මීට දින කිහිපයකට පෙර අෙමරිකාවේදී මියගිය මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමන් ගැන ඔහුගේ සිසුන් හා හිතෛෂීන් සමාජමාධ්‍යයේ පළ කළ අදහස්වලින් උපුටා ගත් ලිපියක් මෙහි දක්වා සිටිමු. සමාජමාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන දිනෙත් මල්ලිකාරච්චි දැක් වූ සටහනකි මේ.
මම නලින් ද සිල්වා ගැන සටහනක් ලියන්න පටන් ගත්තා. නමුත් මට ඒක ඉවර කරගන්න බෑ. ඔහු ගැන ලියන්න තියෙන දේවල් ගොනු කර ගන්නත් බෑ. ඒ ලිවීම සම්බන්ධයෙන් මගේ තියෙන දුර්වලකම.
මම මුලින්ම නලින් ද සිල්වාගෙ ලිපි කියවන්න පටන් ගත්තෙ වයස 10දි. මගේ ලෝකය කියෙව්වෙ වයස 15 දි විතර. ඔහුගෙන් අපගමනය වෙන්න ගත්තෙ වයස 20 දි විතර. එතැන් පටන් අද දක්වාම මට ඔහුත් සමඟ තිබුණෙ ආදර – වෛරී සම්බන්ධයක්.
මේ සමස්ත කාලය ඇතුළත මම හිතන විදිහ, ලියන විදිහට නලින් ද සිල්වාගෙන් බලපෑමක් නොවුණා කිව්වොත් ඒක මුසාවක්. ඇත්තටම මහ විශාල බලපෑමක් වුණා. ඔහුගෙ අදහස්
පිළිගැනීමෙන් මෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙනුත් මගේ නිම් වළලු විශාල වශයෙන් ප්‍රසාරණය වුණා.
අපි සරසවියෙ ඉන්න කාලෙ නලින්ට හිතවත් ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක ගැටුණා වගේම එකට වැඩ කළා. ඒ අතර මතක හිටින චරිතය චන්න ජයසුමන. නලින්ගෙ අදහස්වලට ක්‍රමවත්ව ප්‍රති උත්තර දෙන්න පදනමක් හදා ගන්න මට වඩාත්ම පිහිට වුණේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය.
මේ සියල්ල මැද මම ඔහුට මගේ විවාහ මංගලෝත්සවයටත් ආරාධනා කළා. ඇත්තටම ඒ මගේ බිරිඳගෙත්, මගෙත් වුවමනාවට. ඔහු ඇගේ ආදරණීය ගුරුවරයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔහු ඒ ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළා.
මම නලින් සර්ව අන්තිමට දැක්කෙ මීට වසර කීපයකට කලින් කොළඹ පෞද්ගලික රෝහලක. එදා ඔහු සමඟ කතා කරන එක මම හිතාමතාම මඟ හැරියා. මොකද ඔහු ඊට ටික කාලයකට කලින් මට පණිවිඩයක් එවලා තිබුණා Òතමන් වැනි මෝඩයකු සමඟ කතා කරන්න එපාÓ කියලා. මේකට හේතු වුණේ මම ජාතික චින්තනය විවේචනය කරන්න ලියපු ලිපියක සඳහන් කරල තිබුණ “ජාතික චින්තනයේ මෝඩ ගැට්ට” කියන පදය. මමත් ඒ වෙලාවෙ ඇරියෙ නෑ: මම කිව්වා ඔබ මොන තරම් චතුස්කෝටිකය ගැන කිව්වත් ලංකාවෙ ඉන්න නොම්මර එකේ ද්විකෝටික යුදෙව් චින්තකයා ඔබයි කියලා. ඔහු එතකොට කිව්වා “බොහොම හොඳයි, එහෙනං චතුස්කෝටිකය පුරුදු පුහුණු කරගෙන ඉන්නකො” කියල. ඔය අස්සෙ ඔහු බුරුමෙ තානාපති වෙච්ච එකට සුබ පතන්න ගිහිල්ලත් හොඳවයින් අහගත්තා.
මේ ගෝරි වෙන්න කාලෙකට කලින් මට ඔහුව හමු වුණා මහරගම කීල්ස් එකේදී. එදා තමයි හමුවෙලා කතා බහ කරන්න ලැබිච්ච අවසාන වතාව. ඇත්තටම ඔහු මාව ලොකුවට ඇඳිනුවෙ නෑ. මතකයක් විතරයි තිබුණේ. නමුත් නිතර දෙවේලේ කරපු විවේචන නිසා නමින් මාව දැන හිටියා. ඔහු එදා මා සමඟත් කිව්වා ඉදිරියේදී අෙමරිකාවට යන බවත්, එහිදී අවසන් ගමන් යන්න කල්පනා කරන බවත්, එවිට ලංකාවේ කිසිවෙකුට ඔහුගේ මළගමට එන්න බැරි බවත්. ඒක ඒ විදිහටම වුණා. මම එදා සමු ගත්තෙ ඔහුට වැඳලා.
නලින් ද සිල්වාට තිබෙන ජනප්‍රිය විවේචන බොහෝ ඒවා පුස් විවේචන. ඔහු සහ ඔහුගේ දරුවන් රාජකීය විදුහලට යාම, දරුවන් ඇෙමරිකාවේ වාසය කිරීම, ඔහු අෙමරිකාවට යාම, ඔහුගෙ බටහිර අධ්‍යාපනය…. මේ එකක්වත් ඔහුගේ දර්ශනය සමඟ පරස්පර නොවෙයි. ඔහු ඥාන විභාගය සම්බන්ධයෙන් සිංහල කතා කරන සමාජය ඇතුළෙ විශාල සංවාදයක් හැදුවා. ඉහත අවර ගණයේ විවේචන ගෙන එන්නෙ ඒ සංවාදය ඉව කරන්න අසමත් උදවිය. ඒ ගැන වද වෙන එකේ තේරුමක් නැහැ.
නලින් ද සිල්වා කියන්නෙ ඇත්ත මිනිහෙක්. තමන්ගෙ ඇත්ත නරක, ඇත්ත දුර්වලකම් ඇත්ත ද්වේශය නොපැකිළව පෙන්වපු කෙනෙක්. ඉතිං ඒ සියල්ල මැද ඔහුගෙ ජීවිතයේ තිබුණු සෞම්‍ය, සුන්දර සහ කාරුණික පැතිත් තේරුම් ගන්න අපට පුළුවන් වුණා.
මම හිතන්නේ ඔහු තමන්ගෙ ක්‍රියාකාරීත්වය අවසාන මොහොත දක්වාම උපරිමයෙන් තබා ගත් කෙනෙක්. ඒ අර්ථයෙන් උපරිම අන්දමින් ජීවත් වුණා කියන්න පුළුවන්.
ආසනික් ගැන, කොටි ත්‍රස්තවාදය ගැන, නාථ දෙවියො ගැන, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ගැන, මගේ ලෝකය ගැන මට පිටු ගණනක් දිගට ලියන්න තිබෙනවා. නමුත් මේ අපිළිවෙළ කෙටි සටහන නොලිව්වොත් මේ මොහොත මඟ හැරෙනවා.
අපි නාකි නිසා වෙන්න ඇති. බොහොම දුක හිතෙන ඥාති සහ හිතවත් මරණ ගණනක්ම සිද්ධ වුණා. නලින් සර් අයත් වෙන්නෙ මේ දෙවර්ගයටම නොවෙයි, සමාජ චරිත ගණයට. මම හිතන්නේ මම වඩාත්ම කම්පනයට පත් කරපු සමාජ මරණය මේක.
මම ඔහුට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරනවා!