Home » මාතර උයන්වත්තේ අවුරුදු පෙරහර

මාතර උයන්වත්තේ අවුරුදු පෙරහර

by sachintha
April 12, 2024 1:48 am 0 comment

ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ දහඅට දහනවය සියවස්වල කාලයේ මෙරට විසූ කීර්තිමත් පඬිරුවනක් වූ කරතොට ධර්මාරාම නාහිමියෝ මාතර උයන්වත්ත වේරගම්පිට රජ මහා විහාරයේ විහාරාධිපති ධුරය හොබවමින් සිටියහ. භාෂා ඥානයෙන් විද්වතකු වූ උන්වහන්සේගෙන් සිංහල භාෂා ඥානය ප්‍රගුණ කිරීමට දකුණු පළාත භාර සුදු ජාතික ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝන් ඩොයිලි මහතා පැමිණියේය. මේ බව දැනගත් උයන්වත්තේ ජනතාව කරතොට නාහිමියන් හමු වී ලන්දේසීන් විසින් නවතා දමා තිබූ සිංහල අලුත් අවුරුදු පෙරහර නැවත ආරම්භ කිරීමට අවසර ලබාදෙන්න යැයි ඉල්ලා සිටියහ. ඊට ඇහුම්කන් දුන් උන්වහන්සේ ජොන් ඩොයිලි ආණ්ඩුකාරවරයාට ගැමි ජනතාවගේ ඉල්ලීම යොමු කළහ. සිංහල ජනතාව හා සිරිත් විරිත්වලට මහත් රුචිකත්වයක් දැක් වූ ආණ්ඩුකාරවරයා ඒ සඳහා අවසර ලබා දීමට කැමැත්ත පළ කළේය.

කරතොට නාහිමියන් විසින් ආණ්ඩුකාරවරයාගේ අවසරය සිය ගම් ප්‍රදේශයේ ජනතාවට සැලකර සිටියහ. ඉන් උද්දාමයට පත් වූ ජනතාව ආණ්ඩුකාරවරයාට සිය කෘතගුණ දැක්වීමට සූදානම් වූහ. එම ජනතාව එක්ව පෙරහරෙන් ගොස් එතුමන් බැහැ දැකීමට තීරණය කළහ. මේ කිසිවක් නොදත් දකුණු පළාත භාර ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝන් ඩොයිලි ඒජන්තතුමා සිය බලකොටුවට වී නිදහසේ කාලය ගතකරමින් සිටියේය. එකවර තමන්ට ඇසුණු ඝෝෂාකාරී බව පිළිබඳ විමසූ ආණ්ඩුකාරවරයා බලකොටුව මතට නැග්ගේය. හතර වටින් පැමිණි ජනතාව තමන්ගේ පෙරහර කොටුව ඇතුළට ගෙන යාමට පොරකමින් සිටි අයුරු දැකගත් ආණ්ඩුකාරවරයා ඒ පිළිබඳ තමන්ගේ හේවායන්ගෙන් විමසීය. ලන්දේසීන් විසින් නවතා දමා තිබූ සිංහල අලුත් අවුරුදු පෙරහර යළි පැවැත්වීමට අවසර ලබාදීම වෙනුවෙන් ප්‍රදේශ රැසක ගම්වාසීන් ආණ්ඩුකාරවරයාට කෘතගුණ දැක්වීමට එලෙස පෙරහරෙන් පැමිණ ඇති බව හේවායන් ආණ්ඩුකාරවරයාට සැල කළේය. එම තත්ත්වය වටහාගත් ආණ්ඩුකාරවරයා තීරණයකට එළඹියේය. ඒ තමන් අත ඇති විශේෂ කොඩිය උඩ සිට පහළට දමද්දී එය අල්ලා ගන්නා පිරිසට මුලින් කොටුව ඇතුළට ඒමට අවස්ථාව ලබාදීමට ය. ඒ අනුව ජෝන් ඩොයිලි ආණ්ඩුකාරවරයා අතහැරිය විශේෂිත කොඩිය අල්ලා ගැනීමට උයන්වත්ත ජනතාව සමත් වූහ. එලෙස අවසර ලබා දුන් ආණ්ඩුකාරවරයා පෙරහරේ රැගෙන යාමට විශේෂිත කොඩිය ද ප්‍රදානය කළහ. ඒ ප්‍රදානය කළ ඓතිහාසික කොඩිය අදත් පෙරහර ඉදිරියෙන්ම බෞද්ධ කොඩිය හා ජාතික කොඩියට මැදිව ගෙන යනු ලැබේ. එදා සිට යළි ආරම්භ වූ උයන්වත්තේ සිංහල අලුත් අවුරුදු පෙරහර මේ වනතෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට එම ජනතාව සමත්ව සිටිති.

මෙම පෙරහරට ඊට එහා ගිය අතීත කතා රාශියක් ද පවතී. එනම් සියවස් කිහිපයක් ඈතට දිවයන පෙරහරේ පුරාවෘත්තය අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් ආරම්භ වී ඇතැයි ජනප්‍රවාදවලින් කියැවේ. පසුව ලන්දේසීන් මුහුදුබඩ තීරය ආක්‍රමණය කිරීමෙන් ඔවුන්ගේ බෞද්ධාගම් විරෝධී වැඩ පිළිවෙළ යටතේ මේ පෙරහරට ද තහංචි පනවා ඇත. මේ පෙරහර වසර හත්සියයකට පමණ පෙර වීරබාහු ආදිපාද නම් ප්‍රාදේශීය රජ සමයේ පැවැති පෙරහරක ඡායාවක් මෙන් තමන් වහන්සේගේ සිතට නැඟෙන බව පුරාවිද්‍යාඥ කඹුරුපිටියේ වනරතන නාහිමියන්ගේ ලිපියක ද සඳහන්ව තිබේ. 1788 වසර තෙක් පැවැති පෙරහර ලන්දේසීන් විසින් නතර කර ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.1810 වසරේදී මේජර් ජන්බයේ සෙනවියා විසින් ලියන ලද ග්‍රන්ථයකද උයන්වත්තේ සිංහල අලුත් අවුරුදු පෙරහර ගැන සඳහන්ව ඇත.

ආණ්ඩුකාරවරයා ප්‍රදානය කළ මෙම කොඩියේ දිවියකු විසින් වඳුරකුගේ දිව සපා කන ආකාරය නිරූපණය කෙරේ. එහි දිවියා ඉංග්‍රීසි පාලක පන්තිය වන අතර වඳුරා ලන්දේසි පාලක පන්තිය ලෙසන් අර්ථවත් කර තිබේ. මෙහි ඉර හා හඳ යන සංකේතවලින් ඉර හඳ පවතින තුරා පෙරහර පැවැත්විය යුතු බව පිළිඹිබු වේ. කොඩියේ විවිධ හැඩයෙන් කැටයම් මෝස්තර දැකගත හැකිය. මෙහි තරු ලකුණු චතුරස්‍රාකාර හැඩය හා නොයෙක් කැටයම් දැකගත හැකිය. මේ ආකාරයෙන් මාතර ශ්‍රී විභූතිය මතු කරන ආකාරයෙන් මේ කොඩිය පවා නිර්මාණය කර තිබීම මාතරට තවත් අභිමානයකි.

උඩරට, පහතරට, සබරගමුව හා විවිධ ප්‍රදේශවලට ආවේණික නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත උයන්වත්ත ඓහිහාසික අලුත් අවුරුදු පෙරහර මෙවරත් අප්‍රේල් මස 13 වන දින වෙහෙරගම්පිට රජමහා විහාරයෙන් ආරම්භ කර වෙහෙරගම්පිට, උයන්වත්ත, පිලදූව, වල්පොල හා මාතර බෝධිය අබියසින් වීදි සංචාරය කර යළි රජමහා විහාරයෙන් අවසන් කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. පෙරදා තුන්තිස් පැයක් පිරිත් සජ්ඣායනා කර පේ කළ පිරිත් පැන් රැගෙන සධාතුක කරඬුව පෙරටු කොටගෙන, විශේෂ මණ්ඩපයක පිරිත් සජ්ඣායනා කරමින් පෙරහරේ වැඩම කරවන මහා සංඝරත්නය පෙරහර ගමන් ගන්නා මාර්ග දෙපසින් පෙරහර නරඹන පිරිසටත් පිරිත් පැන් බෙදමින් පිරිත් පැන් ඉසිමින් ප්‍රදේශවාසී ජනතාවටත් සමස්ත රටට හා රට වැසියන්ටත් ලබන්නාවූ නව වසරට සෙත් පැතීම මෙහි තවත් විශේෂ ලක්ෂණයකි. එලෙස පෙරහරේ ගමන් ගන්නා පිරිස් හට සිය ගම්මානවලදී ආහාර පානවලින් පිරිනැමීමට ද ජනතාව කටයුතු කරති. ඒ මඟින් ද සිය ගම්මාන හා පෙරහර අතර ඇති බැඳීම ප්‍රකට කිරීමට ජනතාව පෙලඹී සිටිති.

වේරගම්පිට රජමහා විහාරාධිකාරී, නාලන්දා පරිවේනාධිපති, ශ්‍රාස්ත්‍රපති තෙළුල්ලේ නන්දාලෝක හිමි, උයන්වත්ත මහින්දාරාමාධිපති, මාතර රාහුල විද්‍යාලයේ ධර්මාචාර්ය ශ්‍රාස්ත්‍රපති බැරගම ඥානානන්ද හිමි, උයන්වත්ත වාළුකාරාම විහාරාධිකාරී, කොටුව මිගදාය සිරිරතනපාල පිරි‍ෙවනේ ධර්මාචාර්ය, ශ්‍රාස්ත්‍රපති රොටුඹ සෝමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර කමිටුවේ සභාපතිවරයා ලෙස චමින්ද වෛද්‍යරත්න, ලේකම් ජයසිරි ජේ. කරුණාරත්න, භාණ්ඩාගාරික තරිඳු රත්නප්පුලි, ප්‍රධාන සංවිධායක, මාතර මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපති චතුර ජේ. කරුණාරත්න මහත්වරුන් යනාදී කටයුතු කරති.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT