Tuesday, May 14, 2024
Home » ‘තරු යතුර’ නව කවුළුවක්

‘තරු යතුර’ නව කවුළුවක්

by sachintha
April 29, 2024 1:36 am 0 comment

තරු යතුර’ ලලිත් රෝහණ ලියනගේ ලියූ නවතම කෘතියයි. මෙය කියවීමෙන් ඔහුගේ පරිකල්පන ශක්තියෙන් මතු වන විශේෂතා රාශියක් මගේ සිත යොමු විය. දාර්ශනික කවිතාව මෙහි දී අවධානයට පාත්‍ර වූ මුඛ්‍ය ලක්ෂණයයි.

නූතන ගීත සාහිත්‍යයේ මෙන්ම කාව්‍යයේ ද ප්‍රගමනයට ප්‍රබල ලෙස බලපාන්නක් ලෙස මා විශ්වාස කරන දාර්ශනික කවිතාව ප්‍රගුණ කළ නිර්මාණකරුවකු ලෙස ලලිත් රෝහණයන් මම දකිමි. ඔහුගේ ප්‍රතිභාණය හා පරිකල්පන ශක්තිය විදහා දැක්වෙන විශේෂිත කරුණක් වන්නේ ඔහු තුළ ඇති ඓතිහාසික විඥානයයි.

කෘතියෙහි එන බොහෝ නිර්මාණවල මෙය පැහැදිලිව දක්නට ඇත. ‘තරු යතුර’ නිර්මාණය මෙයට කදිම උදාහරණයකි. තිසා වෑකණ්ඩියෙන් එපිට පිහිටා ඇති රන්මසු උයනේ ඉපැරණි ශෛලමය සක්වළ චක්‍රය තරු යතුරෙන් මොහු සංකථනයට පාත්‍ර කරයි.

දියබෙරලිය මල් අරගෙන

රන්මසු උයනට එන්න ද

සක්වළ තරණය කරන්න

මාවත් එක්කන් යනව ද

උනා සළු තිසා වැව් තෙර

විදුලි පියාපත් සලමින

ඉසුරුමුණි අහසෙ පියගැට

මැදින් ඉගිළිලා යනව ද

විශ්ව තාරකා දොරටුව

යතුරු පුවරුවෙන් විවර ව

අසුරු සැණින් අශ්වි සරින්

මන්දාකිණියට යනව ද

සතර මහා භූත රූප

සූවිසි උපාදාය රූප

පියෙවි නෙතට ගෝචර වූ

ශුද්ධාෂ්ටක නොපෙනුණා ද

අරුන්දතිය පායා එන

නවෝදයක දොර අරින්න

කල්ප කාල යන්නට පෙර

මුර පදයක් මට දෙනව ද…

‘යෝධ ඇළේ විලාපය’ වැනි කවි මඟින් ද ප්‍රකට වන්නේ කතුවරයාගේ ඓතිහාසික විඥානයයි.

කලා වැව් සොරොව් පඬුවෙන්

යෝධ ඇළ බිලිඳු දෙතොලින්

උරා දිය යොදුන් සරමින්

තිසා වැව් ඇකයෙ හොවනවා

වසර දෙදහසක් කෙත්වතු

රන් වියෙන් පලින් බර කළ

ලොවක් මවිත කළ දියකලි

කුමට වෙන් කළේ

යෝධ ඇළ හඹා ජය ගඟ

තනා ලද ජයක් කොයි වෙ ද

බලන් පුරන් කෙත් ඉකිලයි

වියැළි වන පෙතේ…

සම්ප්‍රදාය හා ඓතිහාසික විඥානය ඇසුරු කරගනිමින් නව්‍යත්වය කරා යන ගමනක් ලලිත් රෝහණ ලියනගේ සිය නිර්මාණ මඟින් පෙන්නුම් කරයි.

ඔහු භාෂාවට හොඳින් සවන් දෙන්නෙකි. මෙම ඉසියුම් භාෂා ඥානය නිසා විටෙක ඔහු භාෂාව වෙනුවෙන් සටන් වදියි. සිංහල හෝඩියේ හැම අකුරක ම ඇති අර්ථ ධ්වනිය හා ශබ්ද ධ්වනිය මෙන් ම මටසිලිටි බව ගැන කතා කරයි. ශ්‍රැති රම්‍ය භාෂා රටා මැවීමේ දී ගීත රචකයාට හා කවියාට වැදගත් වන සිංහල හෝඩිය කලාත්මක හා ඉසියුම් ව සලකා බැලීමේ ශක්තිය භාෂා සම්මිශ්‍රණය මෙමඟින් ඔහු මූර්තිමත් කරයි.

ලලිත් රෝහණ ලියනගේ පර්යේෂණාත්මක කවියෙකි, ගීත රචකයෙකි, ඉතිහාස ගවේෂකයෙකි. ගවේෂණශීලී මාධ්‍යවේදියෙකි. එමෙන් ම ඔහු ප්‍රගතිශීලී කඳවුරේ දේශපාලනඥයෙකි. මහජන නියෝජිතයෙකි. කවියා දේශපාලනය හැදෑරිය යුතුයි. කෙසේ වෙතත් සමාජ පන්නරය ලැබීමට ප්‍රගතිශීලී දේශපාලනය ඉතා වැදගත් මූලයක් ලෙසට මම දකිමි. මේ සම්ප්‍රදායන්ගෙන් පන්නරයක් ලැබූ ඔහු සිය කවිතාව ඒ මඟින් පෝෂණය කරගෙන ඇත. රූප කථනයට මුල් තැනක් දෙමින් ඔහු කරන නිර්මාණ ශිල්ප ක්‍රම සංකථනයට ‘තරු යතුර’ නව කවුළුවක් විවෘත කර දෙයි.

සම්මානිත

සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT