Home » භාෂාව කියන්නේ ජාතීන් අතර සහයෝගිතාව ගොඩනඟන පාලමක්

භාෂාව කියන්නේ ජාතීන් අතර සහයෝගිතාව ගොඩනඟන පාලමක්

- දෙමළ භාෂා ගුරු උපදේශක ශාන්ති වීරසිංහ

by sachintha
April 29, 2024 3:10 am 0 comment

භාෂාව අපව නළවන, රිදවන, සනසන පුදුමාකාර හැකියාවක් තියෙන කලාවක්

භාෂාවකට පුදුමාකාර විදිහට හරඹ කරන්න පුළුවන්

සහෝදරත්වයෙන් හදවතට කිඳාබැසීමේ හැකියාව ඇතිවෙන්න භාෂාව ඉගෙන ගන්න ඕනෑ

රැකියා අභියෝගයට ඔබත් අභියෝගයක් වෙන්න

ජාතීන් අතර සමගිය, සංහිඳියාව ඇතිකොට එම ජාතීන් එකට එකතු කරන පාලමක් ලෙස භාෂාව හැඳින්විය හැකිය. වර්තමානයේ බොහෝ රටවල භාෂා අධ්‍යයනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාවේ ද දෙවන බස ලෙස දෙමළ භාෂාව ඉගෙනීම පාසල් මට්ටමේ සිට අනිවාර්ය විෂයයක් විය යුතුය යන්න පිළිබඳ සාකච්ඡා මතුවෙමින් තිබේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දමිළ තෙන්ඩ්‍රල් එෆ්. එම් සේවය ඔස්සේ සිංහල පුවත්පත් තොරතුරු ලෝකයේම සිටින දෙමළ භාෂිකයන් අතරට දෙමළ භාෂාවෙන් ගෙන යන ජාතික ගුවන්විදුලියේ එකම සිංහල මාධ්‍යවේදිනිය දෙමළ භාෂා ගුරු උපදේශක ශාන්ති වීරසිංහ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

 

l භාෂා අධ්‍යයනයේ වැදගත්කම සහ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද ?

භාෂාව කියන්නේ අපව නළවන, රිදවන, සනසන පුදුමාකාර හැකියාවක් තියෙන කලාවක්. ඒ වගේම ජාතීන් අතර සහයෝගිතාව ගොඩනඟන පාලමක්. තව කෙනෙකුගේ හැඟීමක් දැනීමක්, තේරුම් ගන්න, වේදනාවක්, සතුටක් බෙදාගන්නට බැරිනම් පුද්ගලයකු විදිහට අපි අසමත් කියලා මට හිතෙනවා. අපේ සහෝදරයා, සහෝදරිය, අසල්වාසියා දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙක් නම් දෙමළ තමයි එයාගේ මව් භාෂාව වෙන්නේ. ඔවුන් සමඟ සහයෝගයෙන් ඉන්න නම් අනිවාර්යයෙන්ම මේ භාෂාව පිළිබඳ තරමක හෝ දැනීමක් තියෙන්න ඕන. එය එක් පාර්ශ්වයකට විතරක් නෙවෙයි, සිංහල භාෂිකයන් දෙමළ භාෂාවත්, දමිළ භාෂිකයන් සිංහල භාෂාවත් දැනගන්න ඕනෑ. ඒ සහෝදරත්වය තුළින් තමයි දිගුකාලීන හා තිරසාර සාමය ගොඩනඟාගන්න පුළුවන් වෙන්නේ. අපට ඔවුන්ගේ හැඟීම්, දැනීම් තේරුම් ගැනීමට බැරි වෙන තාක්කල් අපි දුරස් වෙනවා මිසක් සංවර්ධනයක් හරහා මොනතරම් භෞතික සම්පත් ලැබුණත් මානවයා අතර ගොඩනඟන මේ සහසම්බන්ධතාව වගේම එකිනෙකා අවබෝධ කරගන්නට භාෂාව නැත්නම් බැහැ. සිංහල කෙනෙකුට දමිළ මව් භාෂිකයන් විදිහටම දමිළ භාෂාව කතා කරන්න බැරි වෙයි. ඒත්, අපි කතාකරන දේ අනිත් කෙනාට තේරෙනවා නම් ප්‍රමාණවත්. අපි මේ සහෝදර භාෂාව උගත යුතුයි. ඒ වගේම දමිළ සහ මුස්ලිම් සහෝදරයෝ සිංහල භාෂාවත් ඉගෙන ගන්නවානම් තවදුරටත් අපේ මේ සහයෝගය, සම්බන්ධතාව වර්ධනය වෙනවා.

l දෙවන බස ලෙස දෙමළ භාෂාව ඉගෙනීම කෙතරම් වැදගත් ද?

සිංහල හා දෙමළ අපේ රටේ රාජ්‍ය භාෂාවන්. රටේ තියෙන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යථාර්ථයක් වීමට නම් උතුර ද දකුණ ද කියලා භේදයක් නැහැ අපි හැමෝම මේ භාෂා දෙක ඉගෙන ගත යුතුමයි. උතුරට අපි ගියොත් ඒ ඉන්න දමිළ ප්‍රජාවත් එක්ක ගනුදෙනු කිරීමේදී ඒ අය කතා කරන්නේ තමන්ගේ මව් භාෂාව. සිංහල අපිත් එහෙමයි. අපේ මව් භාෂාව තමයි ඉස්සෙල්ලම අපේ කටට හුරු. ඉතින් මේ භාෂා දෙක ඉගෙන ගැනීමේ වැදගත්කම අපිට එදාටත් වඩා අද දැනෙනවා. දෙවන බස ඉගෙනීම දැන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා. සිංහල – දෙමළ රාජ්‍ය සේවකයන්ටත් දැන් දෙවන භාෂා ප්‍රවීණතාව රජය ලබා දෙනවා. මෙය තවත් ශක්තිමත් වෙන්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ.

l දෙවන බස ලෙස දෙමළ භාෂාව ඉගෙන ගන්නා පිරිස මුහුණදෙන ගැටලු මොනවාද?

දෙමළ භාෂාව ඉගෙන ගන්න සිංහල මව් භාෂිතයන් ටිකක් බයවෙනවා. අපිට මේක ඉගෙන ගන්න හැකියාවක් තියෙනව ද? කියලා. මගෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් ඒක. රාජ්‍ය සේවකයන් පවා අහන්නේ දෙමළ ඉගෙන ගන්න එක අමාරුයි නේද කියලා. හැබැයි ඕනෙම දෙයක් ඉගෙන ගත යුතු පිළිවෙළක් තියෙනවා. ඒක භාෂා අධ්‍යයනයටත් පොදුයි. මේ පිළිවෙළ ගොඩනඟා ගැනීම තුළ කිසිම භාෂාවක් ඉගෙනීමට අමාරු නැහැ. පාසල් කාලය තුළ මම දෙමළ වචනයක්වත් දන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ, නූතන භාෂා ඉගෙන ගන්න අවස්ථාව අපිට හම්බ වුණා නොමිලේම. ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හැදෑරු වසර හතරේදී අමතරව දෙමළ බස ඉගෙන ගත්තා. මහාචාර්ය එස්. ජේ. යෝගරාජා මහත්මයා තමයි මුල්ම ගුරුවරයා. එතුමාගේ ඉගැන්වීම් කලාව හරිම විධිමත්. පිළිවෙළයි. ඒ තුළ දෙමළ භාෂාව ඉගෙන ගැනීමට ආසාව වැඩි වුණා. සිව්වැනි වසර වන විට ඉතාම අඩු සිසුන් ප්‍රමාණයක් තමයි දෙමළ භාෂාව ඉගෙනීමට සහභාගි වුණේ. පසුව මම තනියම සාමාන්‍ය පෙළ විභාගයට දෙවන බස දෙමළ භාෂාව ලිව්වා. ඉන් අනතුරුව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව කළා. අනතුරුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා ප්‍රවීණතා විභාග කළා. ඇත්තටම මම ඒ භාෂාවට පෙම් බැන්දා. දවසින් දවස මට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න හිතුණා. එය ව්‍යාකරණමය දෙයක් වෙන්න පුළුවන්. රචනාවක් වෙන්න පුළුවන්. කොහොම හරි භාෂා ප්‍රවීණතාව ලබාගත්තා. මම ජාතික ගුවන්විදුලියට එකතු වුණේ සිංහල භාෂා මාධ්‍යවේදිනියක් විදිහටයි. ඉන්පසු මගේ දෙමළ භාෂාව වර්ධනය කරගන්නට ජාතික ගුවන්විදුලියත් තෝතැන්නක් වුණා. මොකද මෙතැන භාෂා තුනම කතා කරන අය ඉන්න නිසා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ විධිමත් පරීක්ෂණවලට පෙනී ඉඳලා දෙමළ භාෂා ගුරු උපදේශකවරියක් ලෙස තේරී පත්වුණා. දැන් මම රාජ්‍ය සේවකයන්ටත් දෙමළ උගන්වනවා. රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව විධිමත් ලෙස පුහුණුව ලබා දුන්නා. ඒකටත් මම ස්තුතිවන්ත වෙනවා. අද මගේ හඬින් ඔවුන්ගේ බසින් සිංහල පුවත්පත් තොරතුරු අහනවා කියලා කැනඩාවෙ ඉන්න දෙමළ අය කිහිප දෙනෙක් මට කතා කරලා කිව්වා. ඒ ගැන හරිම සතුටුයි. මම කියන්නේ අපට දෙමළ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. අපි තව කෙනෙකුගේ භාෂාවක් කතා කරනකොට ඒ අයට දැනෙනවා. මම දෙමළ ඉගෙන ගන්න සිංහල කෙනෙකුට මඟපෙන්වීමක් විදිහට.“දෙමළ අකුරු ලිවීමේ පහසු මඟ”, “දෙමළ උගනිමු” පොත් සම්පාදනය කළා. සිංහල කෙනෙක් දෙමළ ඉගෙන ගන්න අනුගමනය කළයුතු පිළිවෙළ ඒ පොතට මම ඇතුළත් කළා. ඒවගේම “සිංහලෙන් හිතමු දෙමළෙන් ලියමු” රචනා පොත හා “පින්තූර විස්තර කරමු” කියලා පාසල් දරුවන්ට සුදුසු පොත් ලිව්වා. තව පොතක් ලියමින් පවතිනවා. බොහෝදුරට ඉදිරි සාහිත්‍ය මාසය තුළ ඒ පොත එළිදක්වන්න හැකියාවක් ලැබේවි. භාෂාව අවැසි සන්නිවේදනයටයි. එය ගොඩනඟා ගන්න සරල ක්‍රමවේදයක් තමා මම ඔය දීලා තියෙන්නේ. මාධ්‍යවේදියකු තවත් භාෂාවක් ප්‍රගුණ කරනවා කියන්නේ සමාජයට ගොඩක් දේවල් දීමට හැකිවීමක්.

l දෙවන බස ලෙස දෙමළ භාෂාව ඉගෙනීම අද වෙනකොට පාසල් මට්ටමෙන් අනිවාර්ය විෂයයක් බවට පත්වෙලා තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමියගේ අදහස?

මෙය ඉතාම සතුටුදායකයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති යථාර්ථයක් කිරීම සඳහා රජයෙන් විශාල වැඩපිළිවෙළක් ගෙන යනවා. එහිදී එකක් තමා පාසල් පද්ධතිය තුළ දරුවන්ට ඉගැන්වීම. අනික රජයේ සේවකයන් තුළ ද්විභාෂා ප්‍රවීණතාව ඇති කිරීම. 1-9 ශ්‍රේණි සඳහා විෂයයක් විදිහට ඇති දෙවන බස දෙමළ අපි සියලු‍ දෙනාම ඉගෙනගත යුතුයි කියන අදහසකට අපි හැමෝම එනවා නම් මීටත් වඩා හොඳින් අපි අතර තියෙන පොඩි ප්‍රශ්න ලේසියෙන් විසඳගන්න පුළුවන් කියලා හිතනවා. මොකද දෙමළ භාෂාව කියන්නේ අපේ රටට විතරක් පොදු දෙයක් නෙවෙයි. ලෝකයේ හැම තැනම දෙමළ ජාතිකයන් ඉන්නවා. ඒ වගේම මම ‌දෙමළ ජනතාවටත් ආරාධනා කරනවා, සිංහල භාෂාවත් ප්‍රගුණ කරන්න කියලා. මම හරි කැමැතියි උතුරට ගිහිල්ලා දෙමළ භාෂාව උගන්වන්න. විශ්‍රාම ගිය දවසක හරි ඒ අවස්ථාව උදාකරගන්න බලාපොරොත්තු වෙනවා.

l දෙමළ භාෂාව ඉගෙනීම තුළින් සමාජය තුළ ස්ථාපිත කරන්නේ මොන වගේ දෙයක් ද?

භාෂාවකින් කෙරෙන්නේ සන්නිවේදනයයි. කෙනෙක් හිතන්න පුළුවන් ඒක රැකියාවක් සඳහා ද කියලා. ඒකටත් වැඩිම ප්‍රවණතාවක් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් තව කෙනෙක් පරයා යන්නට ඉගෙන ගන්න දෙයක් කියලා. නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මොකටද අපි තව කෙනෙකුගේ භාෂාවක් ඉගෙන ගන්නේ කියලා. එවැනි අදහසක් ඇති කර ගත යුතුම නැහැ. ජීවත් වෙද්දී අපිට අපේ දේවල් බෙදා හදා ගන්න භාෂාව අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒක ඔබ කරන රැකියාවකට වැඩිදියුණුවක් සඳහා, ඔබගේ ආශාව සඳහා, ලෝකයේ සංචාරයට තියෙන අවශ්‍යතාව සහ රටෙහි සමගිව ජීවත්වීමේ අවශ්‍යතාවට වෙන්න පුළුවන්. විවිධාකාර වූ අවශ්‍යතා නිසා ද්විභාෂා ප්‍රවීණතාව ඇති කරගන්න පුළුවන්. දැන් රාජ්‍ය සේවකයන්ට ඉගැන්වීමේදී ඇතිවන ප්‍රශ්නයක් තමා පෙර සිට සකස් නොවුණු අඩිතාලමක් නොවීම. එදා අපිට දෙමළ කතා කරන වටපිටාවක් පාසල් කාලයේ සිටම තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. භාෂාවට පුදුම විදිහට හරඹ කරන්න පුළුවන්. සහෝදරත්වයෙන් හදවතට කිඳා බැසීමේ හැකියාව යමකු තුළ ඇතිවෙන්න භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒක සිංහල – දෙමළ දෙගොල්ලටම පොදුයි.

l සිංහල භාෂාව ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට දෙමළ භාෂා ප්‍රවීණතාව ලබාගැනීම කෙතරම් වැදගත් ද?

මම කියන්නේ ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔබේ අයිතිවාසිකම් ගැන කතා කරනවා සේම ඔබට විශ්වවිද්‍යාලය තුළින් ලබාගත හැකි සියලු ඵල නෙළාගෙන එළියට එන්න. නිකරුණේ කාලය කා දමන්න එපා. රැකියා අභියෝගයට ඔබ අභියෝගයක් වෙන්න. ඔබ නෙළාගන්නා ඵලයයි ඔබ සමාජයට ඇවිල්ලා බෙදන්නේ. අපිට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන බොහෝ දේවල් විශ්වවිද්‍යාලයේදී නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. භාෂාවන් කිහිපයක්, පරිගණක අධ්‍යාපනය ප්‍රගුණ කරන්න පුළුවන්. අද මං මුළු ලෝකෙටම මගේ හඬින් දෙමළ භාෂාවෙන් දෙමළ ජාතිකයන් අතරට ගියේ විශ්වවිද්‍යාලයේදී මා ලබාගත්ත ඵලය තුළින්. සිංහලයෙක් ලෙස එය මට අභිමානයක්. ඔබ හිස් අතින් ආවොත් සමාජයේ හිස් වෙනවා. දැනුමෙන් පිරී ආවොත් සමාජයේ දැනුමෙන් පූර්ණ වෙනවා. ඔබ පරිත්‍යාගශීලී විය යුතුයි, ඔබ ලබා ගත් දේ අනිත් අයට දෙන්න. වින්ගස්ටයින් පඬිවරයා කියනවා “ඔබේ ලෝකයේ සීමාව ඔබේ භාෂාවේ සීමාවයි. කියලා” විශ්වවිද්‍යාලයේ උපාධිය කියන්නේ එක දෙයක් පමණයි.

ඉෂාරා විජේරත්න

ජන සන්නිවේදන අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT