Home » ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා කාන්තාවන්ගේ දෙවැනි ගැටුම හෙට

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා කාන්තාවන්ගේ දෙවැනි ගැටුම හෙට

by sachintha
April 12, 2024 1:48 am 0 comment

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය හෙට (13) මෙරට වේලාවෙන් පස්වරු 5.30ට කිම්බ්ලිහිදී ආරම්භ වේ.

තරග 3කින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගය වර්ෂාවෙන් සේදී ගිය අතර, මේ තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ඇතුළත් බැවින් තරගාවලියේ ජය වඩා වැදගත් වී ඇත්තේ ශ්‍රී ලංකා පිලටය. ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසු වන්නේ තරග 16කින් 4ක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12ක් සමඟිනි. මේ තරග දෙක ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවහොත් ලකුණු 16ක් සමඟ 5 හෝ 6 වැනි ස්ථාන වෙත ළඟාවීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව තිබේ.

දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන්නේ තරග 16කින් 10ක් ගනිමිනි. ඔවුන් ප්‍රසාද ලකුණු 21කට හිමිකම් කියන අතර, මේ තරග දෙක ජය ගත්ත්ද ස්ථානයේ වෙනසක් නොවන්නේ පළමු තැන පසුවන ඔස්ට්‍රේලියාව ලකුණු 28ක් හිමි කර ගෙන සිටින බැවිනි.

මේ දෙපිල 21 වරක් එක්දින පිටියේ හමුව ඇති අතර, ඉන් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි. දකුණු අප්‍රිකාව තරග 14ක් ජය ගනිද්දී තරග 3ක් විසඳුමකින් තොරවී තිබේ.

දෙපිල අතර ද්විපාර්ශ්වික තරගාවලි 3ක් පවත්වා ඇති අතර, එම තරගාවලි තුනේම ජය දකුණු අප්‍රිකාව සතුවී තිබේ. එම තරගාවලි අතුරින් කොළඹ පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් තරගයක් ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා පිල මේ දක්වා දකුණු අප්‍රිකාවේදී එක්දින තරගයක් ජයගෙන ඇත්තේ එක් වරක් පමණි. ඒ 2005 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 32කිනි. කෙසේ වෙතත් මෙවර සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කළ අතර, එම ජයග්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියත් ජය ගෙන ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී තිබේ. දෙපිල අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය 17 වැනිදා පොච්ෆ්ස්ට්රූම්හිදී පැවැත්වේ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT