Tuesday, May 14, 2024
Home » විදුදය මිණිපහන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝ

විදුදය මිණිපහන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණෝ

by sachintha
April 29, 2024 1:36 am 0 comment

කෘශ ශරීරයකින් හා පෘථුල නළල් තලයකින් හෙබි උන්වහන්සේ ලක්දිව බුදු සසුනේ පුනර්ජීවනයට ද භාෂා සාහිත්‍යයේ ප්‍රගමනයට ද ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ චිරාත්කාලීන පැවැත්මට ද අමිල මෙහෙවරක් ඉටුකළ පැවිදි මිණි පහනකි.

අද (29) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයාණන්ගේ 113 වැනි ගුණානුස්මරණ උත්සවය නිමිත්තෙනි.

දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයට අයත් හික්කඩුව හෙට්ටිගොඩ නම් ප්‍රත්‍යන්ත ගම්මානයේ 1827 ජනවාරි මස 20 වැනි දින ජොහානිස් අබේවීර ගුණවර්ධන රාලහාමි මහතා සහ දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ යන දම්පතීන්ට දාව නිකුලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධන නමැතිව උපත ලැබීය. ළමා කාලයේ දී හික්කඩුවේ සෝභිත නාහිමියන්ගෙන් මුල් අත්පොත් තැබූ මෙම කුල කුමරුවා මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ද පන්සලෙන්ම ය. මේ අයුරින් පන්සලෙන් බණ දහම් උගනිමින් සිටිය දී පැවිදි වීමේ ආසාවෙන් පසු වූ මෙම කුමරුවා 1840 දී තොටගමු මහ වෙහෙර උපෝසථාගාරයේ දී හික්කඩුවේ සුමංගල යන මංගල නාමයෙන් උතුම් ප්‍රව්‍රජ්‍යාව ලැබීය.

පැවිදි දිවියට අවැසි මූලික බණ දහම් ප්‍රගුණ කළ කුඩා සුමංගල සාමණේරයෝ උසස් අධ්‍යාපනය සඳහා එවකට ලක්දිව පතළ කීර්තිමත් පඬිරුවනක් වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියන්ට 1844 දී භාර කරන ලදි. 17 වියැති සුමංගල හෙරණපාණෝ වලානේ මාහිමියන් යටතේ සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, තර්ක න්‍යාය, ව්‍යාකරණ, ඡන්දෝලංකාර ආදී ශාස්ත්‍ර විධීන් ද ජ්‍යොතිෂය, ආයුර්වේදය මෙන්ම ධර්මය හා විනය පිළිබඳව ද හින්දි, ඉංග්‍රීසි ආදී ප්‍රතිචීන භාෂාවන් ද උද්ග්‍රහණය කරමින් පෘථුල ඥානයක් ලබා ගත්හ.

බෝගහවත්තේ සුදර්ශන පරමානන්ද විහාරය

සුමංගල සාමණේරයන් වහන්සේ ගුරු හිමියන්ගේ ද උපදෙස් පරිදි මහනුවර මල්වතු විහාරයේ උපෝසථාගාරයේ දී සුපරිශුද්ධෝපසම්පත්තිය ලැබී ය. එහිදී උන්වහන්සේ සතුව පැවති පාලි, සංස්කෘත භාෂා ඥානය ප්‍රකට වන අවස්ථාවක් ලෙස එවකට මල්වතු විහාරයේ මහනාහිමිපාණන්ව වැඩ සිටි ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ෂිත සුමංගල මහා නාහිමියන් පිළිබඳ එම අවස්ථාවේම පද්‍ය බන්ධනයක් කිරීම තුළින් පැහැදිලි වේ. මේ වන විට 39 වන වියේ පසු වූ සුමංගල හිමියෝ ස්වකීය ධර්ම ශාස්ත්‍රීය සේවාව ආරම්භ කරන්නේ 1958 වසරේ දී ගාලු නගරාසන්නයේ පිහිටි බෝගහවත්තේ සුදර්ශන පරමානන්ද විහාරයට වැඩම වීමෙන් පසුව ය. මිෂනාරීන්ගේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් අන්ත අසරණව සිටි සිංහල බෞද්ධයා අවදි කරවීම උන්වහන්සේගේ මූලික අභිප්‍රායක් වූ අතර උන්වහන්සේගේ මෙහෙයවීමෙන් ලංකෝපකාරය නමින් මුද්‍රණාලයක් හා ලංකාලෝක නමින් පුවත්පතක් ද 1862 දී අරඹන ලදි. මෙම මුද්‍රණාලයෙන් ම සුදර්ශන සඟරාව, බෞද්ධ වාක්සාරය, ලබ්දිම්තුලාව, ආගම් පරීක්‍ෂාව ආදී ග්‍රන්ථ රාශියක් ද මුද්‍රණය කොට ප්‍රචාරය කළහ.

1865 වසරේදී එවකට ශ්‍රී පාදස්ථානයේ භාරකාර ධුරය දරමින් සිටි මල්වතු විහාරවාසී ගලගම අත්ථදස්සි නායක ස්වාමීන්ද්‍රයන්ගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් පරිහානියට යමින් තිබූ ශ්‍රී ගෞතම ශ්‍රී පාදස්ථානයෙහි නායක ධුරයට පත්වූයේ 1866 දී ඉද්දමල්ගොඩ නිලමේතුමා ප්‍රධාන රදල නායකයන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙනි. එම පදවියෙහි කාර්යභාරය යුහුසුළුව ඉටුකළ අප නාහිමිපාණන් වහන්සේ ඉද්දමල්ගොඩ නිලමේතුමා විසින් ඉදි කරන ලද පැල්මඬුල්ලේ පුරාණ විහාරයේදී පවත්වන ලද ත්‍රිපිටක සංගායනාවට ද නායකත්වය ලබා දෙමින් සම්බුදු සසුනේ චිර පැවැත්මට මහඟු මෙහෙයක් ඉටු කරන ලදි. මුලින් සිය ආචාර්යවරයා වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයන් එහි සභාපතිත්වයට පත් වුව ද උන්වහන්සේ රෝගී වීම හේතුවෙන් එම වගකීම තමන් භාර ගනිමින් අටුවාටීකා ටිප්පණි ආදිය මෙන් ම බුරුම සියම් ත්‍රිපිටක ග්‍රන්ථ ද සසඳමින් වසර එක හමාරකට වැඩි කාලයක් කැප කරමින් ලක්දිව ත්‍රිපිටකයේ විශ්වසනීයත්වය තහවුරු කළහ.

දකුණු ලක ගාලු නගරයේ සිට කොළඹට පැමිණීමට සිදුවීම සුමංගල නාහිමියන්ගේ ගමන් මඟ වෙනස් කරන්නක් විය. රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ පරිවේණාධිපති ධුරය හෙබ වූ වලානේ සිද්ධාර්ථ නාහිමියන්ගේ අපවත්වීම හේතුවෙන් පරිවේණාධිපති තනතුර භාර ගැනීමට සිදු විය. මේ යුගය වනවිට මුළු කොළඹ ම අන්‍ය ලබ්ධිකයන්ට නතුව පැවති බැවින් නොසතුටට පත්ව සිටි සිංහල බෞද්ධ නායකයන් සුමංගල නාහිමියන් වෙත පැමිණ රට, ජාතිය, ආගම වෙනුවෙන් සේවාවක් ඉටු කිරීමට ආරාධනා කළහ. දොන් පිලිප් ද සිල්වා, ඈපා අප්පුහාමි ඇතුළු පිරිසගේ ආරාධනයෙන් මෙතෙක් කලක් විධිමත් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව හිතේ දරා ගනිමින් කොටහේනේ පරමානන්ද විහාරස්ථානයේ වාසයට පැමිණියහ. 1871 වසරේ දී ඈපා අප්පුහාමි ප්‍රධාන පිරිසක් කොටහේනට පැමිණ කරන ලද ආරාධනයකට අනුව මාලිගාකන්දේ පාම්හවුස් නම් මන්දිරයෙහි වස් වැසීමේ පරමාර්ථයෙන් වැඩම කරන ලදි. එම භූමියෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට නම් රුපියල් 6000 ක මුදලක් එහි අයිතිය හිමි ලන්සරගේ දොන් අන්ද්‍රිස් පෙරේරා අප්පුහාමිට ගෙවිය යුතු වුව ද එය අසීරු බව දැන මුදල් සොයා ගැනීම පහසු කර ගැනීමේ පරමාර්ථයෙන් දහතුන් දෙනෙකුගෙන් සමන්විත විද්‍යාධාර සභාව පිහිටුවන ලදි. එහෙත් එකතු කර ගත හැකි වූයේ රුපියල් 2070ක් පමණි. හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ සීලවන්ත ගුණවන්ත භාවය පිළිබඳ පැහැදීමට පත් අන්ද්‍රිස් පෙරේරා මහතා එම මුදල ලබාගෙන ඉඩම පූජා කරන ලද අතර 1873 වසරේදී ‘විජ්ජා උප්පතතං සෙට්ඨා’ යන තේමාව පාදක කර ගනිමින් විද්‍යෝදය පිරිවෙන පිහිටුවන ලදි. වර්ෂ 1876 ජනවාරි මස 10 වැනි දින එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබ වූ සර් හෙන්රි ග්‍රෙගරි තුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද පළමු වරට පවත්වන ලදි.

විද්‍යෝදය පිරිවෙනෙහි කුටියක පොත් අතර සිර වී සිටිමින් ධර්ම ශාස්ත්‍රීය ගවේෂණයෙහිලා ස්වකීය කාලය, ශ්‍රමය, ධනය කැප කළ සුමංගල නාහිමියෝ සිංහල, පාලි, සංස්කෘත භාෂාව හා සාහිත්‍යය සුපෝෂණයට අතිමහත් මෙහෙවරක් ඉටු කළහ. බ්‍රහ්ම ධර්මය නම් අනුශාසනා සංග්‍රහය, වර්ණරීතිය, සංදේශ කතා, සිදත් සඟරා සන්නය, කච්චායන වණ්ණනා, සීමා විභාගය, සුබෝධාලංකාරය, සත්‍ය සංග්‍රහය, ගඩලාදෙණි සන්නය, කාව්‍යශේඛර සන්නය, සන්ධි සංග්‍රහය, බාලාවතාර සුබෝධනී ටීකාව යනාදී ග්‍රන්ථ රාශියක් සම්පාදනය කරමින් ශාස්ත්‍රීය ලෝකයට දායාද කළහ. මෙයට අමතරව බටුවන්තුඩාවේ පඬිතුමන් සමඟ එක්ව මහාවංසය සිංහලට පරිවර්තනය කිරී ම ද සුවිශේෂී ශාස්ත්‍රීය දායකත්වයකි.

ශාසනික තනතුරු

බුද්ධිය මුහුකුරා යත්ම ශාසන භාරකාරීත්වය ද සුමංගල නාහිමියන් සතු වූ අතර උන්වහන්සේට ශාසනික තනතුරු රාශියක්ම ද ලැබිණි. ගෞතම ශ්‍රී පාදස්ථානයෙහි නායක ධුරය, ගාලු පළාතේ නායක ධුරය, කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ධුරය හා මල්වතු මහාවිහාරයේ මහෝපාධ්‍යාය ධුරය ආදී ශාසනික පදවි මෙන් ම පරම විඥානාර්ථ සමාගමේ උප සභාපති ධුරය, ඉතාලියේ රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වය හා බ්‍රිතාන්‍ය ආසියාතික සමිතියේ විද්‍යා විශාරද පදවිය වැනි සම්භාවනීය පදවිවලින් ද පිදුම් ලැබුව ද කිසිදු අවස්ථාවක තනතුරු නිසා තමා බැබළීමට උත්සාහ කළේ නැත.

ශාසනික වගකීම් මැනවින් හඳුනාගත් සුමංගල නාහිමියන් නිදහස් සටන් ව්‍යාපාරයට ද උරදුන් යතිවරයාණන් වහන්සේ නමකි. මිෂනාරි පාලනයට එරෙහිව අභීතව හඬ නැගූ අපේ නායක හාමුදුරුවෝ ආගමික හා ශාස්ත්‍රීය වාද රාශියකට ම ස්වකීය ක්‍රියාකාරී දායකත්වය ලබා දුන්හ. අධිමාස වාදය (1850), පාරුපන වාදය (1884), න ණ ල ළ වාදය (1902), සව්සත්දම් වාදය (1894), වැනි ශාසනික වාදවලට දායකත්වය ලබා දුන්හ. ඊට අමතරව මිෂනාරි බලයට එරෙහිව වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් පවත්වන ලද පංචමහා වාදවලට ද ස්වකීය ශාස්ත්‍රීය දායකත්වය නොවක් සිතින් ප්‍රදානය කළහ. බද්දේගම වාදය (1864), ගම්පොළ වාදය (1871), ඔරුගොඩවත්ත වාදය (1899), උදම්මිට වාදය (1866) හා පානදුරා වාදය (1873), යන වාදවලදී ගුණානන්ද හිමියන් දැනුමින් සන්නද්ධ කිරීමට නායකත්වය ගත්තේ සුමංගල නාහිමියන් ය.

ශාස්ත්‍රාලෝකය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය පිරිසක් නිර්මාණය කිරීමට ද අප නාහිමියෝ පසුබට නොවූහ. හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත හා මහගොඩ ශ්‍රී ඥානේශ්වර යන හිමිවරු ඒ අතරින් ප්‍රමුඛ වූහ. වේරගම පුංචි බණ්ඩාර පඬිතුමන් ජී. පී. වික්‍රමාරච්චි වෛද්‍යාචාර්යතුමන් ද වෙසෙසින්ම සඳහන් කළ හැකි ගිහි සිසුන් වූහ.

තව ද උන්වහන්සේ විසින් ඉතා අමාරුවෙන් අරඹන ලද විද්‍යෝදය පිරිවෙන දියුණු වනු දැකීම උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය ද විය. එම අපේක්‍ෂාව ඉටු කිරීමට බද්දේගම පියරතන නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව 1957 වර්ෂයේ දී විද්‍යෝදය පිරිවෙනෙහි පස්වන පරිවෙණාධිපති ධුරයට පත් වූ පණ්ඩිත ශිරෝමණී වැලිවිටියේ සෝරත නාහිමිපාණන් සමත් වූහ. විද්‍යෝදය පිරිවෙන් ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් බවට පත් වූ මෙම යුගයේ දී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් සිදු කරන ලද උත්කෘෂ්ටම කාර්යභාරය වන්නේ විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීම යි. මේ වනවිට ලක්දිව පැවතියේ “සිංහල බිම පිහිටවූ ඉංග්‍රීසි සරසවිය” යන විරුදාවලිය ලත් පේරාදෙණිය සරසවිය පමණි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කළ නිසා රදල පන්තියට පමණක් සීමා වී තිබූ අධ්‍යාපන අයිතිය වෙනස් කොට සිංහල භාෂාවෙන් ඉගෙනීමට විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීම උත්කෘෂ්ට සේවාවකි. විජයානන්ද දහනායක එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අතර ඔහු ඒ සඳහා නා හිමියන්ට පූර්ණ දායකත්වය ලබා දුන්හ.

බුදු සසුනේ පුනර්ජීවනය හා භාෂා සාහිත්‍යයේ ප්‍රගමනය

විද්‍යෝදය පිරිවෙනෙහි කාමර අටක ආරම්භ කළ විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් ඉඩක් නොවූ බැවින් ඊළඟ වර්ෂයේ දී දෙවන ලෝක සංග්‍රාමයේ යුද කඳවුරක් ලෙස භාවිත කළ ගංගොඩවිලට ගෙන ඒමට කටයුතු කළහ. මුලින්ම කුඩා දේශන ශාලාවකින් හා කාමර කිහිපයකින් යුත් ගොඩනැඟිල්ලක් තනන ලද අතර 1962.02.08 වැනි දින පැවැත් වූ උපාධි උත්සවය බණ්ඩාරනායක ශාලාව පවතින ස්ථානයේ තාවකාලික ගොඩනැඟිල්ලක පැවැත් වූ අතර වසර දෙකක් ඇතුළත ප්‍රථම තුන්මහල් සුමංගල ශාලාව, ශ්‍රී ඥානේශ්වර ශාලාව හා උපකුලපති නිල නිවස ආදී ගොඩනැඟිලි නිර්මාණය විය. රාජ්‍ය පරිපාලන අංශය විශ්වවිද්‍යාලයට හඳුන්වා දීම උන්වහන්සේගේ දුරදක්නා නුවණ ප්‍රකට වන අතර එය වර්තමානය වනවිට ආසියාවේ හොඳම කළමනාකරණ පීඨය බවට පත් ව තිබේ. විශ්වවිද්‍යාල පරිපාලකවරයකු ලෙස උන්වහන්සේ ශිෂ්‍යයන් කෙරෙහි ද නම්‍යශීලී ආකල්පයක් දැරීය. වරින්වර ශිෂ්‍ය අරගල ඇති වුවත් උන්වහන්සේ ඒවාට විරුද්ධ නො වූහ.

“විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විප්ලවකාරී විය යුතු ය. එහෙත් ඥානවන්තව ක්‍රියා කළ යුතු ය” යන්න උන්වහන්සේගේ අවවාදය විය. විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රතිමාව ඉදි කිරීම සෝරත නාහිමියන් තුළ පැවති කෘතගුණ සැලකීමේ ගුණය ප්‍රකට කරන්නකි. තව ද විශ්වවිද්‍යාල සංවර්ධනය සඳහා උපකුලපති අරමුදල නමින් ශිෂ්‍ය සුබසාධක අරමුදලක් පිහිටුවා තමන්ට ලැබුණ දීමනාවෙන් රුපියල් දහස බැගින් මාසිකව පරිත්‍යාග කිරීම ශිෂ්‍යයන් කෙරෙහි උන්වහන්සේ තුළ පැවති ආකල්පය ප්‍රකට කරන්නකි. රට පුරා පිහිටි උසස් පිරිවෙන් ආයතන තෝරාගෙන ඒවා විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතන බවට පත් කොට ඒවායින් බාහිර උපාධිය පිරිනැමීමට ක්‍රියා කළහ.

ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව ගම්බද දුගී ජනයාට මෙය මහඟු අවස්ථාවක් විය. ඉංග්‍රීසි අනිවාර්ය විෂයයක් බවට පත් කිරීමෙන් උන්වහන්සේගේ අනාගත දැක්ම ප්‍රකට වන අතර බෞද්ධ ශිෂ්ටාචාරය, පාලි හෝ බුද්ධ ධර්මය අනිවාර්ය කිරීමෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාව ද ප්‍රකට කෙරේ. මෙපරිද්දෙන් විද්‍යෝදය පිරිවෙන පිහිටුවා සංවර්ධනය කිරීමේ කාර්යයට මුලපිරූ අප නාහිමියෝ 1911 අප්‍රේල් මස 21 දින රෝගී තත්ත්වයට පත් වූ අතර “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යන අවසන් බුද්ධ වචනය පසක් කරමින් 1911 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වූහ.

කෘෂ ශරීරයකින් හා පෘථුල නළල් තලයකින් හෙබි උන්වහන්සේ ලක්දිව බුදු සසුනේ පුනර්ජීවනයට ද භාෂා සාහිත්‍යයේ ප්‍රගමනයට ද ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ චිරාත්කාලීන පැවැත්මට ද අමිල මෙහෙවරක් ඉටුකළ පැවිදි මිණි පහනකි. විදුදය පිරිවෙනේ නිර්මාතෘ හික්ඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

මහාචාර්ය පනහඩුවේ

යසස්සි හිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT