Home » මැලේරියා රෝගයේ පරපෝෂිතයා නැතත් වාහක මදුරුවා රට තුළ ව්‍යාප්තයි

මැලේරියා රෝගයේ පරපෝෂිතයා නැතත් වාහක මදුරුවා රට තුළ ව්‍යාප්තයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නුවනි මනම්පේරි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

මැලේරියාව බහුලවම ඇති බෝවන රෝගවලින් එකකි. එය දැඩි මහජන සෞඛ්‍ය ගැටලුවකි. මෙම රෝගය ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපෝෂිතයෙක් මඟිනි. අද (අප්‍රේල් 25) දිනට ලෝක මැලේරියා මර්දන දිනය යෙදී ඇත. කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පරපෝෂිත විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නුවනි මනම්පේරි මහත්මිය සමඟ පැවැත්වූ සංවාදයකි.

– මැලේරියා රෝගයේ ඉතාම දරුණු තත්ත්වය මොළයේ මැලේරියාවයි
– මැලේරියාව බහුලව ව්‍යාප්තව තිබෙන්නේ ඉන්දියාව සහ දකුණු ආසියාතික කලාපයේ රටවල්වලයි
– සංකූලතා ඇතිවීමට පෙර ප්‍රතිකාර කිරීමට හැකිවුවොත් රෝගියා සුව කරගත හැකියි
– උපදෙස් වගේම ඖෂධත් නිසි පරිදි ගැනීමෙන් පිටරටකදී මැලේරියාව වැලඳීම වළක්වා ගත හැකියි

මැලේරියාව කියන්නේ මොනවගේ රෝගී තත්ත්වයක් ද?

මැලේරියාව කියන්නේ මදුරුවන්ගෙන් බෝවන පරපෝෂිතයකු මඟින් ඇති කරන රෝගයක්. මෙම පරපෝෂිතයා Protozoa සත්ත්ව කාණ්ඩයට අයත් ප්ලැස්මෝඩියම් ගණයේ එන ජීවියෙක්. මිනිසාට මැලේරියාව ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂ කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. වාහක මදුරුවා Anophelus ගණයට අයත් වෙනවා. නිසි කලට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් මැලේරියාව වැලදුණු රෝගයකුට පූර්ණ සුවය ලබාදිය හැකියි. නිසි ප්‍රතිකාර නොගතහොත් සංකූලතාවලට ලක්වී මරණයට පවා පත්වෙන්න පුළුවන්.

මැලේරියා රෝගය බෝවන ආකාරය පැහැදිලි කළොත්?

මැලේරියා ආසාදිත පුද්ගලයකුගෙන් නීරෝගි පුද්ගලයකු වෙත මැලේරියා පරපෝෂිතයා ගෙනයාමට රෝග වාහකයා ලෙස කටයුතු කරන්නේ Anophelus ගණයේ ගැහැනු මදුරුවන්. මෙම මදුරුවන් ලේ උරා බීමේදී මිනිස් ශරීරය තුළට පරපෝෂිතයා ඇතුළු වී රෝගය බෝ කරයි. සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේදී තමයි මේ මදුරුවන් ලේ උරා බොන්නේ. මේ මදුරු විශේෂය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව ව්‍යාප්ත වෙලා තිබෙනවා.

මැලේරියා රෝගය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද? වසරකට කොපමණ රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගන්නවා ද?

දැනට ලෝකයේ රටවල් 88 ක පමණ මැලේරියාව ව්‍යාප්තව පවතිනවා. වැඩි වශයෙන් පවතින්නේ නයිජීරියාව, කොන්ගෝ රාජ්‍ය, උගන්ඩාව, මොසැම්බික්, ටැන්සානියාව වැනි අප්‍රිකානු මහද්වීපයේ රටවලයි. ඊට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි දකුණු ආසියාතික රටවලත් ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය, දකුණු කොරියාව වැනි අග්නිදිග ආසියාතික රටවල් සහ වෙනිසියුලාව, බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව වැනි ලතින් ඇමරිකානු රටවලත් මැලේරියාව ව්‍යාප්තව පවතිනවා. ගෝලීයව වසරකට මැලේරියා රෝගීන් මිලියන 200 කට අධිකව වාර්තා වන අතර ලක්ෂයකට වැඩි පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මරණ වැඩි ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ අප්‍රිකානු රටවලයි. ඉන් සැලකිය යුතු ප්‍රතිශතයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනවා. දැනට වසරකට රෝගීන් 40ක් පමණ මෙරටින් වාර්තා වෙනවා. ඔවුන්ගෙන් බහුතරයකට රෝගය වැලඳී ඇත්තේ අප්‍රිකානු රටවලදී හෝ ඉන්දියාවේදී.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

මේ රෝගයේ රෝග ලක්ෂණ ලෙස එක දිගට පවතින හෝ වරින්වර ඇතිවන උණ, උණත් සමඟ ඇඟ සීතල කිරීම හා වෙව්ලීම, ඇඟපත වේදනාව, ඇඟපත දුර්වල ගතිය, හිසරදය රෝගයේ මුල් අවධියේ අපිට හඳුනාගන්න පුළුවන් රෝග ලක්ෂණයි. ඒ වගේම රෝග සංකූලතා ඇතිවුවහොත් වලිප්පුව, සිහිමද ගතිය, ඇස් කහවීම, මූත්‍රා පැහැය වෙනස්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව වගේ රෝග ලක්ෂණ දැක ගන්න පුළුවන්. මැලේරියා රෝගයේ ඉතාම දරුණු තත්ත්වයක් ලෙස මොළයේ මැලේරියාව හඳුන්වන්න පුළුවන්. මෙය ඉතාම ඉක්මනින් හඳුනා නොගතහොත් රෝගියා මරණයට පත්වීම නොවැළැක්විය හැකි වෙනවා.

මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ වෙනත් උණ රෝගවලින් වෙනස් වෙනවා ද? (ඩෙංගු, ඉන්ෆුලුවෙන්සා)

බොහෝදුරට මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ වෙනත් රෝගවලදී ද අපට දැකගන්න පුළුවන් වෙනවා. වරින්වර ඇතිවන උණක් මැලේරියා රෝගයේදී දැකගන්න පුළුවන් වෙන අතර එකදිගට පවතින උණක් වුවත් ඇතිවෙන්න පුළුවන්. මෙම රෝගයේදී ඇතිවන උණ තත්ත්වය වෙනත් බෝවන රෝගවල රෝග ලක්ෂණවලින් සායනිකව වෙන් කරලා හඳුනා ගන්න අපහසුයි. එමෙන්ම කලාතුරකින් උණක් නොමැති වන්නටත් පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම විදේශගතවී පැමිණි අයෙක් නම් විදේශගත වී පැමිණි බව නොසඟවා වෛද්‍යවරයාට පැවැසිය යුතු වෙනවා. එවිට උණ රෝගය මැලේරියාව ලෙස අනුමාන කරලා රෝගය හඳුනා ගැනීමට පහසු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණවලට යොමු කිරීමේ හැකියාව ඒ හරහා ලැබෙනවා.

මැලේරියා පරීක්ෂණවලට යොමු වන්නේ කෙසේ ද?

මැලේරියාව හඳුනා ගැනීමට ප්‍රධාන වශයෙන් තිබෙන පරීක්ෂණය වන්නේ රුධිර පටල අන්වීක්ෂයක් මඟින් පරපෝෂිතයන් සිටිනවා ද කියලා පරික්ෂා කිරීම. බොහෝ රජයේ රෝහල්වල සහ මැලේරියා මර්දන ව්‍යාපාරය මඟින් නොමිලේ මෙම පරීක්ෂණ සිදු කරනවා. ඊට අමතරව මැලේරියා ප්‍රතිදේහජනක රුධිරයේ තිබෙනවා ද යන්න විශේෂ පරීක්ෂණවලින් දැනගන්න පුළුවන්. ඔබට මැලේරියාව වැලඳී ඇතැයි අනුමාන කළහොත් වෛද්‍යවරයා විසින් අදාළ පරීක්ෂණවලට යොමු කරනු ලබනවා.

මැලේරියා රෝගයේ අවදානම් පාර්ශ්ව කවුරුන් ද?

ශ්‍රී ලංකාව තුළ වර්තමාන ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් මැලේරියාවට ගොදුරු නොවූවන්. එම නිසා මැලේරියාවට එරෙහි ප්‍රතිශක්තිය ඔවුන් තුළ ගොඩනැගී නැහැ. එබැවින් රෝගය වැලඳීමේ සහ රෝගයේ සංකූලතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් අපේ රට තුළ දැනට පරපෝෂිතයන් නොමැති නිසා මැලේරියාව බහුල ලෙස ව්‍යාප්තව පවතින රටවල සංචාරයේ නිරතවන පුද්ගලයන් මේ රෝගයට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. මැලේරියාව බහුලව ව්‍යාප්තව තිබෙන රටවල් ලෙස ඉන්දියාව සහ දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල්, අප්‍රිකානු රටවල්,අග්නිදිග ආසියාතික රටවල් සහ ලතින් ඇමෙරිකානු රටවල් හඳුනාගන්න පුළුවන්.මේ රටවල සිට පැමිණෙන සාමසාධක කටයුතුවලට සහභාගි වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්,වන්දනාකරුවන්,සංචාරකයින් ව්‍යාපාරිකයින්,විදෙස් අධ්‍යාපනය ලබා පැමිණෙන සිසුන් මේ මැලේරියා රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.ඒ වගේම අනෙකුත් පුද්ගලයන්ට සාපේක්ෂව ගර්භණී මවුවරුන් සහ කුඩා දරුවන්ට රෝගය වැලඳීමේ සහ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් පවතිනවා.

මැලේරියා රෝගය වැලඳීම වළක්වා ගන්න පුළුවන් කොහොමද?

මැලේරියාව බහුලව පවතින රටක සංචාරය කිරීමට පෙර මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල අමතා අවශ්‍ය ඖෂධ හා උපදෙස් ලබාගත යුතුයි.එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළේ සෞඛ්‍ය සායනයෙන්ද මෙම ඖෂධ ලබාගත හැකිය.එම ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව එම රටට පිටත් වීමට පෙර සිටම ලබාගත යුතුයි.එමෙන්ම එම රට තුළදී මදුරු දෂ්ටනය වළක්වා ගැනීමට මදුරු විකර්ශක (repellant) භාවිතය, එළිමහනේ සිටින විට ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳීම, රාත්‍රී කාලයේ මදුරුදැල් භාවිතය වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. මෙරටට පැමිණි පසු අදාළ රුධිර පරීක්ෂණවලට යොමුවීම වැදගත්. එසේම මෙරටට පැමිණ වසරක් වත් ගතවනතුරු ඔබට වැලඳෙන උණ හෝ වෙනත් රෝග තත්ත්වයකදී ඔබ මෙවැනි රටක සංචාරය කළ බව වෛද්‍යවරයාට පැවැසිය යුතු වෙනවා.

රෝගීන් හඳුනාගැනීම හා නිසි ප්‍රතිකාරවලට යොමු වීම කෙතරම් වැදගත් ද?

රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම කාරණා දෙකක් නිසා ඉතා වැදගත්. රෝගියාට සංකූලතා ඇති වීමට පෙර ප්‍රතිකාර කිරීමට හැකිවීම පළමු වැන්නයි. ඒ හරහා රෝගියා සුව කරගත හැකියි. වර්තමානයේ ලංකාව මැලේරියා රෝගයෙන් තොර රටක් ලෙස සලකනවා. මේ රෝගයේ පරපෝෂිතයා විතරයි රටේ නැත්තේ. නමුත් වාහක මදුරුවා රට තුළ ව්‍යාප්තව සිටිනවා. එම නිසා මේ රෝගීන්ගෙන් අන් අයට රෝගය පැතිරීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා රට තුළ නැවත මැලේරියා පරපෝෂිතයා ව්‍යාප්ත වීම වැළක්වීමට රෝගීන් ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු වෙනවා. එමෙන්ම ඔබට රෝග ලක්ෂණ පහව ගියත් වෛද්‍යවරයා නිර්දේශ කරන මුළු කාලය පුරාවට ප්‍රතිකාර ගැනීම වැදගත්.

මැලේරියා මර්දනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවත් වර්තමානයේ මැලේරියා රෝගීන් වාර්තා වෙනවා. මෙයට හේතු මොනවා ද?

මෙරට තුළදී මැලේරියා වැලඳුණ රෝගියක් අවසන් වරට වාර්තා වුණේ 2012 වර්ෂයේ. 2012 න් පසු දැනට වාර්තාවන රෝගීන් සියලු‍ දෙනාම වෙනත් රටවලදී පරපෝෂිතයා ආසාදනය වූවන් ලෙස හඳුනාගන්න පුළුවන්. එම නිසා ඉහත කී මැලේරියා බහුල රටක සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ රටට පිටත් වීමට දින 10කටවත් පෙර මැලේරියා මර්දන ව්‍යාපාරයට ඒ බව දන්වා ඔවුන් නොමිලේ ලබා දෙන මැලේරියා මර්දන ඖෂධ සහ අනෙකුත් මදුරු දෂ්ටන වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්. මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෙබ් අඩවියෙන් සහ දුරකථන අංක අමතා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්. මෙම උපදෙස් සහ ඖෂධ නිසි ලෙස ලබා ගැනීමෙන් ඔබට පිටරටකදී මැලේරියාව වැලඳීම වළක්වා ගත හැකියි.

ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් කිරීමට ගෙන ඇති පියවර සහ එහි සාර්ථකභාවය?

මැලේරියා මර්දන ව්‍යාපාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැලේරියා රෝගය රටින් තුරන් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එම නිසා 2016 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර තිබෙනවා. වර්තමානයේ ඔවුන් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ නැවත මැලේරියා රෝගය ස්ථාපිත වීම වැළක්වීමටයි. ඒ සඳහා අරගෙන තිබෙන ක්‍රියාමාර්ග විදිහට මැලේරියාව හඳුනා ගැනීමේ පරීක්ෂණ නොමිලේ සිදු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනවා. විදේශගත වී පැමිණෙන අයට ගුවන් තොටුපළේ දී පවා මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රෝගීන්ට ප්‍රතිකාර ලෙස හෝ රෝගය වැලඳීම වැළැක්වීමට ගන්නා ඖෂධ නොමිලේ ලබාදීමට පහසුකම් ලබාදී තිබෙනවා. ඒ වගේම විදෙස්ගත වන්නන්ට අවශ්‍ය උපදෙස් සහ ඖෂධ ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන රෝගීන් සම්බන්ධයෙන් වාර්තා ඉක්මනින් ලබාගෙන ඔවුන්ට ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට මලේරියා මර්දන ව්‍යාපාරය කටයුතු කරනවා. එමෙන්ම රෝගියෙක් වාර්තා වුවහොත් එම ප්‍රදේශයේ වෙනත් මැලේරියා රෝගීන් සිටිත් දැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් සොයා බැලීම සිදු කරනවා. මෙවැනි අවස්ථාවකදී ඔවුනට සහය දැක්වීම මහජනතාවගේ වගකීමක්. වඩාත් දැනුම්වත් බව තුළින් හා රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම මඟින් මැලේරියාව නැවත රට තුළ ව්‍යාප්තවීම වළක්වා ගන්න පුළුවන්.

රුවන් පුෂ්පකුමාර, 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, 
කැලණිය විශ්වවිද්‍යාලය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT