Home » පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ බේකරි පාසලෙන් ‘දර පෝරණු’ – ‘අවන්පාන්’ නියම බරට රුපියල් 140කට

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ බේකරි පාසලෙන් ‘දර පෝරණු’ – ‘අවන්පාන්’ නියම බරට රුපියල් 140කට

ඔවුන් කවදා හරි නිදහස් වෙලා ගිය දිනක මේ පුහුණුවෙන් හොඳ ආදායමක් උපයන්න පුළුවන් - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය

by mahesh
May 3, 2024 1:00 am 0 comment

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රැඳවියන් නව පුනරුත්ථාපන වැඩපිළිවෙළකට යොමු කරමින් ඇරැඹූ බේකරි පාසල මේ වනවිට සාර්ථක ඵල අත්කරගෙන තිබේ.

UNODC (මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ)ආධාර මත බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස්වලට අනුව පාන්,පේස්ට්‍රි වර්ග,බනිස් වර්ග ඇතුළු කෙටි කෑම,කේක් වර්ග ඇතුළු කෑම වර්ග රැසක් සෑදීමේ පාඨමාලා හැදෑරීමට පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රැඳවියන්ට අවස්ථාව හිමි වී ඇත.

UNODC කාර්යාලයට මේ පල්ලෙකැලේ බේකරියට රුපියල් කෝටියක පමණ වටිනාකම ඇති උපකරණ ලබාදී ඇති අතර මෙහි රැඳවියන් 20ක් පමණ සයමස් බේකරි පාඨමාලාව හදාරමින් සිටිති.න් සිටී.පල්ලෙකැලේ බේකරිය තුළ ‘දර පෝරණු’ පාන් මෙන්ම ‘අවන්පාන්’ ද නිෂ්පාදනය කරන අතර ග්‍රෑම් 450ක නියම බර සහිත පාන් ගෙඩියක් රුපියල් 140ක් වැනි අඩු මුදලකට පාරිභෝගිකයන්ට ලබාදෙයි.

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ ඉදිරිපස ඇති වෙළෙඳසලේ (අවන්හලේ) පාන් අලෙවිය සරුවට සිදු කෙරෙන අතර දිනකට පාන් ගෙඩි 300 – 400 ක් පමණ මේ බේකරියෙන් නිපදවයි. පේස්ට්‍රි වර්ග ඇතුළු කෙටි කෑම ද 300 – 400 අතර ප්‍රමාණයක් නිපදවන අතර මේ රැඳවියන් ඉතා පිරිසුදු ලෙස සාදන බනිස්, දළදා මාළිගාවේ සේවය කරන පිරිස් වෙත ලබාදීම කරයි.

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ ආරම්භ කළ නව පන්නයේ බේකරිය සහ පාඨමාලාව පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය නව ක්‍රමවේදයකට යොමු කරමින් පල්ලෙකැලේ බේකරි පාසල ආරම්භ කළ බවයි.

‘මේ බේකරි පාසල පසුගියදා විවෘත කෙ‍රුණේ අධිකරණ,බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. දැනට මෙහි රැඳවියන්ට පැවැත්වෙන්නේ මාස 06ක පුහුණු පාඨමාලාවක්. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් නියමවූවන් සහ අවුරුදු 5ට අඩු සිරදඬුවම් අධිකරණය මගින් නියම වූ අය මේ එළිමහන් කඳවුරේ රඳවා සිටිනවා. එයින් මේ පාඨමාලාවට කැමති අය අතරින් 20ක් තෝරාගෙන ඒ අයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෘත්තීය උපදේශකවරුන් යටතේ පුහුණුව දෙනවා. මේ පාඨමාලාව තවත් උසස් තත්ත්වයට ගෙන ඒමට ඉදිරියේදී NAITA ආයතනය සමඟ එකතු වීමටද සැලසුම් කර තිබෙනවා. එහිදී එම ආයතනය මගින් මේ බේකරි පාඨමාලාව සඳහා වෘත්තීය මට්ටමේ වටිනා සහතිකයක් නිකුත් කිරීමට ද සාකච්ඡා වෙමින් තිබෙනවා.

හැමදාම සිරගෙවල්වලදී සිරකරුවන් පුනරුත්ථාපනය කරන්නේ සම්ප්‍රදායික ක්‍රමයකට.වඩුවැඩ, මේසන් වැඩ,අත්කම් වගේ එකම රාමුවකට යොමු වෙලා තිබෙන පුනරුත්ථාපන ක්‍රමය වෙනස් කරන්න ඉදිරි සියවසට ගැළපෙන විදියට සකස් කරන්නයි මට අවශ්‍ය වුණේ. ඒ සඳහා මේ බේකරි පාඨමාලාව නූතන වෙළෙඳපො‍ළට ගැළපෙන පරිදි අප සකස් කළා. අධිකරණ, බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහත්වරුන්ගෙන් මට ඒ සඳහා නිසි ප්‍රවේශයක්, ශක්තියක් ලැබුණා.

මේ පාඨමාලාව හදාරන රැඳවූවන් පාඨමාලාව නිම කිරීමෙන් පසු අනෙකුත් බන්ධනාගාරවල මේ කර්මාන්තය ඇරැඹීමට ඔවුනගේ දායකත්වය ලබාදීමට අපේක්ෂා කරනවා.ඒ වගේම ඔවුන් කවදා හරි නිදහස් වෙලා ගිය දිනක මේ පුහුණුව යොදාගෙන හොඳ ආදායමක් උපයාගන්න පුළුවන්. තමන්ම ස්වයං ව්‍යාපාරයක් හෝ වෙනත් පිළිගත් ආයතනයක, තරු හෝටලයක හෝ රැකියාවකට ඔවුන් යොමු වන්න පුළුවන්. බන්ධනාගාරගතව මේ පුහුණුව ලබන රැඳවුවන් උපයා ගන්නා යම් මුදලක් වනවා නම් ඒවා ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අදාළ බැංකු ගිණුම් වෙත බරකිරීමට හෝ ඒ අය හිරෙන් නිදහස් වනවිට ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. බන්ධනාගාරගත රැඳවියන් නිකම්ම ‘සිරබත්’ කන පිරිසක් නොවී රටේ ආර්ථිකයට දායක වන පිරිසක් බවට පත්කර ගැනීමටයි මේ තුළින් අරමුණු කරන්නේ උපුල්දෙණිය මහතා පවසයි.

පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරි සුමුදු පෙරේරා මහතා –

මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බේකරි පාසලේ නිෂ්පාදනවලට පාරිභෝගිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා.නියම බරට,නියම ප්‍රමිතියට පිරිසුදුව සෞඛ්‍ය ආරක්ෂිතව රැඳවියන් විසින් මෙහි කෑමවර්ග නිෂ්පාදනය කරනවා. මේ බේකරියෙන් දවසකට ග්‍රෑම් 400 පාන් ගෙඩි 300-350ක් පමණ නිපදවනවා.දළදා මාලිගාවේ වැඩ කරන අයට ලබාදෙන්න බනිස් හදන්නෙත් අපේ බේකරියේ පුහුණු රැඳවියන්.දිනපතාම මේ බනිස් තොග ඒ වෙනුවෙන් පිළියෙළ කරනවා.මේ එළිමහන් සිරකඳවුර ඉදිරිපස තිබෙන outlet එකේ මේ බේකරියේ නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් තිබෙනවා.පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේදී මේ බේකරියෙන් සෑදුව කේක් කිලෝ 400ක් පමණ අලෙවි වුණා. වෙසක් උත්සවයට දන්සල් දෙන අය වෙතින් මේ වනවිට පාන් ගෙඩි 500කට ඇණවුමක් දැනටමත් ලැබී තිබෙනවා. විශේෂයෙන් අපේ පෝරනු පාන්වලට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්.

ඒ වගේම අවට පාසල්වල උත්සවවලට අවශ්‍ය පේස්ට්‍රි ඇතුළු කෙටිකෑම වර්ග සඳහා අපට ඇණවුම් ලැබෙනවා. ඒ වගේම අවට ආයතනවල පැවැත්වෙන උත්සව සඳහාත් අපට ආහාර වර්ග සැපයීමට ඇණවුම් ලැබෙනවා. මේ කෑම වර්ග අපි සපයන්නේ වෙළෙඳපොළේ අනෙකුත් අවන්හල්වල පවතින මිල ගණන්වලට වඩා ඉතාමත් අඩු මිලකටයි. ඒ වගේම එහි සෞඛ්‍යාරක්ෂිත බව ඉතා ඉහළයි.

ප්‍රීමා සමාගමත් සමඟ එකතු වෙලා ඉදිරියේදී දින 02ක පුහුණු වැඩමුළුවක් මේ බේකරි පාඨමාලාව හදාරන රැඳවියන් සඳහා පැවැත්වීමට අපි කටයුතු යොදා තිබෙනවා.සිරකරුවන් රජයටත්,රටටත් බරක් නොවන ලෙස රඳවා තබන්නයි අප වෑයම් කරන්නේ. හිරගෙදරින් නිදහස් වෙනදාට රටට,සමාජයට වගේම තමන්ගේ ගෙදරටත් බරක් නොවන පුද්ගලයෙක් බිහි කරන්නයි අපේ මේ වෑයම’යැයි ද බන්ධනාගාර අධිකාරිවරයා පැවසීය.බන්ධනාගාර රජයෙන්ම යැපෙන ආයතන බවට පත් නොකොට රටට ආදායම් උපයන ස්ථාන බවට පත් කෙරෙන බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුවේ මේ වෑයමට පල්ලෙකැලේ බේකරි පාසල නව අරුතක් එක් කර ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT