Home » දංකුඩ හූරන ගාසා දරුවෝ!

දංකුඩ හූරන ගාසා දරුවෝ!

by damith
April 27, 2024 1:18 am 0 comment

දරු­වන්ට හොඳම දේවල් ලබා දෙමු, යන්න සමා­ජ­වා­දීන්ගේ පරණ සටන් පාඨ­යකි. එය අද වැඩි­පු­රම භාවිත කරන්නෝ ධන­ප­තියෝ ය. ධන­පති නාය­ක­යින් දරු­වන්ට සල­කන ආකා­රය දැක­ග­න්නට නම්, ගාසා තීර­යට යා යුතුය‍. ආහාර මෙට්‍රි­ක්ටොන් ගණ­නින් කසළ අඹ­රන මෝල්ව­ලට යවන නූතන ලෝකයේ පල­ස්තීන දරුවෝ දංකුඩ සූරති.

ගාසා තීර­යෙහි දකුණු අන්ත­යට බරව පිහිටි අල්ෂීෆා රෝහ­ලට තවත් නැවුම් දව­සක් උදා වී ඇත. ළහිරු රැස්කි­රණ වාට්ටු­වල ජනේල අත­රින් රෝහල තුළට කාන්දු වී ඇත්තේ යුද්ධ­යක ලකු­ණු­වත් නොදන්නා සේ ය. අවට පරි­ස­රය නිහඬ ය. රෝග අසල ඇති ඔලි­ව්ගස් කිහි­ප­යක් හිරු කිර­ණින් නැහැවී ඇත. රෝහලේ එක් පැත්තක් බෝම්බ ප්‍රහා­ර­ව­ලින් බිමට සම­තලා වී තිබේ. එහෙත් ළමා වාට්ටු කිහි­ප­යක් නිරු­ප­ද්‍රි­තව පවතී. ළමා වාට්ටු කීවද එහි අර්ථය බෝඩ් ලෑල්ලට පම­ණක් සීමා වී ඇත. වැඩි­හිටි – තරුණ – ළමා කියා වෙන­සක් නැත. ඕනෑම රෝගි­යකු පව­තින වාට්ටු­ව­කට ඇතු­ළත් කර ගැනීම සිදු වෙයි. ගාසා තීර­යට අයත් රෝහල් තිස්ප­හක් පැවැති අතර ඉන් දහ­න­ව­යක් බෝම්බ ප්‍රහා­ර­ව­ලින් බිමට සම­තලා වී ඇත. රෝහල් දහ­යක සර­ණා­ග­තයෝ පදිංචි වී සිටිති. ඉතිරි රෝහල් තුන, හතර තුළ අධික තද­බ­ද­යක් පවතී.

ගාසා තීරයේ රෝහ­ල්වල කට­යුතු කළ වෛද්‍ය­වරු 261ක් ගුවන් ප්‍රහා­ව­ලින් මරු­මු­වට පත් වූහ. හෙද – හෙදි හා සුළු සේවක පිරි­ස්ව­ලින් වැඩි ගණ­නක් පලා ගොස් සිටිති. රෝහල් සේවාව අඩ­ප­ණය. බෙහෙත් නැත. වතුර නැත. විදු­ලිය නැත. යුද්ධය ගාසා තීර­යේද, බට­හිර ඉවු­රේද ජන ජීවි­තය මුළු­ම­නින්ම අවුල් කර ඇත. ඔවුන්ට අපේක්ෂා නැත. බොහෝ­දෙනා පලා යෑමට උත්සාහ දරති. තවත් අය මර­ණය කඩා වඳින තෙක් බලා සිටිති.

අට හැවි­රිදි ‍අ‍ෙම්ගා ළමා වාට්ටුවේ සුව­ප­හසු ඇ‍ඳක් මත සැන­සිල්ලේ වැතිර සිටී. අ‍ැගේ මුහුණ රවුම් ය. මුවග නිරත හිනා රැල්ලක් රැඳී ඇත්තේ යුද්ධය පිළි­බඳ කිසි­වත් නොදන්නා ගණ­න­ටය. ගාසා තීර­යෙහි උතුරු අර්ධ­යට අයත් තට්ටු නිවා­ස­යක පදිං­චිව සිට දැනට අව­තැන්ව සිටින දරු පවු­ලක එකම දරුවා ඇයයි. අමේගා පිළිකා රෝග­ය­කින් පෙළෙන දැරි­යකි. ඊශ්‍රා­යල් හමුදා මෙහෙ­යුම් නිසා ඇගේ අත – පය තුවාල වී ඇති අතර උගුර , කන, නාසය පිළි­බඳ ආබා­ධ­යක්ද ඇයට තිබිණි. අමේ­ගාට සේල­යින් ලබාදී තිබුණ ද ඇය හොඳ සනී­ප­යෙන් සිටි­යාය . ගෙදර නැති ආර­ක්ෂා­වක් හා සැන­සි­ල්ලක් රෝහල තුළදී දැරිය විඳින බවක් පෙනෙයි.

තරුණ වෛද්‍ය­ව­රිය ඉතා පරෙ­ස්ස­මට සේල­යින් බටය ගල­වන අතර අමේගා සිනා­සුණා ය. දැරිය ඊට ප්‍රති­චාර දැක්වූයේ නිදා­සි­ටින ඉරි­යව්ව යාන්ත­මට වෙනස් කර­මින් ය.

“දුවට හෙට ගෙදර යන්ඩ පුළු­වන්!

දැන් ඔයාට ගොඩාක් සනී­පයි!”

වෛද්‍ය­ව­රිය අමේ­ගාගේ නිකට සොල­ව­මින් ඇයට කියා සිටි­යාය. එහෙත් දැරි­යගේ ප්‍රති­චා­රය ඉතා නරක විය. ඇය වහාම නැගී සිටි අතර ඇඳ­මත හොඳ හැටි වාඩිවී බෙරි­හන් දෙමින් හඬ­න්නට වූවා ය.

“දුවේ! ඇයි ඔයා අඬන්නෙ?

ඔයා ගෙදර යන්ඩ අකැ­මැති ද?

“අ‍නේ ඩොක්ටර් මට ගෙදර යන්ඩ බෑ!

ගාසා තීර­යට ආයේ කව­දා­වත්ම යන්ඩ බෑ”

“ඇයි පුතේ ඒ? අම්මා – තාත්තා නැති­වු­ණාද?”

“ ඒ දෙනා ම ඉන්නවා ! ඒ වුණාට මං එහාට බයයි! ගියොත් මං මැරෙයි! මට මැරෙන්ඩ බෑ!”

තරුණ වෛද්‍ය­ව­රිය හිස අත ගසා­ගෙන කල්පනා කර­න්නට වූවා ය‍. අමේගා බෙරි­හන් දෙමින් හඬන දුටු තවත් ළම­යෙක් ඊට වැඩි වේග­ය­කින් හඬ­න්නට විය. මේ අයු­රින් මුළු වාට්ටු­වේම ළමයි මහත් වෙර යොදා හඬ­න්නට වූහ. රෝහලේ සියලු දෙනා ළමා වාට්ටු­වට වෙත ඇදී එන්නට පටන් ගත්හ. අමුත්තෝ පවා ළමා වාට්ටු­වට එබි­කම් කළහ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය­ව­රයා පැමිණ දරු­වන් පරීක්ෂා කර බැලූ අතර සියලු දෙනා මනෝ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු කිරී­මට තීන්දු කැරිණි. එහෙත් රෝහල තුළ කිසිදු මනෝ වෛද්‍ය­ව­ර­යකු සිටියේ නැත. යුද්ධ­ය­කට මුහුණ දෙන හමුදා නිල­ධා­රින් පවා මනෝ උප­දේ­ශන වෙත යොමු කළ යුතු බවට නිය­ම­යක් තිබේ. එහෙත් ගාසා තීර­යට කුමන මනෝ උප­දේ­ශන ද? දැන් පල­ස්තීන සර­ණා­ගත කඳ­වුරු තුළ සාග­ත­යක් පැතිර යයි. මන්ද­පෝ­ෂ­ණය ඉතා ඉහ­ළය. ඇතැම් දරු­වන්ගේ ශරීර කූඩු දෙස බැලීම පවා දුක්බර දර්ශ­න­යකි. ඔවුන්ගේ ඉළ­ඇට පෑදී ඇත. මුහුණ වක ගැසී ඇත. සම විය­ළිය. පල­ස්තීන දරු­වන්ට ගිය කලක්!

ගෙවී ගිය මාස හය තුළ 27000 කට ආසන්න පල­ස්තීන දරු පිරි­සක් යුද්ධය නිසා මිය ගියහ. දැන් පැතිර යන සාග­තය නිසා තව කොප­මණ මරණ සංඛ්‍යා­වක් සිදු­වේ­දැයි නිශ්චය කළ නොහැ­කිය. මෙය බර­ප­තළ ගැට­ලු­වකි.

ඊශ්‍රා­යල් – පල­ස්තීන ගැටුම හැඳි­න්වෙන්නේ ලෝකේ පැර­ණිම දේශ­පා­ලන තුවා­ලය හැටි­ය­ටය. එය ආරම්භ වූයේ 1940 ගණ­න්ව­ලය. හරි­ය­ටම කිව­හොත් 1947 දීය. පල­ස්තීන විමුක්ති සංවි­ධා­නයේ හිටපු නායක යසර් අර්පත් වරක් පිස්තෝ­ල­යක් හා ඔලිව් අත්තක් රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලය ඇමැ­තීය.

ගාසාහි පටු මාවත් දිගේ ඇවිද යන සෑම පල­ස්තීන දරු­වකු ළඟම කුමක් හෝ භාජ­න­යක් තිබේ. හමු­වන ඕනෑම කෙනකු වෙතට එය දිගු කරන ඔවුහු කෑමට යමක් ඉල්ලා සිටිති. කුඩා දරු­වන්ගේ ශරීර කූඩු දෙස බැලිය නො හැකිය. ඉළ­ඇට සෑදී මුළු ශරී­ර­යම වැහැරී ඇත. සමෙහි තෙත­ම­න­යක් නැත. කෑම පම­ණක් නොව, ඔවු­නට අවශ්‍ය ජලය ද නැත. මේ අතර දැරියෝ සනී­පා­ර­ක්ෂක තුවා නැතිව දුක් විඳිති. ගාසා­තී­රය මිනි­සුන්ට තබා තිරි­සන් සතු­න්ට­වත් ජීවත් විය ‍ෙනාහැකි ස්ථාන­යක් ලෙස හඳු­න්වනු ලැබේ.

පල­ස්තී­නය පව­තින්නේ ලෝක ආධාර මතය. ආධාර නැව­තු­ණ­හොත් පල­ස්තීන ජාති­ක­යන් හාමතේ මිය යා යුතුය. දින­කට ආහාර රැගත් ට්‍රක් රථ 500ක් පමණ ගාසා තීරය වෙත එයි. එහෙත් පසු­ගිය මාස හය තුළ ගොඩ­බි­මෙන් ආහාර බෙදා­දී­මට ඊශ්‍රා­යල් හමුදා අව­කාශ ලබා දුන්නේ නැත. ඇතැම් දින­වල එකම – එක ට්‍රක් රථ­යක් හෝ ගාසා තීරය වෙත පැමි­ණියේ නැත. ආධාර කණ්ඩා­යම් ගුවන් මඟින් ආහාර ගෝනි බිමට හෙළූ අතර, ඒවා­යින් සම­හ­රක් මධ්‍ය­ධ­රණී මුහු­දට ඇද වැටිණි. සම­හ­රක් සර­ණා­ග­ත­යන්ගේ හිස් මතට කඩා වැටී ඔවුහු මර­ණ­යට පත් වූහ. ගුව­නින් ආහාර හෙළීම මුළු­ම­නින්ම අසා­ර්ථක විය.

ගාසා තීරයේ බට­හිර ඉවුරේ රෆා ප්‍රදේ­ශයේ මෙහෙ­යුම් කර­මින් සිටි ඊශ්‍රා­යල් හමුදා ලෙබ­න­නයේ තෝරා­ගත් ප්‍රදේ­ශ­ව­ලට පහර දෙන්න­ටත්, සිරි­යාවේ තෝරා­ගත් ස්ථාන­ව­ලට පහර දෙන්න­ටත් පටන් ගත්තේය. ඩැම­ස්කස් නුවර ඉරාන තානා­පති කාර්යා­ල­යට පහ­ර­දීම් නිසා බල­වත් ගැටලු ගණ­නා­වක් ඇති විය. ඉරා­නය ඊශ්‍රා­ය­ල­යට පම­ණක් නොව ඇමෙ­රි­කා­ව­ටත් අන­තුරු හඟවා තිබේ. පල­ස්තීන ගැට­ලුව ලෝක යුද්ධ­යක් කරා තල්ලු වෙන බවක් පෙනෙ­න්නට තිබේ.

සටන් විරා­මය අනි­වාර්ය බව අමෙ­රි­කාව කියා තිබේ. සිදු­වන ජන සංහා­ර­යට ඊශ්‍රා­ය­ලය වග­කිව යුතු බවද ‍ෙනත­න්යානු වර­දක් සිදු කරන බවද අමෙ­රි­කන් ජනා­ධි­ප­ති­ව­රයා අන­තුරු හඟවා ඇත. බල­වත් රට­වල් කිහි­ප­යක අද­හස වී ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට යුද­මය ආධාර සැප­යීම හා අවි ආයුධ ලබා­දීම හෝ අලෙ­විය ‍හෝ නවතා දැමිය යුතු බවය. මෙබඳු තත්ත්ව­යක් යටතේ වුව බෙන්ජ­මින් නෙත­න්යාහු අග­මැ­ති­ව­ර­යාගේ මුර­ණ්ඩු­කම අඩු වී නැත. ඔහු අව­ධා­ර­ණය කර සිටින්නේ තමන් ඉදි­රි­යට තැබූ පිය­වර ආපසු ගැනී­මට සූදා­නම් නැති බව ය.

අනා­ගත ලෝකය රැඳී ඇත්තේ නූතන දරු පර­පුර මතය. වඩාත් පැහැ­දි­ලිව කිව­හොත් දරු­වන්ගේ අධ්‍යා­ප­නය මතය. ලෝක ශිෂ්ටා­චා­රය තොටිල්ල ලෙසින් හඳු­න්වනු ලබන අරාබි සානුවේ දරු­වන්ට විධි­මත් අධ්‍යා­ප­නය අහිමි වී ඇත. අධ්‍යා­ප­නය පම­ණින් නොව දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර පවා ප්‍රමා­ණ­වත් ලෙස ඔවුන් වෙත ලැබෙන්නේ නැත. ගාසා තීරයේ දරු­වන් ඊට හොඳම සාක්ෂිය වෙයි. ගාසා තීරයේ දරුවෝ කිරි කඳු­ළක් ඉල්ලා හඬා වැටෙති.

රන්ජන් අම­ර­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT