Home » මේක නාට්‍යය කලාව ඔසවා තබන්න කළ උත්සාහයක්

මේක නාට්‍යය කලාව ඔසවා තබන්න කළ උත්සාහයක්

කුරිරු අඳුර අධ්‍යක්ෂක සමන් පුෂ්ප ලියනගේ

by mahesh
May 3, 2024 1:02 am 0 comment

ප්‍රවීණ නාට්‍යයකරුවෙකු මෙන්ම ග්‍රන්ථ පරිවර්තකයකු වන සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කර අධ්‍යක්ෂණය කරන ලද කුරිරු අඳුර වේදිකා නාට්‍යයය දැන් දිවයින පුරා ප්‍රදර්ශන වාර ආරම්භ කර තිබේ. මෙම නාට්‍යයය ලියෝ ටොල්ස්ටෝයිගේ නාට්‍යයයක පරිවර්තන නාට්‍යයයකි. කුරිරු අඳුර වේදිකා නාට්‍යයය පිළිබඳ එහි අධ්‍යක්ෂ සමන් පුෂ්ප ලියනගේ සමඟ කළ සාකච්ඡා සටහන මෙසේ දිග හරිමු.

කුරිරු අඳුර වේදිකා නාට්‍යයයේ තේමාව සහ නාට්‍යයය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?  

මේ නාට්‍යයයේ මංගල දර්ශනය පසුගියදා සිදු කළා. the power of darkness කෘතියේ පරිවර්තනයක් විදිහටයි කුරිරු අඳුර නම් සිංහල වේදිකා නාට්‍යයය නිර්මාණය වෙන්නේ. the power of darkness කෘතිය ලියෝ ටොල්ස්ටෝයි විසින් රචනා කරනු ලැබුවේ 1886 වර්ෂයේදියි. එහෙත්, මෙය 1902 දී තහනම් කරනු ලැබුවා. මෙම නාට්‍යයය ලෝක ඉතිහාසයේ වැදගත් නාට්‍යයයක් විදිහට සලකනු ලැබුවත් මෙම නාට්‍යයය ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක පරිවර්තනය වී නැහැ.

මෙම නාට්‍යයයේ තේමාව බවට පත්ව තිබෙන්නේ මෝහ අන්ධකාරයෙන් මිදීමයි. නූගත්කම, නොදැනුම්වත්කම, රාගික ආශාවන් වගේම සදාචාරවත්භාවය පිළිබඳව මෙහි අවධානය යොමු වෙනවා.

the power of darkness කෘතිය කුරිරු අඳුර ලෙස පරිවර්තනය කරනු ලැබුවා. 2016 දී එම පරිවර්තන කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී හොඳම කෘතියට හිමි සම්මානයට යෝජනා වුණා. ඇත්තෙන්ම මේ ආකාරයේ කෘති වේදිකා නාට්‍යයය විදිහට පරිවර්තන වීම අපේ නාට්‍යය කලාව ඉහළ ස්ථානයක තැබීමට කරනු ලබන උත්සාහයක් විදිහට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා.

මේ නාට්‍යයයේ මංගල දර්ශනය පැවැත්වුණේ මෑතකදීයි. මේ කෙටි කාලය තුළ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ නාට්‍යය සුපුරුදු තේමා ඉක්මවා ගිය උසස් කෘතියක පරිවර්තනයක් නිසා ඉහළ නාට්‍යය රස වින්දනය අගය කරන රසික ප්‍රජාව අතර ලොකු ප්‍රසාදයක් අත් කරගනිමින් සිටිනවා. දැනටමත් අපට විවිධ පළාත්වලින් නාට්‍යය සඳහා ආරාධනා ලැබී තිබෙනවා.

මේ නාට්‍යය සඳහා එක්ව සිටින්නේ වේදිකාවට සුපුරුදු මුහුණු නොවෙයි ?

මේ නාට්‍යය සඳහා එක්ව සිටින්නේ අසූව දශකයේ වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරීව සිටි පිරිස්, අසූවේ අපි කියලා සමූහයක් සිටිනවා. ඔවුන් සමඟ නාට්‍යය වැඩමුළු මාලාවක් ඇති කරනු ලැබුවා. ඒ වැඩමුළුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි, කුරිරු අඳුර නාට්‍යය නිර්මාණය වෙන්නේ. මේ නාට්‍යය තුළ සිටින බොහෝ ප්‍රධාන නළු නිළියන් අසූව දශකයේ සිටි දක්ෂයෝ. ඔවුන් අද වෙනත් අංශවල ඉහළ නම් ගත් වෘත්තිකයෝ විදිහටයි සිටින්නේ. එහෙත්, අද මේ නාට්‍යය හරහා ඒ අය නැවත නාට්‍යය ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. ඒ වගේම අලුත් නළු නිළියන් පිරිසක්ද සිටිනවා. ඒ කණ්ඩායමට නාට්‍යය පිළිබඳව නැවත කැඳවීම සඳහා අසූවේ අපි, වැඩමුළුව වැදගත් වුණා.

කුරිරු අඳුර වේදිකා නාට්‍යයට දායකත්වය ලබාදෙන නළු නිළියන් කවුද ?

පාලිත සුදසිංහ, චම්පා වීරපුර, සී. දොඩාවත්ත, බිනාෂා කුමාරසිංහ, නිරන්ජන් චන්ද්‍රාදිත්‍ය, රොෂානි මාරියන්, සෙනෙවිරත්න බණ්ඩාර, සුනේරි කුලසේකර, අචලා සමරසිංහ, සන්ධ්‍යා රාජපක්ෂ, ප්‍රේමකුමාර දසනායක, සිතුමිණි වින්හාරා, චාරුක සුරවීර යන අයයි. ගී තනු නිර්මාණය සහ අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනුයි සිදු කරන්නේ. සිතුවම් නිර්මාණය සුජිත් රත්නායක විසිනුයි සිදු කරන්නේ. වේදිකා ආලෝකය මහාචාර්ය චන්දන අලුත්ගේයි.

අසූව සහ අනූව දශකවල වේදිකා නාට්‍යයවලට රටේ තිබූ ආකර්ෂණය පසුව නැති වී ගියා. දැන් නැවතත් වේදිකාව වෙත රසික කැමැත්ත ඇතිව තිබෙනවා. එයට හේතුව මොකක්ද?

ඔව්, අසූව දශකය වේදිකා නාට්‍යයවලට ලොකු කැමැත්තක් තිබූ කාලයක්. ඉන්පසුව ක්‍රමානුකූලව රසිකයන් වේදිකාවෙන් ඉවත්ව ගියා. කොවිඩ් වසංගතය සහ රටේ ඇති වූ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසා වේදිකා නාට්‍යය කලාව නැත්තටම නැති වුණා. එහෙත්, දැන් ක්‍රමානුකූලව මෙරට කලාවේ නැඟී එන කලා මාධ්‍යය බවට වේදිකා නාට්‍යය කලාව පත්වෙලා තිබෙනවා. ටෙලි නාට්‍යය බලන ප්‍රමාණය කෙමෙන් අඩු වෙලා. ඒ අතරට චිත්‍රපට ශාලා අඩුවීම නිසා චිත්‍රපට කර්මාන්තය ද අර්බුදයක තියෙන්නේ. ඒත්, අද වේදිකා නාට්‍යයවලට ප්‍රේක්ෂකයන් ඇදී එනවා. වැඩියෙන් ප්‍රහසන පිළිබඳව කැමැත්ත වැඩි බව පෙනෙනවා. ඒත්, කමක් නැහැ මෙය වේදිකා නාට්‍යය නැඟීමේ ආරම්භයක් විදිහට හොඳයි. ඉහළ වින්දන මට්ටම සහිත වේදිකා නාට්‍යයවලට ද කෙමෙන් රසික කැමැත්ත පළවෙමින් තිබෙනවා.

වේදිකාවේ හදිසි නැඟීමට හේතුව මොකක්ද?

හරියටම හේතුව මේකයි කියලා නිරීක්ෂණය කරන්නවත් නිගමනය කරන්න කාටවත් බැහැ. ඒත්, මොනයම් හේතුවක් නිසා හෝ වේදිකා නාට්‍යය ශාලා වෙත රසිකයන් නැවත ගමන් කරමින් සිටිනවා. රංග ශාලා වෙත රසිකයන් ගෙන්වා ගැනීමට සහ ඔවුන් රඟහල තුළ රඳවා ගැනීමට යම් ආරම්භයක් විදිහට සිදු වෙන්න ඕනෑ. ඉන් පසුව නාට්‍යය ප්‍රේක්ෂකයාගේ උසස් රස වින්දනය වගේම වින්දන ශක්තිය ඉහළ දැමීමට හැකියාව තිබිය යුතුයි.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT