Home » ආචාර්ය නලීන් ද සිල්වාගේ චින්තනය අපේ දේශපාලන ව්‍යාපාරයට ආලෝකයක් කර ගත යුතුයි

ආචාර්ය නලීන් ද සිල්වාගේ චින්තනය අපේ දේශපාලන ව්‍යාපාරයට ආලෝකයක් කර ගත යුතුයි

- නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර

by sachintha
May 7, 2024 1:33 am 0 comment

විදේශයන්ට ගැති නොවී ජාතියක් විදිහට අපි නැඟී සිටිය යුතුය යන මතය මේ රටේ මිනිසුන් තුළ අවදි කරන්න ආචාර්ය නලීන් ද සිල්වා මහතා ගත් උත්සාහයෙන් සහ චින්තනයෙන් අපගේ දේශපාලන ව්‍යාපාරයට ආලෝකයක් කර ගත යුතු බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ රත්මලාන, අත්තිඩිය ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ පෙරේදා (05) පැවති නව ජනතා පෙරමුණේ රත්මලාන ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අද දිනය ශ්‍රී ලාංකීය දේශපාලනයේ නියුතු පිරිසට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම බොහොම ශෝකජනක දිනයක්. තමන්ගේ ජාතිකවාදී චින්තනය මෙරට ජනතාවගේ චින්තනය බවට පත් කරන්න පුළුවන් වුණ, බටහිර විද්‍යාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තියෙන අපේ පෙරදිග විද්‍යාවේ අසිරිමත් දේවල් හොයාගෙන යන්න මිනිසුන් තුළ උනන්දුව ඇති කළ සැබෑම විප්ලවවාදියකු වූ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා අද දැයෙන් සමු ගන්නවා. මම හිතන්නේ අපි වගේ තරුණයන් පිරිසකගෙන් හැදුණු දේශපාලන බලවේගයකට ඉගෙන ගත යුතු බොහෝ දෑ ඉතිරි කරමින් දැයෙන් සමුගත් ඒ මහා ප්‍රාඥයාට, දේශාභිමානී ලංකා පුත්‍රයාට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම විදේශයන්ට ගැති නොවී ජාතියක් විදිහට අපි නැඟී සිටිය යුතුය යන මතය මේ රටේ මිනිසුන් තුළ අවදි කරන්න එතුමන් ගත් උත්සාහයෙන් සහ චින්තනයෙන් අපගේ දේශපාලන ව්‍යාපාරයට ආලෝකයක් කර ගත යුතුයි.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇති වූ ආර්ථික අර්බුදයත්, එයින් ජනිත වූ දේශපාලන අස්ථාවරභාවයත් හේතුවෙන් අරාජිකත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබූ අපේ රට එම අති භයානක තත්ත්වය තාවකාලිකව තිරිංග යෙදීමෙන් නතර කර ගැනීමට සමත්ව තිබීම ගැන සතුටු විය යුතුයි. යම් අයකු මේ තත්ත්වය ආර්ථික අර්බුදය සමනය කර ගැනීමක් යැයි සිතීම විහිළුවක්. ආර්ථික අර්බුදය සමනය වූවා නම් අපි සාමාන්‍ය තෘප්තිමත් ජන ජීවිතයක් ගත කළ යුතුයි. ඔබ අපි කාටත් දැනෙන පරිදි පසුගිය වසර දෙක තරම් නැතත් අපි මහත් ආතතියකින් සාමාන්‍ය ජීවිතය ගත කරන බව නොරහසක්. මේ තත්ත්වයෙන් මිදී අපේ රට සෞභාග්‍යවත් දේශයක් ලෙස ගෝලීය අභියෝග ජය ගැනීමට නම් මූලිකව කඩිනම් අධ්‍යාපන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට සාධනීය තීන්දු තීරණ රැසක් ගත යුතුයි. සමහර තීන්දු තීරණ ගැනීම ප්‍රමාද වීමෙන් දිනකට මෙරටට අහිමි වන දළ දේශීය ආදායම ඩොලර් මිලියන ගණනක් විය හැකියි.

නව ජනතා පෙරමුණ අලුත් පක්ෂයක් විදිහට මෙරට පරිපාලන සහ දේශපාලන ව්‍යුහය අධ්‍යයනය කරමින් සිටිනවා. එහිදී අප හඳුනාගත් අභියෝග සහ ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය තුළ පවතින සාකච්ඡා සඳහා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සහභාගී කර ගත්තා. එහිදී අප ගත් දැනුම සහ අප පක්ෂයේ දැක්ම අනුව ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව යෝජනා නුදුරු අනාගතයේදී එළිදක්වන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබ සැමට දැක ගන්න ලැබේවි. උදාහරණයක් කිව්වොත් අප පක්ෂයක් විදිහට කල්පනා කරනවා, නවීන තාක්ෂණය යොදාගෙන කොහොමද පිරිවැය අඩු කරගෙන රාජ්‍ය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත් කරන්නේ කියලා. එහිදී අප රාජ්‍ය යන්ත්‍රණය ජාලගත විය යුතුයි කියන දැඩි ස්ථාවරයක ඉන්නවා. තවදුරටත් සේවාලාභියෙක් තමන්ට අවශ්‍ය සේවාවක් ගැනීමට කාර්යාලයක් කාර්යාලයක් ගානේ කොළ කෑලි එකතු කර කර තැනින් තැන රස්තියාදු විය යුතු නෑ. එම සේවා පහසුවෙන් සහ කඩිනමින් ඉටු කිරීමට දැන් නවීන තාක්ෂණ මෙවලම් සහ ක්‍රම ඇති තරම් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ මඟපෙන්වීම සහ තීන්දු තීරණ ගැනීමයි. අපි ඒ දේ කරනවා. අවශ්‍ය ඔබ තමුන්නාසේලා අප ගැන විශ්වාසය තැබීම පමණයි.

අද බොහොමයක් පිරිස් දේශපාලන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරනවා. වංචාවෙන්, දුෂණයෙන් තොර රටක් ගැන හීන මවනවා. ඒ හිතන විදිහ හරි. ඒක තමයි වුවමනා වෙන්නේ. හැබැයි ඒ වෙනස කරන්න බලය දෙනකොට ළඟ විතරක් බලන්න එපා. එම පිරිස්වල අතීත දේශපාලන භාවිතාවන් පිළිබඳව සොයා බලන්න. වර්තමානයේ ඔවුන් කරන ප්‍රකාශ තුළ අතීතයේ සිදු කළ දෑ පිළිබඳව නැවත සිහිපත් කරනවා නම් ඔවුන් ඔබ වෙනුවෙන් වෙනස්වී නොමැති බව මතක තබා ගන්න. මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකුම ආදරය කළ විජය කුමාරතුංග මහතා ඝාතනය කරන්න ආ තුවක්කුකරුට ජනතා විමුක්ති පෙරමුණ අණ කර තිබුණෙ ඔහුගේ මුහුණ විකෘති වන ආකාරයට මේ ඝාතනය සිදු කරන්න කියලා. විජය කුමාරතුංග මහතාගේ ඝාතකයා ඔහුට මරණාසන්න වෙඩි ප්‍රහාර එල්ල කර යන්න ගිහින් ඒ අණ මතක් වෙලා ආපහු හැරී ඇවිත් මුහුණ විකෘති වෙන්න වෙඩි තිබ්බා. අර නලින් හේවගේ වගේ අය තම පක්ෂය සිදු කළ කෲර ඝාතනවලින් අදටත් කුරිරු සතුටක් ලබන්නේ මේ වගේ සිද්ධි මතක් කරලා. කවදාවත් හිතන්න එපා මේ අය වෙනස් වෙලා කියලා.

අනෙක් බරපතළම කාරණාව තමයි ඉදිරි වසර 10 තුළ මේ රටේ භූ දේශපාලන බලපෑම් හමුවේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව. අපි දැක්කා පහුගිය අවුරුදු 15ක කාල සීමාවේ මෙරට බල හුවමාරුව සිදු වුණේ විදේශ රටවල බලපෑමෙන් කියන්න. මේක දේශපාලනඥයන්ට පමණක් නතර කළ හැකි එකක් නොවෙයි. මේ සඳහා රටේ පුරවැසියා දැනුම්වත්භාවයෙන් සිටිය යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන සල්ලිවලින් දේශපාලන සංදර්ශන දාන මිනිසුන්ට ඡන්දය නොදී ඉන්න එකේ වැඩි වගකීමක් තියෙන්නේ ඔබලාටයි. මම මුලින් කිව්ව ආර්ථික කාරණා ඉටු කරන්න නම් රටක දේශපාලන ස්ථාවර බවක් තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. එහි වගකීම තියෙන්නේ බුද්ධිමත් ඔබට බව මම මතක් කර දෙන්න කැමැතියි. නව වෙනසකට හීන මවන ඔබ සැම දෙනා නව ජනතා පෙරමුණේ තරුණ අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තබන්න. අපට ශක්තියක් වෙන්න. අපෙන් වරදක් වෙනවා නම් ඒ ගැන අපට කියන්න. ඔබ සැම හීන මවන අපරාජිත රටක් හිමි කර දෙන්නට නව ජනතා පෙරමුණට ශක්තියක් වන්න.”

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT