Home » පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරු දෙදෙනා STF මෙහෙයුමෙන් මුදාගනී
ජල්තර නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ

පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරු දෙදෙනා STF මෙහෙයුමෙන් මුදාගනී

by sachintha
May 7, 2024 1:02 am 0 comment

බිරිය මරන්න සැකකරු ආවේ කුරියර් නියෝජිත වෙස් අරන්

සැකකරු විද්ද එන්නතකින් දියණිය රෝහලේ


දිවි නසා ගන්නා බවට තර්ජනය කරමින් සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියකු හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේදී පැය 9ක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (06) අලුයම සමත් විය. මේ පුද්ගලයා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී යම් එන්නතක් දරුවන්ට ලබා දී ඇති බැවින් වහාම ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත චෝදනා හතරක් යටතේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත පදිංචිව සිටි බිරිය ඝාතනය කිරීමට පෙරේදා (05) සවස අත්බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යනුකූල සැමියා බව කියන මේ පුද්ගලයා විසින් එහි සිටි තම කුඩා දරුවන් දෙදෙනා සමඟ සියදිවි නසා ගන්නා බවට තර්ජනය කර දරුවන් පෙරේදා (05) සවස සිට ප්‍රාණ ඇපයට තබාගෙන සිට ඇත.

අගුළු ඉවත් කළ අත්බෝම්බයක් සමඟ සිටි නිසා සැකකරු රැඳී සිටි කාමරය වෙත දොරවල් කඩා ක්ෂණික කඩා පැනීමක් සිදු කර දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ සෙබළු කටයුතු කර තිබුණි.

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ අතර සැකකරු එන්නත් කළ බව කියන එන්නත අඩංගුව තිබූ සිරින්ජර දෙකක් ද අදාළ සැකකරු දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටි කාමරයේ තිබීයදී හමුවී ඒ ගැන පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට යැවීමට කටයුතු කර තිබුණි.

එහිදී වැඩිමහල් දස හැවිරිදි දියණියට පමණක් කිසියම් දෙයක් එන්නත් කර ශරීරගත කර ඇතැයි අනාවරණය වී ඇති බැවින් කුඩා දරුවා යළි මව සමඟ පිටත් කර දියණිය පමණක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇයට එන්නතක් ලෙස ශරීරගත වී ඇතත් එම එන්නත කුමන වර්ගයට අයත් ද යන්න පරීක්ෂණ කටයුතු කරමින් බවතින බව ද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ සැකකරු සිය බිරිය හා අමනාපව වරින්වර වෙනත් ප්‍රදේශවලට යෑම සහ විදෙස්ගත වීම සිදු කර ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් අඩදබර ඇතිවීම සහ වෙනත් හේතූන් නිසාවෙන් බිරිය දරුවන් සමඟ හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි මේ රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ගත් නිවසක පදිංචිව සිට ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම සැකකරු මාස තුනකට පසු ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරතව සිට යළි පැමිණීමෙන් පසු බිරිය වෙනත් ස්ථානයක දරුවන් සමඟ පදිංචිව සිටීම නිසා උරණ වී බිරිය ඝාතනය කිරීමේ අරමුණින් සොයා බලමින් සිටිය දී මේ නිවාස සංකීර්ණයේ සිටින බවට ලද තොරතුරක් මත නිවාසවලට භාණ්ඩ සපයන කුරියර් ආයතනයක නියෝජිතයකු ලෙස පැමිණ නිවාස සංකීර්ණයේ නිවාස ගණනාවකටම ගොස් බිරිය සොයා ඇති බවත් එලෙස සොයා යන අවස්ථාවේදී තම දරුවන් දෙදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටිනු දැක දරුවන් ද සමඟ නිවාස සංකීර්ණයේ බිරිය සිටින නි‍ෙවස වෙත ගොස් ඇති බව ද කළ මූලික සාක්ෂි විමර්ශනයේදී අනාවරණය වූ බව හංවැල්ල පොලිසිය කියයි.

ඒ අවස්ථාවේදී තම දරුවන් දෙදෙනා සමඟ සැමියා පැමිණෙන ආකාරය සහ ඔහුගේ අතේ අත් බෝම්බයක් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වූ කාන්තාව දරුවන් දෙදෙනා කාමරයට තල්ලු කර දමා වහා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.බිරිය පලායාමට උරණ වූ සැකකරු තම දස හැවිරිදි දියණිය සහ අවුරුද්දයි මාස අටක් වයසැති පුතා ප්‍රාණ ඇපයට ගනිමින් දරුවන් දෙදෙනා සමඟ තමන් ද අත් බෝම්බය පුපුරුවා ගනිමින් දිවි හානි කර ගන්නා බවට අසල්වාසීන්ට තර්ජනය කර තිබුණි.

ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත හංවැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සොයා බැලීමේදී තත්ත්වය ඉතා භයානක බැවින් ඉහළ නිලධාරීන් දැනුවත් කර බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අවස්ථාවේදී තිබූ තත්ත්වය ඉතා බැරෑරුම් බවට තේරුම් ගත් නිලධාරීන් මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවත් එක වරදකින් ජීවිත තුනක් හෝ ඊට වැඩි ගණනකට හානි විය හැකි බව සිතා බෝම්බ නිෂ්ක්‍රිය කටයුතු සඳහා වර්තමාන ලංකාවේ සිටින දක්ෂතම නිලධාරියකු වන බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව හසළ අත්දැකීම් ඇත්තකු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා මේ මෙහෙයුමට යොමු කර තිබුණි.

හදිසියේ නිවාස සංකීර්ණයේ ඇති වූ මේ තත්ත්වය ගැන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් ද තිගැස්මට ලක්ව තිබුණි. සැකකරු අත්බෝම්බය සමඟ සිටි ගොඩනැඟිල්ලේ පදිංචිකරුවන් පළමුවෙන් ම එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණි. මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් අදාළ ස්ථානයට ළඟා වන විටත් සැකකරු දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත්බෝම්බයේ අගුළු ඉවත් කර තිබූ අතර පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඉතා කාරුණිකව සැකකරු සමඟ අදහස් හුවමාරු කර ගනිමින් අගුළු ඉවත් කර තිබූ අත්බෝම්බයේ යළි අගුළු දැමීමක් සැකකරු ලවාම සිදු කර ගන්නට සමත් විය.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමඟ සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කරමින් දැනුවත් කරමින් සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට එන ලෙස ඉල්ලීම් කළ ආකාරය එම ස්ථානය ආසන්නයේ සිටි කාටත් දැක ගත හැකි විය.

එහෙත් එම ඉල්ලීම්වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන තමන්ට එම ස්ථානයෙන් ඉවතට යා නොහැකි බවත් බිරිය ගෙනැවිත් දෙන ලෙසත් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඉටු කිරීම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

තමන්ට එම ස්ථානයෙන් තනිව ඉවත්ව යෑමට බයක් දැනෙන බැවින් තම නීතිඥයා සමඟ ඉවත්ව යා හැකි බවත් ඔහු රැගෙන එන ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදී ම නිලධාරීන් විසින් දුරකතනය හරහා අදාළ නීතිඥයා සම්බන්ධ කරදීමට කටයුතු කළත් ඔහු පැමිණීමට නොහැකි බව දැනුම් දුන් බව පොලිස් නිලධාරීන් සැකකරු වෙත දැනුම් දුන්නේය. මේ තත්ත්වය මත දිගින් දිගටම නිලධාරීන් සහ සැකකරු අතර සාකච්ඡා සිදු වුවත් සැකකරු විසින් පිටතට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදු විය.

දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි නිවසේ කාමරයේ ලෑලි දොරට අමතරව යකඩ බට යොදා සෑදූ තවත් දොරක් ද තිබූ අතර එම දොර නිසාවෙන් නිලධාරීන්ට එක්වරම කාමරයට යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබූ බැවින් දරුවන්ගේ ආරක්ෂාව පතා අදාළ ලෑලි දොර නොවසන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා කීපවරක්ම සැකකරුගෙන් ඉල්ලීම කරන ආකාරය ද මෙහිදී දක්නට ලැබුණි. මේ අවස්ථාවේදී සැකකරු විසින් එක්වරම ලෑලි දොර වසා දමා දැමීම නිසාවෙන් නිලධාරීන් මහත් කලබලයට පත් වූ අතර එහි රැස්ව සිටි ජනතාවද කිසිවක් සිතාගත නොහැකිව එකිනෙකාගේ මුහුණු බලා ගත්තේ දැන් කුමක් සිදුවිය හැකිදැයි සිතා ගත නොහැකිවය.

සැකකරු දොර වසා දැමීම තම වාසියට යොදාගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එක්වරම ක්ෂණිකව මෙහෙයුමක් ක්‍රියාත්මක කර සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු මෙල්ල කර අත්විලංගු දා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර ඒ අතරතුර අනෙක් නිලධාරීන් දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව වහාම පිටතට ගැනීමට කටයුතු කෙරිණි. සැකකරු සතුව තිබූ අත්බෝම්බය විනාශ කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රිය අංශය වෙත භාර දීමට කටයුතු කළ බව පොලිසිය පැවැසීයි.

පසුව අත්අඩංගුවටගත් සැකකරු හංවැල්ල පොලිසිය වෙත රැගෙන යෑමට පොලිසිය කටයුතු කෙරිණි. මෙවැනි ඉතා සංවේදී අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා යන අය ඉතා සංයමයෙන් හා උපක්‍රමශීලීව කටයුතු කළ ආකාරය රැස්ව සිටි ජනතාව ඉතා ඉහළින් අගය කරනු දක්නට ලැබුණි.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි, කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT