Monday, May 6, 2024
Home » වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරය

වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරය

-MY RED COMRADE ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව

by sachintha
April 26, 2024 1:54 am 0 comment

ඔහු ඩිජිටල් සිනමා ඇකඩමියේ සහ කොළඹ සිනමා පාසලේ හිටපු අංශ ප්‍රධානියාය. එසේම සිනමාව විෂයය සම්බන්ධ ප්‍රවීණ ගුරුවරයෙකි. තිර පිටපත් රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. මෙරටේ යහපත් කලා නිර්මාණ කෘති නිර්මාණකරණය වෙනුවෙන් වෙහෙසෙන්නෙකි. ඔහුගේ නිර්මාණ ඉසව්ව සිනමා ක්ෂේත්‍රයට පමණක් විහිද නැත. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ද විහිදුවා ලූ අත්දැකීම් රැසකින් පරිපූර්ණ වූ කලාකරුවෙකි. එළඹෙන මැයි මස 03 දා පටන් දිවයින පුරා සිනමාහල්වල ඔහුගේ නවතම නිර්මාණය වන MY RED COMRADE දිගහැරේ. ඔහු අන් කිසිවකු නොව මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවයි. ඔහු සමඟ අප කළ කතාබහ මෙසේ දිග හරිමු.

ඔබගේ කලා නිර්මාණ දිවියේ දිගු නිහැඬියාව ගැන මුලින්ම කතා කරමු?

මට තේරිලා තිබුණා අපේ ඊළඟ පරම්පරාව සිනමාවට සක්‍රියව දායකත්වය දැක්වූයේ නැත්නම් අපිට සිනමාවේ පවතින්න බෑ කියලා. මේ කාරණය මම නිතරම හිතපු දෙයක්. ඒ නිසා තමයි මම සිනමා පාසලේ වැඩ කටයුතුවලට ඇපකැප වෙන්න තීරණය කළේ. කොළඹ ඩිජිටල් සිනමා ඇකඩමිය, පදනම් ආයතනය අනුබද්ධිතව ආරම්භ කළා. සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අත්දැකීම් තියෙන කෙනෙක් සම්බන්ධ කර ගන්න ඒ අයට ඕන වෙලා තිබුණා. ඒ වගේම මටත් හිතුණා අධ්‍යක්ෂවරයකු වශයෙන් වැඩ කිරීමට අමතරව මා තුළ ගුරුවරයකුත් ඉන්නවා කියලා. ඒ නිසා මම ඒ වැඩේට කැමැති වුණා. නමුත් මම හිතුවට වඩා පුදුමාකාර කාලයක් ගියා. කණ්ඩායම් 03ක් අවුට් වෙනකම් මම එහි හිටියා. පළමු එක අපි පර්යේෂණාත්මක එකක් කළේ. දෙවැනි එක ඊට වඩා නිවැරදිව විධිමත් වුණා. තුන් වැනි එක ඊටත් වඩා හොඳට අපි කළා.කණ්ඩායම් 04ක් පමණ වන කොට ඉතාම හොඳ මට්ටමකට ආවා. හැබැයි ඊට සමාන්තරව කොළඹ චිත්‍රපට පෙන්වන අවකාශයක් හැදුවා. ඒක මම හිතන්නේ ලංකාවේ පළමුවරටයි සිදු වුණේ. විදේශීය හොඳ චිත්‍රපටයක් තෝරාගෙන ලංකාවේ බුද්ධිමත් සම්පත්දායකයෙක් එක්ක තමයි එය කළේ. ඒක පුළුල් කාර්යයක්. අඛණ්ඩව වසර 4ක් එය සිදු කළා. ඒක මම හරිම සතුටින් කළ දෙයක්. ඊට අමතරව මම ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවකම සිනමා විෂයය ඉගැන්නුවා. එකක වැඩ කරගෙන යනකොට තව එකකින් කතා කරනවා. මේවගේ කාර්යයන්වල නිරතවෙලා ඉන්නකොට මම දන්නෙම නැතුව විශාල කාලයක් ගතවුණා. තව ටික කාලයක් හිටියා නම් දශක දෙකක් වෙන්නත් ඉඩ තිබුණා. නමුත් මේ කාලවකවානුවේ මම තිර නාටක 07ක් ලියා නිම කළා. මේවා සිනමා කෘති කරන්නයි මගේ ඉදිරි කාලය ගත කරන්න සූදානම.

ඔබ තවමත් ඉගැන්වීමේ කාර්යයේ නිරත ද?

නෑ. මම දැන් කිසිඳු ඉගැන්වීමේ කටයුත්තක නිරත වෙන්නේ නෑ. මට එහිදී තේරුණු එක දෙයක් තියෙනවා, ඒ තමයි විශ්වවිද්‍යාලයේදී සිනමාව ගැන අපි ඉගැන්වූවාට ඒ ඉගෙන ගන්නා අය ඉදිරියේදී සිනමා කර්මාන්තයට එන්නේ නෑ කියන කාරණය. ඒ අය සිනමාව විෂයයක් විදිහට ඉගෙන ගන්නේ රැකියාවක නිරත වෙන්නයි. නමුත් සිනමා පාසලක නම් ඒ අය එන්නේම ඉදිරියේදී සිනමා කර්මාන්තයේ නියැළෙන්නමයි. මම දැඩි තීරණයක් අරන් තියෙනවා පූර්ණකාලීනව සිනමාවේ ඉන්නවා කියලා.

අපි MY RED COMRADE ගැන කතා කරමු.?

මට සිතුණු දෙයක් තමයි චිත්‍රපටයක් කරන්න අර්ථපතියෙක් නැති වුණොත් එතැනදී මොකද කරන්නේ කියන කාරණාව. ඒ සඳහා මට යම් අදහසකුත් තිබුණා. ඒ වගේම මට හරි ඕනකමක් තිබුණා අවමවාදී සිනමා භාවිතයක් ගැන. ඒක පර්යේෂණාත්මක සිනමාවේම කොටසක්. අවමවාදය කියන්නේ විශාල සංකල්පයක්. ඒක වෙනම දේශපාලන කතාබහක්. මෙහිදී මට ඕන වුණා අඩු පහසුකම් යටතේ අඩු වියදමකින් අඩු සම්පත් සහිත, අඩු ශිල්පීන් සහිතව ඉතාම බලසම්පන්න කතාබහක් මෙහිදී කතා කරන්න. විශ්වවිද්‍යාලයේ සහ සිනමා පාසලේ ශිෂ්‍යයන් වැඩ කරනකොට ප්‍රාග්ධනයත් එක්ක කොහොමත් ප්‍රශ්නයක හිටිය නිසා මේ සංකල්පය මම ඒ අයට යෝජනා කරලා තිබුණා. ඒ අය ලවා කරවන්න මට ඕන වෙලා තිබුණේ. නමුත් එක මොහොතකදී මම හදපු පැළේ මටම ඕන වුණා. මේ වෙලාවෙදී මට මගේ මිතුරෙක් මුණගැසුණා. එයා කිව්වා ඔයා කාලෙකින් චිත්‍රපටයක් කළේ නෑනේ, ඒ නිසා අනිවාර්යයෙන් මේක කරන්න. මට විශාල මුදලක් නෑ, ඒත් මා ළඟ මුදල් ටිකක් තියෙනවා. ඔයා ඒකෙන් මෙය කරන්න කියලා යෝජනා කළා. MY RED COMRADEහැදෙන්නේ මේ යෝජනාවත් එක්කයි.

MY RED COMRADE හරහා ඉදිරිපත් කරන මුඛ්‍ය කාරණාව කුමක්ද?

මේකේ දේශපාලනික වශයෙන් විශ්වාස කරන කාරණාවක් තියෙනවා. සංස්කෘතික මිනිසෙක් කියන්නේ සංකල්පයක්. සංස්කෘතික මිනිහෙක්ගේ රික්තකීයභාවය නැත්නම් හිස් තැන තමයි අපේ මේ ප්‍රශ්න ගොඩකට මුල කියලා. සංස්කෘතික මිනිසා කියන්නේ, පවතින දේශපාලනික කාරණාවලට සවිඥානික වුණු, කලා කෘතිවලට සවිඥානික වුණු ඒවත් එක්ක ගනුදෙනු කළ නිරන්තර වෙනස්වීමකට ලක්වුණු කෙනෙක්. පවතින දේවල්වලට සංවේදී වූ අයෙක්. මාක්ස්ගේ සංකල්පයේ මුල ප්‍රායෝගික තලයේදී කොහොමද මඟහැරුණෙ, කියන දේ විධිමත් සාකච්ජාවකට ගේන්න. ඒක දියුණු සංකල්පයක්. ලංකාවේ අසාර්ථක වුණු සංකල්පයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මිනිස්සු මැරිලා තියෙනවා. මේකට මොකද වුණේ කියන එක සාකච්ජාවට ගේන්න මට ඕන වුණා. වමට බනින්න හෝ වම උත්කර්ෂයට ගේන්න නෙවෙයි. වම ගැන ගැඹුරු කතිකාවක් ඇති කරන්නයි මට ඕන වුණේ. සංකල්පයක් වශයෙන් මම මෙයට හරිම ආසක්තයි. වාමාංශික ව්‍යාපාරය කඩා වැටීම ජාතික ප්‍රශ්නය දක්වා බලපෑවේ කෙසේද යන්න දණ්ඩේහි ලූ ගිනි ටෙලි නිර්මාණය හරහා කතා කළා මම. මේ වැඩපිළිවෙළ කියන්නේ එහි දිගුවක්. එක් අදහස තමයි මේ සංවර්ධනය වෙමින් යන්නේ. චිත්‍රපටයක් තුළ සංස්කෘතික මිනිහෙක් ගැන කතා කළ පළමු අවස්ථාව මෙයයි.

මෙහි චරිත දෙකක් පමණයි තිබෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු ?

චරිත දෙකයි. එක දර්ශන තලයයි. රූපගත කිරීම දින 04යි. මෙහි තියෙන මැජික් එකත් එයයි. මෙය සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකියි. හොඳම කැමරා, හොඳම ලයිට්, ශබ්ද අපි පාවිච්චි කළා. තාක්ෂණය උපරිමයට ගෙනාවා. අලුත්ම නළුවෙකුයි, සිනමාවේ දැකලා පුරුදු නැති මුහුණකුයි තමයි චරිත දෙක වුණේ. වෙනස් සිනමාවක් හොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරය නමින් අපි මෙය නම් කළෙත්. ඒ නිසයි පරණ කතන්දරවලින් හෙම්බත් වුණු ප්‍රේක්ෂකාගාරයට අලුත් කතන්දරයක් අරන් ඇවිත් තියෙනවා අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරයෙන්. තරින්දි සහ ආසිරි ඇල්ලගේ තමයි චරිත දෙක. මම මුලදිම හිතාගෙන හිටියේ අලුත් කෙනෙක් එක්ක වැඩ කරන්නයි. එතකොටයි මට වැඩබිමක් ලැබෙන්නෙ. මේ අය තමන්ගේ වැඩේ හොඳට කළාම ඒ ගෞරවය එයාට ලැබෙනවා වගේම එයා රැගෙන ආ ගෞරවය මා ළඟ තියෙනවා. රූපගත කිරීම් දින 04ක් වුණාට සති තුනක පමණ වැඩමුළු රැසක් කළා.

ඔබේ නිර්මාණ කාර්යයට දායක වූවෝ..?

තාක්ෂණ ශිල්පීන් ගත්තාම කැමරාකරණය රුවන් කොස්තා, සංස්කරණය අජිත් රාමනායක, රේඛීය නිෂ්පාදනය දර්ශි ගමගේ කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීතය නදීක ගුරුගේ, ශබ්ද පරිපාලනය සශික මාරසිංහ, වර්ණ තිස්ස, සහය අධ්‍යක්ෂණය දිනේෂ් ලක්දුසිංහ, අංග රචනය සමරසිරි කඳනගේ, නිශ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි, රංග වින්‍යාසය තරින්ඳ ෆර්නෑන්ඩු, රංග අභ්‍යාසකරණය ප්‍රසන්න මහගමගේ, සහ නෛතික උපදේශකත්වය නීතිඥ සමන් කුමාර සේනාධී විසින් ලබා දුන්නා. මේ කාර්යයේදී අපි සියලු දෙනා පුදුමාකාර ආදරයකින්, බැඳීමකින් හැඟීමකින් වැඩ කළා. අපි හැම කෙනාටම ඒ ඒ දෙපාර්තමේන්තු අතර ගරුත්වයකින්, ආදරයකින් සහ කරුණාවන්තව ගනුදෙනු කළා.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT