Sunday, May 19, 2024
Home » මත්ද්‍රව්‍ය වැරැදිකරු­ව­න්ගෙන් බන්ධ­නා­ගාර පිරී ගිහින්

මත්ද්‍රව්‍ය වැරැදිකරු­ව­න්ගෙන් බන්ධ­නා­ගාර පිරී ගිහින්

බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය

by damith
May 6, 2024 1:10 am 0 comment

‘‘සිර­ක­රු­වෝද මනුෂ්‍යයෝය’’ මෙම පාඨය වැරදි කොට සිරගත වූවන් කෙරෙහි මානව දයා­වෙන් සහ අනු­ක­ම්පා­වෙන් යුතු බාහිර සමා­ජයේ දෘෂ්ටි­යයි. බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව, එහි ක්‍රියා­කා­රී­ත්වය, බන්ධ­නා­ගාර පිළි­බ­ඳව එල්ල­වන චෝදනා, ඒවා නිවැ­රැදි කිරී­මට ගෙන ඇති ක්‍රියා­මාර්ග සහ බන්ධ­නා­ගාර ආශ්‍රි­තව ඇති තවත් කරුණු කාරණා පිළි­බ­ඳව බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය සමඟ කළ සාක­ච්ඡා­වකි මේ.

බන්ධ­නා­ගාර තද­බ­දය පිළි­බ­ඳව මේ දින­වල ලොකු කතා­බ­හක් ඇතිව තිබෙ­නවා. මේ තත්ත්ව­යට විස­ඳුම් ලෙස ගෙන ඇති ක්‍රියා­මාර්ග මොන­වාද?

අපේ රටේ ප්‍රධාන බන්ධ­නා­ගාර 28ක් තිබෙ­නවා. එම බන්ධ­නා­ගා­ර­වල රැඳ­විය හැකි උප­රිම රැඳ­වි­යන් ප්‍රමා­ණය 11,400ක් පම­ණයි. එහෙත්, අද වන විට මේ බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ 30,000ක ප්‍රමා­ණ­යක් ඉන්නවා. මෙය 300%ක් පමණ වැඩි වීමක්. සර­ලව කිව්වොත් 100ක් ඉන්න ඕනෑ තැන 300ක් ඉන්නවා කිය­න්නේම අධික තද­බ­ද­යක්. ඉතින් මේ තද­බ­දය පිළි­බ­ඳව අමු­තු­වෙන් කියන්න නැහැ. විශේ­ෂ­යෙන්ම නාග­රික කලා­ප­වල තිබෙන බන්ධ­නා­ගා­ර­වල තත්ත්වය වඩාත් උග්‍ර තත්ත්ව­ය­ක­ටයි පත්ව තිබෙන්නේ.

මේ තත්ත්ව­යට විස­ඳුම් විදි­හට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ගෙන ඇති පිය­වර මොකක්ද?

අපට අධි­ක­රණ නියෝ­ග­ය­කින් එන කිසිදු රැඳ­වි­යකු භාර නොගෙන ඉන්න බැහැ. සෑම රැඳ­වි­ය­කුම භාර ගැනීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ වග­කී­මක්. එහෙත් අපට එයින් එහාට දෙයක් කරන්න බැහැ. ඒත්, මේ ගැන අධි­ක­රණ අමා­ත්‍යාං­ශය සමඟ සාකච්ඡා කරන්නේ තත්ත්වය පාල­නය කිරී­මට ගන්න ඕනෑ පිය­වර මොන­වාද කියලා. සුළු වැරැ­දි­ක­රු­වන් වැනි පිරිස් පුන­රු­ත්ථා­ප­නය කර සමා­ජ­ගත කිරී­මට කට­යුතු කළ හැකි ආකා­රය පිළි­බ­ඳව අපි මෙහිදී සොයා බල­නවා. මූලික වශ­යෙන් කල්ක්‍රි­යාව හොඳ සුළු වැරැදි නිසා බන්ධ­නා­ගා­ර­ග­තව සිටින වැරැදිකරු­වන්ට පොදු සමාව දීමේ වැඩ­පි­ළි­වෙළ දීර්ඝකාලී­නව ක්‍රියා­ත්මක කර­මින් තිබෙ­නවා. නිද­හස් දින­යට වගේම අලුත් අවු­රුද්ද වෙනු­වෙ­නුත් ජනා­ධි­ප­ති­තු­මාගේ විශේෂ සමාව යටතේ සුළු වැරැ­දි­ව­ලට සම්බ­න්ධව සිර­ග­තව සිටින පිරිස් නිද­හස් කිරී­මක් කරනු ලැබුවා. එළ­ඹෙන වෙසක් සම­ය­ටත් එවැනි සුළු වැරැදි කළ කණ්ඩා­ය­මක් නිද­හස් කිරී­මට යෝජි­තව තිබෙ­නවා. ඒ වගේ පොදු සමාව මඟින් බන්ධ­නා­ගාර තද­බ­දය අඩු කිරී­මට හැකි­යාව ලැබේ යැයි විශ්වා­ස­යක් තිබෙ­නවා. ඒ වගේම තද­බ­දය අඩු කිරීම සඳහා තෝරා­ගත් ස්ථාන­වල නව ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබෙ­නවා.

බන්ධ­නා­ගාර පිරී­යා­මට ප්‍රධාන හේතු­වක් බවට පත්ව තිබෙන්නේ මත්ද්‍රව්‍ය වැරැ­දි­ව­ලට සම්බන්ධ පිරිස් බහුල වශ­යෙන් බන්ධ­නා­ගා­ර­ගත වීමයි. එවැනි කණ්ඩා­යම් හඳුනා ගෙන අවශ්‍ය පුන­රු­ත්ථා­පන කට­යුතු සිදු කිරී­ම­ටද කට­යුතු කර තිබෙ­නවා. පුන­රු­ත්ථා­පන අධි­කා­රිය හරහා ක්‍රියා­ත්ම­ක­වන ආය­තන මේ වැඩ­පි­ළි­වෙ­ළට සම්බන්ධ කර ගැනී­මට කට­යුතු කිරීමේ වැඩ­පි­ළි­වෙළ වඩාත් සක්‍රිය කිරී­මට කට­යුතු කර තිබෙ­නවා. ඒ වගේම පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව සහ සෞඛ්‍ය අංශ එක්ව අව­ශ්‍ය­තාව අනුව සමා­ජය තුළම රඳවා කට­යුතු කිරි­මද සිදු කිරී­මට අපි සැල­සුම් කර තිබෙ­නවා.

පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ගම් මට්ට­මෙන් ක්‍රියා­ත්මක කිරී­මට නොහැ­කිද?

ගම් මට්ට­මෙන් පුන­රු­ත්ථා­පන වැඩ සඳහා කට­යුතු කිරී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට සෘජු වග­කී­මක් නැහැ. එහෙත්, අපට පුළු­වන් වෙනත් කණ්ඩා­යම් සමඟ එක්ව අවශ්‍ය සහාය ලබා දෙන්න. දැනුත් අප ඒ වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර කට­යුතු කර­මින් සිටින්නේ. පාසල් ඇතුළු සමා­ජීය ආය­තන සමඟ සම්බ­න්ධව මේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක වෙමින් තිබෙ­නවා. බන්ධ­නා­ගා­ර­ග­ත­වන එක අවම කිරීමේ වැඩ­ස­ට­හන් තමයි ක්‍රියා­ත්මක විය යුත්තේ. බන්ධ­නා­ගා­ර­ග­ත­වන වැරැදි කරු­වන්ගේ ප්‍රමා­ණය අඩු කිරී­මට සමා­ජ­යක් විදි­හට ඔබට වගේම මට ද වග­කී­මක් තිබෙ­නවා. එවැනි වැඩ­පි­ළි­වෙළ ආරම්භ කිරීම පාසල් මට්ට­මෙන් ආරම්භ කළ යුතුයි.

යුක්තියේ මෙහෙ­යුම සමඟ බන්ධ­නා­ගා­ර­ග­ත­වන රිමාන්ඩ් රැඳ­වි­යන්ගේ ප්‍රමා­ණය වැඩි­වෙලා තිබෙ­නවා. ඒ තත්ත්වය ගැන බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා විදි­හට ඔබේ අද­හස මොකක්ද?

යුක්තිය මෙහෙ­යු­මත් සමඟ බන්ධ­නා­ගා­ර­ව­ලට පැමි­ණෙන රිමාන්ඩ් රැඳ­වි­යන්ගේ ප්‍රමා­ණයේ වැඩි වීමක් තිබෙ­නවා. ඒත්, මේ යුක්තිය මෙහෙ­යුම නිසා අත්අ­ඩං­ගු­වට පත්වන බොහෝ පිරිස් තව­දු­ර­ටත් සමා­ජයේ රැඳී සිටි­යොත් ඔවු­න­ගෙන් සිදු­වන සමාජ හානිය වැඩියි. ඒ නිසා ඔවුන් අත්අ­ඩං­ගු­වට පත්වීම තුළ සමාජ යහ­ප­තක් ඇති වෙන බවයි පෙනෙන්නේ. මෙසේ රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­ත­වන පිරිස් නඩු කට­යු­තු­ව­ලින් පසු විශේෂ පුන­රු­ත්ථා­පන වැඩ­පි­ළි­වෙ­ළක් වෙත යටත් කිරීම කළ යුතුයි. එම­ඟින් සමා­ජ­යට ලොකු කර­ද­ර­යක් වූ මේ කණ්ඩා­යම් නිසි මඟට ගැනී­මට හැකි­යාව ලැබෙ­නවා.

නිල­ධාරී හිඟ­යට ගෙන ඇති ක්‍රියා­මා­ර්ගය කුමක්ද?

යම් ප්‍රමා­ණ­යක නිල­ධා­රීන් හිඟ­යක් තිබෙ­නවා. ඒ හිඟය පිය­වීම සඳහා බඳවා ගැනීම් සඳහා අවශ්‍ය පිය­වර අරන් තිබෙ­නවා. එහි එක් අදි­ය­රක් විදි­හට බන්ධ­නා­ගාර නිල­ධා­රීන් 300ක් බඳවා ගැනී­මට සූදා­නම් කර තිබෙ­නවා. ඒ වගේම බන්ධ­නා­ගාර නිල­ධාරී පුර­ප්පාඩු සඳහා ත්‍රිවිධ හමු­දා­වෙන් නීත්‍ය­නු­කූ­ලව ඉවත් වූ පිරිස් සම්මුඛ පරී­ක්ෂණ පවත්වා සුදු­සු­කම් ඇති අය බඳවා ගැනී­මට ද සැල­සුම් කර තිබෙ­නවා. ඒ සඳහා රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වෙන්ද අප ඉල්ලී­මක් කර තිබෙ­නවා. එහිදී ස්වේච්ඡා බළ­කායේ නිල­ධා­රීන් පිළි­බ­ඳව විශේෂ අව­ධා­නය යොමු කර තිබෙ­නවා. ඒ නිසා බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ හිඟය පිළි­බඳ ගැට­ලු­වට යම් විස­ඳු­මක් ලැබේවි යැයි මම විශ්වාස කර­නවා .මේ වන­විට අපට අවශ්‍ය කරන කාඩර් එකට වඩා අඩු ප්‍රමා­ණ­ය­කුයි සිටින්නේ ඒ නිසා තමයි සම­හර අව­ස්ථා­වල ගැටලු සහ­ගත තත්ත්ව­යන් ඇතිව තිබෙන්නේ.

ඇතැම් බන්ධ­නා­ගාර නිල­ධා­රීන් දූෂි­තයි කියලා ලොකු චෝද­නා­වක් තියෙ­නවා. මේ චෝද­නාව පිළි­බ­ඳව ඔබට පැව­සී­මට ඇත්තේ කුමක්ද?

බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විත­රක් නොවෙයි ඕනෑම ආය­ත­න­යක, දෙපා­ර්ත­මේ­න්තු­වක සියලු නිල­ධා­රීන් සුපි­රි­සුදු යැයි කිය­නවා නම් ඒක බොරු­වක්. ඕනෑම ආය­ත­න­යක, දෙපා­ර්ත­මේ­න්තු­ව­කම හොඳ වගේම නරක නිල­ධා­රීන් ඉන්නවා. ඒ අය අත­රින් හොඳ නිල­ධා­රීන් තෝරා ගෙන ඒ අය දිරි­මත් කිරී­මත් වැරැදි කරන විනය විරෝධී වැඩ කරන පිරිස් හඳු­නා­ගෙන ඔවුන්ට අවශ්‍ය විනය පිය­වර ගත යුතුයි. පසු­ගිය අවු­රුදු දෙකක කාලය තුළ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මෙ­න්තුවේ නිල­ධා­රීන් පන­හ­කට වැඩි පිරි­සක් සිදු කළ විනය විරෝධී වැඩත්, සේවය පැහැර හැරී­මත් යන චෝදනා ඔප්පු වීම නිසා සේව­යෙන් ඉවත් කර තිබෙ­නවා. අපි දෙපා­ර්ත­මේ­න්තු­වක් විදි­හට විනය සහ සාර­ධර්ම පිළි­බ­ඳව ඉතා­මත් තදින් අව­ධා­නය යොමු කරනු ලබ­නවා. චෝද­නා­ව­ලට ලක් වූ සම­හර නිල­ධා­රීන් ඉන්නවා, මත්ද්‍රව්‍ය වැරැ­දි­ක­රු­වන් සමඟ ජාවා­රම් කළ තවත් අයත් ඉන්නවා. පාතා­ලය සමඟ සම්බ­න්ධතා පැවැත්වූ පිරිස් සේවයේ සිටි­නවා නම් ඒක අපේ දෙපා­ර්ත­මේ­න්තු­වට හානි­යක්. ලජ්ජා­වට කරු­ණක්. ඒ නිසා එවැනි වැරැදි කරනු ලබන සියලු දෙනා පිළි­බ­ඳව සොයා බලා තදින් ක්‍රියා­ත්මක වෙන්න අප පසු­බට වෙන්නේ නැහැ.

මෙවැනි නිල­ධා­රීන් පිළි­බඳ සොයා බලන්න, රාජ්‍ය බුද්ධි අංශ­යත්, බන්ධ­නා­ගාර බුද්ධි අංශ­යත් එක්ව අවශ්‍ය පරී­ක්ෂණ කට­යුතු කර­නවා. හඳු­නා­ගත් පිරිස් පිළි­බ­ඳව දැඩි ක්‍රියා­මාර්ග අර­ගෙන තිබෙ­නවා.

මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීම හා එම­ඟින් රටේ අප­රාධ පාල­නය කළ හැකි බවට සමාජ අද­හ­සක් තිබෙ­නවා. මේ අද­හස ගැන ඔබේ මතය පැහැ­දිලි කළ හැකිද?

අපේ රටේ මරණ දඬු­වම ලබා දීම අත්හි­ටු­වලා නැහැ, එහෙත් අධි­ක­ර­ණය මඟින් ලබා දෙනු ලබන මරණ දඬු­වම පිළි­බඳ නියෝ­ග­යට රාජ්‍ය නාය­කයා අත්සන් කළ යුතුයි. එහෙත් 1976 වර්ෂ­යෙන් පසු කිසිදු රාජ්‍ය නාය­ක­යකු මරණ දඬු­වම ක්‍රියා­ත්මක කරන්න අවශ්‍ය කරනු ලබන අනු­මැ­තිය ලබා දී නැහැ.

මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව විවිධ පාර්ශ්ව විවිධ අද­හස් පළ කරනු ලබ­නවා. සමා­ජයේ මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව එක් එක් ආකා­රයේ අද­හස් පළ කරනු ලබ­නවා. අද මත්ද්‍රව්‍ය වැරැදි එහෙම විශාල ලෙස වැඩි වෙලා තිබෙ­නවා. එවැනි වැරැදි මරණ දඬු­වම දුන් පම­ණින් පාල­නය වෙයිද කියන දේ සලකා බැලිය යුතුයි. ඒ ගැන ගැඹු­රින් කල්පනා කළ යුතුයි. අනෙක සමා­ජයේ සියලු අංශ නිවැ­රැදි නොවී මරණ දඬු­වම පම­ණක් ක්‍රියා­ත්මක කිරීම කළ පම­ණින් සියලු දේ හරි මඟට වැටෙයි කියලා හිතන්න බැහැ. ඒත් මරණ දඬු­වම ක්‍රියා­ත්මක කළොත් යම් පාල­න­යක් වෙයි කිය­ලත් අනු­මාන කරන්න පුළු­වන්.

රැඳ­වි­යන් නිසි මඟට ගැනී­මේදී සිර­ගත කිරීම පම­ණක් ප්‍රති­ඵල දායක වෙන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ නූත­න­යට ගැළ­පෙන විදි­හට පුන­රු­ත්ථා­පන කට­යුතු සිදු කළ යුතුයි නේද?

අනි­වා­ර්යෙන්ම ඒක ඇත්ත. පුන­රු­ත්ථා­ප­නය කර­න්නන් වාලේ කිරී­මෙන් වැඩක් වෙන්නේ නැහැ. එය කළ යුතු නිසි ක්‍රම­වේ­ද­යක් තිබිය යුතුයි. අප දැන් සාම්ප්‍ර­දා­යික නීති වෙනස් කර පුද්ග­ලික අංශ­ය­ටත් මේ සඳහා මැදි­හත් වීමට අව­ස්ථාව ලබා දී තිබෙ­නවා. දැන් රාජ්‍ය සහ පුද්ග­ලික යන දෙඅං­ශය සම්බන්ධ කර­ගෙන මෙම පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර තිබෙ­නවා.

අලුත් පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් පිළි­බ­ඳව උදා­හ­රණ ලෙස පෙන්වා දෙනවා නම්, අප දැන් බන්ධ­නා­ගා­රය තුළ බේකරි පාස­ලක් ආරම්භ කර තිබෙ­නවා. එයින් රැඳ­වි­යන්ට බේකරි කර්මා­න්තය පිළි­බ­ඳව නිසි පුහු­ණු­වක් වගේම පාඨ­මා­ලාව අව­සා­න­යේදී NVQ සහ­ති­ක­යක් පවා ලබා දෙනවා. එසේ පුහු­ණු­වන පිරිස් බන්ධ­නා­ගා­රයේ අනෙ­කුත් බේකරි වැඩ සඳහා ද අනු­යුක්ත කරනු ලබ­නවා. ඒ වගේම කිසි­යම් දිනක බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ දිනක ඔවු­නට තම­න්ගේම ස්වයං රැකි­යා­වක් හෝ පුද්ග­ලික රැකි­යා­වක් විදි­හට මේ කර්මාන්ත කිරී­මට අව­ස්ථාව ලැබෙ­නවා. කෘෂි­ක­ර්මා­න්ත­යට ද අප වෙනස් විදි­හට පුන­රු­ත්ථා­පන පුහුණු ව්‍යාපෘති ආරම්භ කර තිබෙ­නවා. ඒ වගේම හරිත කෘෂි­ක­ර්මය මෙන්ම බිම් වගා ව්‍යාපෘති පිළි­බ­ඳව ද අවශ්‍ය පුන­රු­ත්ථා­පන පුහුණු වීම් ලබා දෙනවා. ඒ වගේම අපේ සියලු කඳ­වුරු වගා කිරීම් සඳහා යොමු කර තිබෙ­නවා. එයින් ලැබෙන සියලු අස්වැන්න බන්ධ­නා­ගා­ර­වල ප්‍රයෝ­ජ­නය සඳ­හාම යොදා ගනු ලබ­නවා. බන්ධ­නා­ගා­රයේ ආහාර සඳහා මේ වර්ෂ­යේදී රුපි­යල් බිලි­යන හයක මුද­ලක් ඇස්ත­මේන්තු කර තිබෙ­නවා. මෙවැනි ස්වයං වගා මඟින් අපට ඒ පිරි­වැය යම් ප්‍රමා­ණ­ය­කින් හෝ අඩු කර ගැනී­මට පුළු­වන්.

බොහෝ සැක­ක­රු­වන් සිර දඬු­ව­මට පෙර අවු­රුද්ද, දෙක හෝ තුන රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­නවා. එහෙත් උසා­වි­යෙන් අච්චු කළාට පස්සේ ඒ කාලය දඬු­ව­මට අදාළ වෙන්නේ නැහැ. එහෙත් දැන් රජයේ අව­ධා­නය යොමු වෙලා තිබෙ­නවා මේ තත්ත්වය ගැන වඩාත් මානු­ෂික ලෙස විමසා බලා කට­යුතු කිරී­මට. තව­මත් එය ස්ථිර වෙලා නැහැ. එහෙත්, මේ දඬු­වම් පිළි­බ­ඳව සාධ­නීය විදි­හට සලකා බැලී­මට රජය කට­යුතු කර තිබෙ­නවා.

ඡායා­රූ­පය මාලන් කරු­ණා­රත්න

උදිත ගුණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT