Home » ලෝකයම වසඟ කළ විසිතුරු භාෂාව සංගීතයයි

ලෝකයම වසඟ කළ විසිතුරු භාෂාව සංගීතයයි

මහාචාර්ය ප්‍රදීප් රත්නායක

by mahesh
May 10, 2024 1:00 am 0 comment

‘ප්‍රදීපාංජලී’ යනු මහාචාර්ය ප්‍රදීප් රත්නායකගේ ඒක පුද්ගල සිතාර වාදන ප්‍රසංගයයි. මෙම ප්‍රසංගය දීර්ඝ විරාමයකින් පසු නැවත ආරම්භ කර තිබේ. ප්‍රදීපාංජලී 18 වන ප්‍රසංගය මැයි මස 21වැනිදා සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ්හිදි පැවැත්වේ. මේ එම ප්‍රසංගය සහ සංගීතය පිළිබඳව මහාචාර්ය ප්‍රදීප් රත්නායක දැක්වූ අදහස් සමුදායයි.

ලෝකයේ තිබෙන ප්‍රබලතම භාෂාව තමයි සංගීතය කියන්නේ. මේ ප්‍රබලතම භාෂාව පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද?

ගීතය කොතැනින්ද නවතින්නේ එතැනින් තමයි සංගීතය ආරම්භ වන්නේ. ඇත්තෙන්ම විවිධ භාෂා දහස් ගණනක් තිබුණද ලෝකයටම තේරෙන විශ්ව භාෂාව විදිහට හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ සංගීතයට පමණයි. ලෝකයම වසඟ කළ විසිතුරු භාෂාව තමයි සංගීතය විදිහට හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ.

ඔබ සිතාරය සුරතට ගන්නේ වයස අවුරුදු හයේදී. ඇත්තෙන්ම මෙය සසර පුරුද්දක් විදිහටද සලකන්න පුළුවන්කම තිබෙන්නේ?

මම අවුරුදු පහේදී බටහිර සංගීතයේ ඇති ගිටාරය අතට ගත්තේ. අපේ ගෙදර එදා තිබුණේ එක්ස්ට්‍රාජ් එකක්. ඒ අනුව තමයි මම සංගීත ගමන ආරම්භ කළේ.

ඔබ සංගීත ශෛලිය වෙනස් නොකර ඉදිරියටම ගමන් කළා. ඒ පිළිබඳව සිහිපත් කිරීමක් කළ හැකිද?

මගේ ශෛලිය මම එක දිගටම අරන් ගියා. ඇත්තෙන්ම මටම අනන්‍ය වූ ආකාරයට කටයුතු කළා වගේම ඒ අනුව මගේ ශෛලිය ගොඩනැඟී තිබෙනවා. මම උසස් පෙළ විෂයන් කළේ ගණිත අංශයෙන් භෞතික විද්‍යා විෂය යටතේ. මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත්, මා විශ්වවිද්‍යාලයට තේරුණේ කලබලකාරී වාතාවරණයක් තිබූ කාලයේදී. මම මෙරටින් බැහැරව ගියා ඉන්දියාවට. එහිදී මම ඉගෙනුම ලැබුවා. මට එහිදී හැකියාව ලැබුණා වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යා බවට පත් වෙන්න. මගේ ගුරුතුමා වූයේ බට්ටාචාර්යතුමා. ඔහු ආචාර්ය ජයක්‍රිෂන්ගේ අවසාන ශිෂ්‍යා විදිහටයි සලකනු ලබන්නේ.

ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු බවට පත්වෙනවා. ඒ ගැන ඔබේ දැක්ම පිළිබඳව කළ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කළ හැකිද?

මම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පසු මුලින්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු බවට පත්වෙන්නේ 1998 වර්ෂයේදීයි. එහිදී මගේ පූර්වගාමියා වුණේ මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතායි. එහිදී මට පැවරුණා උපාධිය පිළිබඳ විෂය මාලාව අලුත් කිරීමට. එහිදී මම ගායනයට වාදනයට අමතරව බටහිර සංගීතයද ඒ සඳහා ඇතුළත් කළා. සංගීතයට තාක්ෂණය ඇතුළත් කිරීම පිළිබඳව හඳුන්වා දුන්නා. ඇත්තෙන්ම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා ඒ අයට මඟ පෙන්වීමක් ලබා දීම තමයි මූලික අරමුණ බවට පත් වුණේ. තාක්ෂණය, වීඩියෝ තාක්ෂණය වැනි නවීන අංග ද මේ සඳහා ඇතුළත් කර තිබෙනවා. බෙරවාදනයද මෙයට ඇතුළත් කළා. ඒ අනුව මම සර්ව සම්පූර්ණ විෂය මාලාවක් හැදුවා. මට මේ අතර කොලොම්බියා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. එහිදී මට විශේෂ පුද්ගලයන් වගේම මහාචාර්යවරු ඇසුරු කිරීමට ද අවස්ථාව ලැබුණා. මට ජෑස් සංගීතය පිළිබඳව ඉගෙන ගැනීමට වගේම ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාවක් ලැබුණා.

ඔබ සංගීත විෂය පිළිබඳව මෙරට සිටින ප්‍රාඥයකු විදිහට ප්‍රකටයි. ඔබගේ විචාරක ප්‍රේක්ෂක ඇගැයුමට ලක් වූ ‘ප්‍රදිපාංජලී’ ප්‍රසංගය වැනි ප්‍රසංගයක් බොහෝ කලකින් දක්නට ලැබුණේ නැහැ. නැවතත් ඔබව සංගීත ප්‍රාසාංගික අත්දැකීමකින් ප්‍රේක්ෂකයන්ට හඳුනා ගැනීමට ඉඩක් ලැබෙයිද?

දැනට ‘ප්‍රදීපාංජලී’ ප්‍රසංගය පසුගිය කාලයේදී විවිධ හේතු නිසා පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ. මගේ කාර්ය බහුලත්වය ද මෙම ප්‍රසංගයේ ප්‍රමාදයට තවත් එක් හේතුවක් බවට පත් වුණා. ඒ වගේම වසංගත තත්ත්වය ආර්ථික අර්බුදය ඇතුළු කරුණු බලපානු ලැබුවා. එහෙත්, අපට දැන් හැකියාව ලැබී තිබෙනවා ප්‍රදීපාංජලී ප්‍රසංගය නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රසංගය මැයි මස 21වැනිදා සවස 7.00ට ලයනල් වෙන්ඩ්හිදි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

සාමාන්‍ය ප්‍රසංගයකට වඩා ‘ප්‍රදීපාංජලී’ ප්‍රසංගයේ වෙනස්කම් පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඇත්තෙන්ම මෙය හුදු ගී ප්‍රසංගයක් නොවෙයි. සංගීතය මුල් කර ගත් ප්‍රසංගයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මම කලින් සඳහන් කළා වගේ සංගීතය කියන විශ්ව භාෂාව ජනගත කිරීම තමයි ප්‍රදීපාංජලී ප්‍රසංගයේ මූලික අරමුණ සහ පරමාර්ථය වෙලා තිබෙන්නේ. ඒ වගේම රසවින්දනය ඉහළ මට්ටමකට යොමු කිරීමට මේ ප්‍රසංගය මඟින් හැකියාව ලැබෙන බවට විශ්වාසයි.

ඔබේ බොහෝ නිර්මාණවලට ජන සංගීතය, වන්නම් වගේ දේවල් යොදා ගනු ලබනවා එහි විශේෂත්වය මොකක්ද?

අපි අපේ දෙයක් ලෝකයට දෙන්න නම්, අපේ සම්ප්‍රදායන්ද මුල් කරගෙන මේ ගමන යන්න ඕනෑ. අපට මහා සම්ප්‍රදායට වඩා තිබෙන්නේ චූල සම්ප්‍රදායක්. වන්නම්, ජන සංගීතය වගේ අපේ සංස්කෘතිය බෞද්ධත්වය තුළ වර්ධනය වීම නිසා අපේ සංස්කෘතිය තුළ සංගීතයට අතීතයේදී විශාල විදිහට වර්ධනය වීමට ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා අප වන්නම්, ජන සංගීත වගේ අංශවලට නවීන සංගීත අංග ද එකතු කිරීමට පුළුවන් කම තිබෙනවා. සිතාරය, සමඟ තබ්ලාව එකතු කිරීමෙන් තමයි මේ ප්‍රසංගය විචිත්‍රවත් වන්නේ.

ඡයාරූප රංජිත් අසංක

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT