Home » ජීවන මඬලින් බැස ගිය ඇවිදින විශ්වකෝෂය

ජීවන මඬලින් බැස ගිය ඇවිදින විශ්වකෝෂය

by sachintha
April 12, 2024 1:45 am 0 comment

දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු, ලේක්හවුස් ආයතනයේ හිටපු කතෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු සහ ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සරත් කුරේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (11) දින කොළඹදී සිදු කෙරුණි. මේ ඒ වෙනුවෙන් ලියූ සටහනකි.

එක් අයකු දස්කම් දක්වන්නේ එක ඉසව්වකටය. එය සෙසු කලාවන්ට මෙන්ම පත්තර කලාවට ද පොදුය. එහෙත් ඉඳහිට විවිධ ඉසව් ඔස්සේ දස්කම් දක්වන්නෝ ද සිටිති. සාහිත්‍යය, සංස්කරණය, ප්‍රවෘත්ති, විශේෂාංග මෙන්ම විදෙස් පුවත් ද ඒ අතර විවිධ වූ අංගය. එහෙත් මේ සියලු ඉරියව්වල එක ලෙස දස්කම් දක්වන්නෝ සිටිති. එහෙත් එවැන්නෝ අතිශය විරලය. මුතුතන්ත්‍රිගේ සරත් කුරේ හෙවත් රටම දන්නා සරත් කුරේ නමැති මාධ්‍ය දැවැන්තයා එවැන්නෙකි. ඔහු ප්‍රගතිශීලී කඳවුරේ බලකණුවකි. තම ප්‍රගතිශීලි මතය අත නොහැර සිටි මාධ්‍යවේදියෙකි. ඔහු ලේක්හවුස් ආයතනයට 1994 වර්ෂයේදී එක්වූයේ සම කර්තෘවරයකු ලෙසය. දිනමිණ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ ජී. එස්. පෙරේරා මහතාගේ විශ්‍රාම යෑමෙන් පසු දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස උසස්වීම ලද කුරේ මහතා දිනමිණ පුවත්පත තුළ සුවිශේෂී මතක ඉතිරි කළ කර්තෘවරයෙකි.

සරත් කුරේ මහතා කුඩා කල සිට හැදී වැඩුණේ වාමාංශිකයන් බහුල පානදුර ප්‍රදේශයේය. එවක ලංකා සමසමාජ පක්ෂයේ පානදුර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ හෙන්රි පීරිස් මහතා, කුරේ පවුලේ සමීප හිතවතෙකි. එනිසා ඔහුට නිතර අසන්නට දකින්නට ලැබුණේ දේශපාලන කතාවන්ය. ඒ නිසා කුඩා කල සිටම කුරේ මහතාගේ අවධානය දේශපාලනය, මාධ්‍යය වැනි විෂයයන් කෙරෙහි යොමු විය. සරත් සිය කුඩා කාලයේදීම ‘සමසමාජය’ නම් ලංකා සමසමාජ පක්ෂයේ නිල පුවත්පත අකුරක් නෑර කියවන්නට පුරුදු වී සිටියේය. එමඟින් ඔහුගේ ජනමාධ්‍ය දැනුම මෙන්ම මාධ්‍ය දැනුම ද පුළුල් විය.

සරත් කුරේ පත්තර රස්සාව ආරම්භ කරන්නේ එවක පළ වූ ‘මවුබිම’ නමැති පුවත්පතිනි. එම පුවත්පත එවකට වාමාංශික දේශපාලනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ පුවත්පතක් ලෙස සඳහන් කළ හැකිය. එම පුවත්පත කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වුවද සරත් කුරේ මහතා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ නැත. මවුබිමට සරත් කුරේ මහතා සම්බන්ධ වන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙසය. දේශපාලනය පමණක් නොව කලාවට ද ප්‍රිය කළ සරත් කුරේ මහතා ‘කලා’ නම් සඟරාවක් සඳහා කලා හදවත් නම් විශේෂාංගයක් ද සම්පාදනය කළේය.

ඉන්පසු කුරේ මහතාගේ අරමුණ වූයේ ජාතික පුවත්පතකට සම්බන්ධ වී කටයුතු කිරීමය. ඔහු ඒ සඳහා අවස්ථාව ලබා ගත්තේ පත්‍රකලාවේ දැවැන්තයකු වූ ධනපාල ශූරීන් ඇසුරේය. කුරේ මහතා එදා ටයිම්ස් ආයතනයෙන් පළ කළ ලංකාදීප පුවත්පතට සම්බන්ධ විය. ඔහු ලියූ ලිපි නිරතුරුව ලංකාදීප පුවත්පතේ පළ විය. ඉන්පසු ඔහුගේ මාධ්‍ය නවාතැන වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත්ව පළ කළ ‘සිංහලේ’ පුවත්පතයි. ඔහු එහි නියෝජ්‍ය කර්තෘවරයා බවට පත්විය. පසුව බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි එහි කර්තෘවරයා බවට ද පත්විය.

ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් වූ සරත් කුරේ මහතාගේ ප්‍රධාන කර්තෘවරයා වූයේ කරුණාසේන ජයලත් මහතාය.

ලේක්හවුසියේ ස්ථිර සේවයට පැමිණීමට පෙර සිටම ‘සිළුමිණ’ පුවත්පතට විදෙස් විත්ති ලිපි සම්පාදනය කළේය. ඔහු සිය නමින් මෙන්ම ආරූඪ නාමයන්ගෙන් ද විදෙස් විත්ති ලිපි සම්පාදනය කළේය. ලේක්හවුස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද සිළුමිණ සහ තවත් ඉරිදා ජාතික පුවත්පත්වලට ද විදෙස් විත්ති විවර ලියූ සරත් කුරේ මහතා බොහෝ පාඨකයන්ගේ නොමඳ ආදරයට ලක්ව සිටියේය. සරත් කුරේ කියූ විට සිත තුළ ඇඳෙන චිත්‍රය වන්නේ දේශපාලනය පිළිබඳව සැරට ලියන, තදින් විදෙස් විත්ති ලියන ලේඛකයකු වුවද ඔහු තුළ අගනා සෞන්දර්යවාදියකු ද ජීවත්ව සිටියේය. ඔහු ‘රෑන ගිරව්’ චිත්‍රපටය සඳහා ‘ඈත සොඳුරු ලොවක්’ නම් ගීතය රචනා කළේය. 1994 දී සරත් කුරේ මහතාගේ ලේක්හවුස් ආගමනය සිදු වන්නේ 1994 රටේ සිදුවන දේශපාලන වෙනසත් සමඟය. ඔහුත් සමඟ තවත් ප්‍රකට මාධ්‍යවේදීන් රැසක් ලේක්හවුස් ආයතනය වෙත එක්විය. ඔහු සමඟ නිහාල් රත්නායක, ජයතිලක ද සිල්වා වැනි ප්‍රකට මාධ්‍යකරුවන් ද ලේක්හවුස් පඩිපෙළ නැඟ ආවේය. සැබැවින්ම සරත් කුරේ යනු දක්ෂයකි. පුස්තකාලයක්, විශ්වකෝෂයක් වැනි මිනිසෙකි. එවැන්නකු ජීවිතයෙන් සමුගෙන යාම මාධ්‍ය කලාවේ නැවත පිරවිය නොහැකි හිස් තැනක් ඉතිරි කරයි.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT