘතියක් පෙන්නුම් කරන අතර සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වී තිබෙන බව ද සඳහන් කරන ආසියානු සංවර්ධන බැංකුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලානුරූපව නිම කිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාර ප්‍රයත්නයන්ට සහාය වනු ඇති බව ද කියා සිටී.

“2023දී දුෂ්කර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තිබෙන බව ද ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් මහතා පවසයි. අර්බුදය අභ්‍යන්තරයේ පවතින තත්ත්වයන් විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ තිරසාර ප්‍රකෘතිය පෝෂණය කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සහ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා පදනම දැමීම ඉතා වැදගත් බව පෙන්වාදෙන ඒ මහතා ආර්ථිකය ප්‍රකෘතිමත් වීම මධ්‍යයේ දරිද්‍රතා අවදානම්වලට විසඳුම් සෙවීම රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බව ද පෙන්වාදෙයි.

රැකියා උත්පාදනය කිරීම සහ තිරසාර ජීවනෝපායන් පෝෂණය කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම සඳහා අවශ්‍ය වන බව ද ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT