Home » රජයේ අරමුණ අපනයනය ඉලක්ක කරගත් තරගකාරි ආර්ථිකයක් බිහි කිරීමයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රජයේ අරමුණ අපනයනය ඉලක්ක කරගත් තරගකාරි ආර්ථිකයක් බිහි කිරීමයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by sachintha
April 29, 2024 1:35 am 0 comment

වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරි, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහි කිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (26) පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක් වෙමිනි.

1929දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයන් 17,000කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර, මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහාද සිය දායකත්වය දක්වා ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද 1994 සිට එහි සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා කොළඹදී මේ වාර්ෂික සමුළුව පැවැත්වුණු අතර, එහි ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා සිදු කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“අප ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතු මාර්ගය තීන්දු කළ යුතු සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. මේ රටේ ජනතාව විසින් ඒ මාර්ගය තීරණය කළ යුතුයි. අප මෙතැනින් ඉදිරියට යනවාද? මෙතනම නවතිනවාද? නැත්නම් ආපස්සට ගමන් කරනවාද? කියා තීරණය කළ යුතුයි.

මට අද මුණගැසැණු තරුණයකු මගෙන් ඇසුවා, ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද? මේ රටේ උගතුන් වෙනුවෙන් ඔබ ගෙන ඇති සැලසුම් මොනවාද? රටේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔබ සතුව ඇති සැලසුම් මොනවාද? කියලා. මා කිවුවා එවැනි කිසිම සැලසුමක් නැති බව. මට සිතිය හැක්කේ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන පමණක් බව මා ඔහුට පැවසුවා. එහිදී වෙළෙඳපොළ බලවේග මේ සියලු සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇති. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව කුමක්ද කියා අපට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අප ඉදිරි අවුරුදු 3-4 තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන් මොනවාද යන්න තීරණය කර, ක්‍රියාත්මක කර, අවශ්‍ය වෙනස්කම් ද සිදු කළ හැකියි.

“එහෙත් අපට වර්ධනයක් ගෙන එන ස්ථාවර සැලැස්මක් ගැන ඔබ සිතනවා නම්, මට අනුව එසේ සිදු කළ නොහැකි බව මම ඔහුට පැවසුවා. වෙළෙඳපොළ බලවේගවලට බලපෑම් කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුයි. වෙළෙඳපොළ බලවේග හසුරුවන්නේ කෙසේද එසේත් නැත්නම් වෙළෙඳපොළ බලවේග මෙහෙයවන්නේ කෙසේද කියා අප දැනගත යුතුයි. එසේ නම් ඉදිරියට යෑමට අපට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියා අප මුලින්ම තීරණය කළ යුතුයි. සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය සපයනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒ නිසා අප තවමත් දරිද්‍රතාවෙන් පෙළෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. 1991 වසරේදී වියට්නාමයේ කර්මාන්ත ඇමැතිතුමා පැමිණ අප විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ මගෙන් ඇහුවා. අද වන විට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඔහුගෙන් දැනගැනීමට මට වියට්නාමයට යෑමට සිදු වී තිබෙනවා. ඔවුන් වෙනස් වුණා. අප එකම තැන සිටියා. ඔබට මැලේසියාව සහ සිංගප්පූරුව ගැන කුමක් කිව හැකිද? අප මේ සෑම රටක් පිළිබඳ කතා කරනවා. අපට ඒ රටවල් සිටින තත්ත්වයට පැමිණීමට අවශ්‍යයි. නමුත් එම රටවල තත්ත්වයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. දැන් අප එවන් අවධියකට පැමිණ තියෙනවා. අපිට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ නොගෙන සිටිය නොහැකියි. එකිනෙකාට චෝදනා කරමින් සිටීමෙන් පලක් නැහැ. අපට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් දැයි අපි තීරණය කළ යුතුයි. මට අනුව නම්, එය කළ හැකි වන්නේ එක් ආකෘතියක් තුළින් පමණයි. ඒ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්.

“අපට ඉන්දියාව, චීනය, අමෙරිකා එක්සත් ජනපදය හෝ රුසියාව තුළ විශාල වෙළෙඳපොළක් නැහැ. බොහෝ රටවලට පවතින ඛනිජ සම්පත් අපට නැහැ. අප වාසනාවකට මෙන් උපාය මාර්ගිකව ඉන්දීය සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක්. එය නැවතත් කලාපය තුළ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රමුඛත්වයට පත් වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වනවාද? නැති නම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යෑමට අප සූදානම්ද යන්න ඔබ සියලු දෙනා සිතා බැලිය යුතු කාරණයක්. මන්ද යත්: අප විසින් ගෙන ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග මේ වසර තුළ අවසන් වෙනවා. අප නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම පැරිස් සමාජය සමඟ සාකච්ඡා තරමින් සිටිනවා. බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගත යුතු බොහෝමයක් කරුණු පිළිබඳ එකඟතාවන්ට පැමිණ අවසන් නමුත් තවමත් එකඟතාවට පැමීණිය යුතු කාරයක් ඉතිරිව තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳෙයි.

“ඒත් අප මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අප ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අප ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරා මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10කින් හෝ වසර 15කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදු වන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලු දෙනා ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි. මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද? නැත් නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද? කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මා සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතු වනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අප එය වෙනස් කළ යුතුද නැද්ද? මා සිතන්නේ අප එය වෙනස් කළ යුතුයි. එහෙත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අප සූදානම්ද?

“අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරි ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරි වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරගයට මුහුණ නොදී තරගකාරි විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේද සහිත කෙටි කාලයක්. එහෙත් අපට එය ජය ගත හැකි බව මා විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.”

ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරයාගේ නියෝජිත පර් හොයෙන් (Per Hoyen), මෙවර සමුළුවේ සභාපති ඩී.ජී.එන්.ඩී. කුමාර් සුන්දරරාජා, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් උපදේශක ප්‍රදීප් අමිර්තනායගම්, හිටපු සභාපතිවරුන් වන කේ. ආර් රවීන්ද්‍රන් යන මහත්වරුන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන්, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරී මණ්ඩලය, සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – මාලන් කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT