Home » නලින්ගේ හිම කබායෙන් එළියට ආ අපි

නලින්ගේ හිම කබායෙන් එළියට ආ අපි

by sachintha
May 7, 2024 1:25 am 0 comment

මීට දින කිහිපයකට පෙර අ‍ෙමරිකාවේදී මියගිය මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමන් ගැන ඔහුගේ සිසුන් හා හිතෛෂීන් සමාජමාධ්‍යයේ පළ කළ අදහස්වලින් උපුටා ගත් ලිපියක් මෙහි දක්වා සිටිමු. මේ සමාජමාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන නාමල් උඩලමත්ත දැක් වූ සටහනයි.

කුඩා වියේ ම පොතපත කියවීමට ඇබ්බැහි වූ මා පාසලේ 10-11 වසරට පැමිණෙන විට මාක්ස්වාදී, හේතුවාදී, නිරාගමික අදහස්වලින් ඔද්දල්ව බටහිර දැනුම් ආධිපත්‍යයෙහි කරවටක් ගිලී සිටියේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එම කාලයේ ම ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගි වූ මම එම පක්ෂය සමඟ එකතු වුණෙමි.

ධනපති, නිර්ධන පන්ති බෙදීම් ඔස්සේ ස්ව-කැමැත්තෙන් පීඩිතයන් බවට පත් වූ අපට එම දර්ශනය විසින් කියා දුන්නේ අපට වඩා සුවපහසු ජීවිතයක් ගත කරන සියලු දෙනා අපගේ සතුරන් ලෙස දැකීමටය. අපේ පන්තියේ ජීව සාරය සූරා කා තර වූ ඌරන් ලෙස දැකීමටය. එමඟින් අපේ නොහැකියාව කම්මැළිකම වැනි අගතීන් ජයගැනීමට වෙරදරනු වෙනුවට සුවපහසු ජීවිතයක් ගතකරන අනෙකාගේ හැකියාව උත්සාහය ආදී යහගුණ අවප්‍රමාණ කරමින් ඊට වෛර කරමින් ජීවත් වීමට යොමු කරවන ලදී. එපමණක් නොව 71 මෙන්ම 88-89 ජවිපෙ සිදු කළ බිහිසුණු සංහාරයන් සාධාරණීකරණය සඳහා ඉන් පදනම දැමිණි.

ආචාර්ය නලින් ද සිල්වා විදුසර පුවත්පතට සහ දිවයින පුවත්පතට ලියූ ලිපි කියවීමට අවස්ථාව ලැබෙන්නේ මේ කාලයේදීමය. මාක්ස්වාදී හේතුවාදී අදහස් අනුව ලෝකය දෙස බැලීමට ද එම දැක්ම පිළිබඳ ගර්වයෙන් සිතීමට ද ඊට අනුගත නොවන සෙසු ලෝකයා අමනයින් ලෙස දැකීමට ද යොමුව සිටි මට ආචාර්ය නලින්ගේ අදහස් කිසිසේත් රුචි වූයේ නැත. එහෙත් මා දේවත්වයෙන් ඇදහූ මගේ දැක්මට මගේ චින්තන ලෝකයට නිර්ධය ලෙස ප්‍රහාර එල්ල කරන එම ලිපි නොකියවා සිටීමට මට නොහැකි විය. සැබවින් ම මට අවශ්‍ය වූයේ එම ලිපි කියවා එහි ඇති කිසියම් වරදක් අල්ලා ගෙන මගේ චින්තන ලෝකයේ පැවැත්ම තහවුරු කරගෙන එහි වැදී දොරගුල් ලා ගැනීම යැයි මම සිතමි.

එකල ආචාර්ය නලින්ගේ ලිපි දෙකක් සතියකට වරක් කියවන මගේ එක් ප්‍රධාන කාර්යයක් වූයේ එම අදහස් ඛණ්ඩනය සඳහා මා සතුව තිබූ පොතපත ලිපි ලේඛන පෙරළමින් ආයුධ සෙවීම බව කීමට මම මැළි නොවෙමි. කෙසේ වුව ද මෙම සටනින් බොහෝ අවස්ථාවල ආචාර්ය නලින් පහසුවෙන් ජයගත් අතර අමාරුවෙන් මා ජයගත්තේ යැයි සිතූ අවස්ථාවල ද මා ලද ජයක් නොමැති බව නොබෝ කලකින් මට ම ප්‍රත්‍යක්ෂ විය.

අවසානයේ අප මත ආධිපත්‍ය දරන බටහිර සංස්කෘතියට සහ දැනුමට විකල්ප දැනුම් පද්ධති ලොව ඇති බවත් කාලයේ වැලි තලාවෙන් යට වුව ද අපට ද එවැනි සංස්කෘතියක් දැනුමක් ඇති බවත් ආචාර්ය නලින් ද සිල්වාට පිං සිදුවන්නට අවබෝධ කර ගතිමි. ඒ සමඟ එතුමාගේ ලිපි ලේඛන තව තවත් පරිශීලනය කරද්දී තරමක වේදනාවක් ද සමඟ මා වටා පැවැති මාක්ස්වාදී හේතුවාදී හැව ගැලවී ගැලවී බිම වැටිණි. ඒ සමඟ නවදැලි හේනක මෙන් මගේ චින්තන ලෝකයේ නැවුම් ජාතිකවාදී අදහස් වැඩෙන්නට විය. මාක්ස්වාදී මිත්‍යා දෘෂ්ටියෙන් අපේ පරපුර ගලවා ගැනීමේ පින වුව ද එතුමාට නිවන් දැකීමට ප්‍රමාණවත් බව මගේ අවංක අදහසයි.

අප වෙත ගලා එන දැනුම ප්‍රශ්න කිරීම, ඒ පිළිබඳ විවිධ මානවලින් විමසා බැලීම ආදී ගුණාංග මා ප්‍රගුණ කළේ ආචාර්ය නලින්ගේ ලිපි ලේඛන ඔස්සේය. සැබැවින්ම අපට ලබා දුන් පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මඟින් සිදු කළේ එවැනි ගුණාංග මොට කිරීම මිස මුවහත් කිරීම නම් නොවේ. මගේ පරම්පරාවේ සැලකිය යුතු පිරිසකගේ කතන්දරය අඩු වැඩි වශයෙන් මෙයම බව බොහෝ අවස්ථාවල මම අවබෝධ කර ගතිමි.

අපේ කාලයේ උගත් තරුණ පරපුරේ සැලකිය යුතු පිරිසකට අනෙකා කෙරෙහි ද්වේෂය වෛරය අවුළුවන මාක්ස්වාදී පිළිකාවෙන් ගැලවීමේ භාග්‍ය ලැබුණේ නලින් ද සිල්වා ඉසිවරයාගේ අති බලපෑම් සහගත මැදිහත්වීම නිසාය. ඒ නිසාම 71 හෝ 88-89 පන්නයේ භීෂණයක් කරා මේ රටේ උගත් තරුණ පරපුර නැවත දක්කා ගෙන යෑමට නොහැකි වූ බව මගේ අදහසයි.

මගේ චින්තන ලෝකයට වැඩි ම බලපෑම් සහගත පුද්ගලයින් දෙදෙනා වූයේ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ මා විධිමත් අධ්‍යාපනය ලද අය නොව මා විසින් සොයා හඹා ගිය ආචාර්ය නලින් ද සිල්වා සහ ආචාර්ය ගුණදාස අමරසේකර බව සදාතනික කෘතවේදීත්වයෙන් සඳහන් කරමි.

බොහෝ මඩ අවලාද නින්දා ගැරහුම් පළිගැනීම් මැද බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව නලින් ද සිල්වා විස්මය දනවන සටනක් කළේය. කිසිවෙකු ත්‍රස්තවාදය අවියෙන් පරාජය කළ හැකි යැයි සිතන්නට පවා බිය වූ යුගයක එතුමා ඒ අදහස් සමාජගත කළා පමණක් නොව එහි ජයග්‍රහණය දැකබලා ගැනීමට තරම් වාසනාවන්ත විය.

2015 යහපාලනාණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව කොළඹ නව නගර ශාලාවේ දී පළමු වෙඩි මුරය තැබුවේ ද නලින් සර්ගේ මූලිකත්වයෙන් බව මගේ මතකයයි. අතුරු සිදුරු නැතිව පිරී ගිය කොළඹ නව නගර ශාලාවේහි මම ද එකෙකු වුණෙමි. අනතුරුව මට කලක් නලින් සර් සමඟ ඉතා ම සමීප කටයුතු කිරීමේ භාග්‍ය ද ලැබිණි. රිවිර පුවත්පතේ සේවය කළ සමයෙහි එතුමා සමඟ සාකච්ඡා කිහිපයක් සිදු කර ප්‍රකාශයට පත් කළෙමි. 2017 වසරේ නලින් සර්ගේ ප්‍රධානත්වයෙන් ජනරොද ව්‍යාපාරය රුවන්වැලි සෑ භූමියේ සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවට මම ද එකතු වුණෙමි.

සඳහිරු සෑය අසල සාරානන්ද පිරිවෙනෙහි සිංහල බෞද්ධ රාජ්‍යය යනුවෙන් එතුමා දේශනයක් කළ අතර එම උත්සව සභාව මෙහෙයවමින් නලින් සර් සභාවට හඳුන්වා දීමේ අවස්ථාව ද මට ලැබිණි. එම දවස පුරා ඓතිහාසික අනුරාධපුර නගරයේ නලින් සර් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඔහු අසලම රැඳී සිටීමට ලැබීම ද මා ජාතිකවාදය කෙරෙහි යොමු වූයේ එතුමා නිසා බව එතුමාට පැවසීමට හැකි වීම ද මා ලද මහත් භාග්‍යයක් කොට සලකමි. එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප, වීඩියෝ ඇතැම් විට අප මිතුරන් අත තිබිය හැකි වුව ද මා සතුව එ් කිසිවක් නොමැති වීම ගැන කනගාටු වෙමි.

නලින් සර් එදා අනුරාධපුර දේශනය අතරතුර ප්‍රකාශ කළේ, ඔබ මගේ අදහස්වලින් පෝෂණය වන අතර මම ඔබලාගේ අදහස්වලින් ද පෝෂණය වන බවයි. අප එක ම ජාතිකවාදී කඳවුර නියෝජනය කළ ද විවිධ අවස්ථාවල යම් යම් සිදුවීම් පිළිබඳ අපගේ මතවාද වෙනස් වුව ද වර්තමාන ජාතිකවාදී කඳවුර ම පාහේ නලින් ද සිල්වාගේ මැතිතුමාගේ දරු මුනුපුරන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ආචාර්ය නලින් ද සිල්වා කිසිදා වයසට නොයන සදාකාලික තරුණයෙකු විය. ඔහු සමඟ ගනුදෙනු කළ කිසිදු නව පරම්පරාවකට ඔහුට අභියෝග කළ නොහැකි විය. ඊට හේතුව එතුමාගේ බුද්ධි ප්‍රභාව මෙන්ම නිරන්තර ගවේශනයයි. නලින් සර් නූතන ඉතිහාසයේ ඉතා ම බලපෑම් සහගත ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය ලද්දෙකි. නලින් සර් මගහැර නූතන මහාවංශය ලිවිය නොහැකිය. තමා අසාර්ථක යැයි එතුමා කීව ද එතුමා තරම් කිසිවෙකු සාර්ථක නැත. එතුමා මේ රටට ණය නැති වුව ද අපි එතුමාට සදා ණය ගැති වෙමු.

රුසියානු ලේඛක පියෝදර් දොස්තයෙව්ස්කි වරක් රුසියානු යථාර්ථවාදී සාහිත්‍යයේ පුරෝගාමියා වන නිකොලොයි ගොගොල්ගේ සම්ප්‍රදානය අගයමින් සඳහන් කළේ “අපි සියලු දෙනා ගොගොල්ගේ හිම කබායෙන් එළියට ආවෙමු” කියාය. එම සුප්‍රසිද්ධ ප්‍රකාශය මඳක් වෙනස් කොට “අපි සියලු දෙනා නලින්ගේ හිම කබායෙන් එළියට ආවෙමු” යැයි කීමෙහි වරදක් නැත. ආදරණීය ගුරුතුමාට ජාතියට මඟ කියූ යුග පුරුෂයාට උතුම් නිවන් සුව පතමි.

නාමල් උඩලමත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT