Sunday, May 19, 2024
Home » ජන­තාව තුළ චින්තන විප්ල­ව­යක් ඇති කළ ආචාර්ය නලීන් ද සිල්වා රටට අහිමි වුණේ අවශ්‍ය මොහො­තක – ඇල්ලේ ගුණ­වංශ හිමි

ජන­තාව තුළ චින්තන විප්ල­ව­යක් ඇති කළ ආචාර්ය නලීන් ද සිල්වා රටට අහිමි වුණේ අවශ්‍ය මොහො­තක – ඇල්ලේ ගුණ­වංශ හිමි

by damith
May 6, 2024 1:05 am 0 comment
පාංශුකූලයට සහභාගීවන පවුලේ ඥාතීන් සහ හිතවතුන්

සිදු වන විප­ත්ව­ලින් රට බේරා ගන්නට සිටි අත­ළො­ස්සක් පිරිස අතරේ මේ රටේ ජන­තාව තුළට ජාතික මත­වා­ද­යක් ගෙන යමින් චින්තන විප්ල­ව­යක් කර­න්නට පෙර­මුණ ගත් ආචාර්ය නලීන් ද සිල්වා මහතා රටට අහිමි වූණේ අව­ශ්‍යම මොහො­තේදී යැයි කොළඹ බෞද්ධා­ලෝක මාවතේ ධර්මා­ය­ත­නා­ධි­පති ඇල්ලේ ගුණ­වංශ හිමියෝ පැවැ­සූහ.

උන්ව­හන්සේ මේ බව පැවැ­සුවේ අභා­ව­ප්‍රාප්ත ආචාර්ය නලීන් ද සිල්වා මහතා වෙනු­වෙන් මෙර­ටදී පාංශු­කූ­ලය දීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ලන මූල­ස්ථා­න­යේදී භික්ෂූන් වහ­න්සේලා සියක් නම­කගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති පින්ක­මට ඊයේ (05) එක් වෙමිනි.

එහිදී උන්ව­හන්සේ මෙසේ ද අනු­ශා­සනා කළහ.

උත්සවයට සහභාගී වූ මහා සංඝරත්නයෙන් කොටසක්

උත්සවයට සහභාගී වූ මහා සංඝරත්නයෙන් කොටසක්

“මගේ ජීවි­තයේ මම බොහෝ සේ දුක් වු දව­සක් මේ. මහා­චාර්ය නලීන් ද සිල්වා මහතා පාණ­දුරේ, වෑකඩ ඉප­දිලා, තම මව අධ්‍යා­පන කට­යුතු සිදු කළ පාස­ලේම අධ්‍යා­ප­නය ලබා තර්ස්ටන් විද්‍යා­ල­යට පැමිණ පස් වැනි ශ්‍රේණියේ සිට කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඇතු­ළත්ව අධ්‍යා­ප­නය ලබ­නවා. ගණි­තය විෂය තමයි ඔහු ප්‍රිය­තම විෂය වුණේ. පාසලේ විවාද කණ්ඩා­යමේ නාය­කයා ලෙසත් ඔහු ක්‍රියා කළා. පසුව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්ව උපා­ධිය ගෙන බ්‍රිතා­න්‍යයේ සසෙක්ස් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වුණා. ඔහුට එහිදී වසර තුන­කින් නිමා කළ යුතු නිබ­න්ධ­නය ඔහු වසර එක හමා­ර­කින් අව­සන් කර­නවා. වසර එක හමා­ර­කින් එය අව­සන් කර ඔහුගේ මහා­චා­ර්ය­ව­ර­යාට නිබ­න්ධ­නය දෙනවා කැමැ­ත්තක් කරන්න කියලා. මහා­චා­ර්ය­ව­රයා පුදු­ම­යට පත් වෙලා සනා­තන සභා­වට කතා කර­ඔ­හුට ආචාර්ය උපා­ධිය දෙනවා. පසුව ඔහු ලංකා­වට එන අව­ස්ථාවේ පොඩි ලියුම් කෑල්ලක් අතට දෙනවා. ඒ ලියුම් කෑල්ලේ තිබෙන්නේ ඔබ ඔබේ රටට විශාල ගෞර­ව­යක් කිය­ලයි.

නලීන් ද සිල්වා මහතා කොහොම හිතු­වත් අවශ්‍ය මිනි­සුන් ඔහුට ගරු කළා. මමත් ගරු කළා. ඔහු කිවුව දේවල් දේශ­ප්‍රේමී ජන­තාව ඇහු­ම්කන් දුන්නා. මේ තරම් බර­ප­තළ, භයා­නක තත්ත්ව­ය­කට මේ රට පත් වෙලා තිබුණෙ නෑ. අපේ සම්පත් රාශි­යක් මේ වෙන­කොට තර්ජ­න­යට ලක් වෙලා තිබෙ­නවා. භූමි සම්පත, වන සම්පත, ජල සම්පත ආදී හැම සම්ප­තක්ම දැඩි තර්ජ­න­ය­කට පත් වෙලා තිබෙ­නවා. ඒ නිසා නලීන් ද සිල්වා මහතා සිටිය යුතුව තිබුණේ අදයි. ඔහු­ගෙන් හිස් වු තැන පුර­වන්න මේ ඉන්න තරුණ දේශ­පා­ල­න­ඥ­යන් අධි­ෂ්ඨාන කර ගත යුතුයි. ඔහු­ගෙන් ඉගෙන ගත් ඔහු­ගෙන් දොස් අහපු පොඩි හාමු­දු­රු­ව­රුත් ඉන්නවා. උන්ව­හ­න්සේ­ලත් නලීන් ද සිල්වා මහ­තාගේ අද­හස් ගරු කළ යුතුයි. ස්වාමීන් වහ­න්සේලා ජාතියේ මුර දේව­තා­වුන් වහ­න්සේලා කියලා ලෝකයේ අන්වර්ථ නාම­ය­කින් හඳු­න්වන්නේ අපේ රටේ පම­ණයි. පොඩි හාමු­දු­රු­වන් වහ­න්සේලා එක­තුව මේ උතුම් මාතෘ භූමිය, ජාතිය, ආගම රැක ගන්න කට­යුතු කළ යුතුයි.

ජාති­යත්, ආග­මත්, රටත් දැඩි තර්ජ­න­යක තිබෙන බව විත­රයි කියන්නෙ. අවු­රුදු 2500ක් පැරණි පක්ෂ දෙකක් තමයි මේ රට ආරක්ෂා කළේ. ඒ ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙක දැන් එක්විය යුතුයි. ඒ පක්ෂ දෙක එක­තුව දේශ­පා­ල­න­ඥ­යන්ට අණ දිය යුතුයි. ඔවුන්ට අණ දී මේ ආද­ර­ණීය මාතෘ භූමිය ආරක්ෂා කළ යුතුයි. නලීන් ද සිල්වා මහතා මගේ පන්ස­ලට වැඩි­යෙන්ම එන්න ඇති. ජාතික මත­වා­දය ගෙන ගොස් මේ රට බේරා ගන්න අපට විශාල පිරි­සක් සිටියේ නෑ. ඔහු මේ රටේ ජන­තාව තුළ චින්තන විප්ල­ව­යක් ඇති කිරී­මට කතා කළා සහ ලිවුවා. ඔහු සම­හර විට දුක් වුණා ඔහු ලියන කියන දේ කිය­වන්නේ නෑ කියලා. නමුත් කියෙ­වුවා. ඒ කියෙ­වු­වත් විවිධ දේශ­පා­ලන, ආර්ථික අප­හ­සු­කම් නිසා අද අපේ ජන­තා­වට ශක්ති­යක් නෑ. අපේ රට අපට අහිමි කිරී­මට මේ වෙන­කොට කට­යුතු සම්පා­ද­නය වෙමින් පව­ති­නවා.”

බෙංග­මුවේ නාලක හිමි

අභාවප්‍රාප්ත නලීන් ද සිල්වා මහතා වෙනුවෙන් පින් පැමිණවීමේ කටයුතු සිදුකරන අයුරු

අභාවප්‍රාප්ත නලීන් ද සිල්වා මහතා වෙනුවෙන් පින් පැමිණවීමේ කටයුතු සිදුකරන අයුරු

“රට, ජාතිය, සම්බුද්ධ ශාස­නය වෙනු­වෙන්ම ක්‍රියා කළ, කතා කළ සහ ලිපි ලේඛන ලියූ, ඒ පිළි­බ­ඳ­වම සිතූ මහා පඬි­රු­ව­නක් ආචාර්ය නලීන් ද සිල්වා මහතා කියලා කියන්නෙ. ඔහු සමඟ අවු­රුදු 40ක් එකට බැඳී අපි කට­යුතු කළා. ඒ මහ­තාගේ වචන අහපු අය සම­හර විට ඔහු හඳු­නන්නේ නෑ. ඔහුගේ ලේඛන බලපු අයත් ඔහුව හරි­යට අඳු­න­නවා ඇති කියලා මම හිතන්නේ නෑ. ඔහු සමඟ ඇසුරු කළ අපි ඔහුගේ හද­වත හොඳින්ම හඳු­නා­ගෙ­නයි හිටියෙ. ඔහුගේ අද­හස් උද­හස් ඉදි­රි­පත් කිරී­මේදී කටුක බවක් සම­හර විට දැනෙන්න පුළු­වන්. එහෙම කියන්න ඕනෙ නිසා තමයි එහෙම කිවුවෙ. අර­මුණ වුණේ අපේ රටේ අන­න්‍ය­තාව වෙනු­වෙන් පෙනී සිටීම. අපේ අන­න්‍ය­තාව වෙන කිසි­වක් නෙමෙයි සිංහල බෞද්ධ­කම. ඒ වෙනු­වෙන් තමයි ඔහු පෙනී සිටියේ. බොහෝ දෙනා බට­හිර ගැති ජීවිත ගත කර­මින් සිංහල බෞද්ධ අන­න්‍ය­තා­වට එරෙහි වන නිසා ඒ මහ­තාට කතා­වේදී සහ ලිවී­මේදී කටුක වචන පාවිච්චි කරන්න සිදු වුණා. ඒ සඳහා කිසිම අව­ස්ථා­වක පසු­බට වුණෙත් නෑ. පැකි­ලු­ණෙත් නෑ. එඩි­ත­රව, අභී­තව, අවං­කව ඔහු තමාගේ අද­හස පළ කළා.

අවු­රුදු 79ක් පමණ කාල­යක් ජීවත් වෙලා, විවාහ ජීවි­තය ඉතා­මත්ම සාර්ථ­කව ගත කර, දරු­වන් තුන් දෙනකු මේ සමා­ජ­යට බිහි කර, රට ජාතිය ශාස­නය වෙනු­වෙන් කතා කර­මින් සිටි ඒ මහතා අභා­ව­ප්‍රාප්ත වුණේ අමෙ­රි­කා­වෙදී. සම­හරු කිය­නවා, අමෙ­රි­කා­වට බැන බැන ඉඳලා අමෙ­රි­කා­ව­ටම මැරෙන්න ගියා කියලා. එහෙම කියන අයත් ඉන්නවා. අපට ඇහි­ලත් තියෙ­නවා. ඒක ගැන වෙනම කතා කරන්න ඕනෙ. මම මැරෙන්නේ විදේ­ශ­ය­කදී, මගේ දේහය ලංකා­වට ගෙන යන්න නොලැ­බේවා කියලා ඒ මහතා ප්‍රාර්ථ­නා­වක් කර තිබෙ­නවා. මොකද මා අක­මැති අයට මගේ මුහුණ දකින්න ලැබෙ­න­වාට මම කැමති නෑ කියලා ඔහු කියා තිබෙ­නවා. ඒ නිසා එතු­මාගේ ඒ අර­මුණ ඉෂ්ට වුණා. නමුත් මම නැවත උප­දින්නේ ශ්‍රී ලංකාවේ කිය­ලත් ඒ මහතා කියා තිබෙ­නවා. ඒ කෙටි අද­හ­ස්ව­ලින් ඔහුගේ සම්පූර්ණ ජීවි­තය අපට හඳු­නා­ගන්න පුළු­වන්.”

රුහුණු රට භික්ෂු පෙර­මුණේ සභා­පති ඕමාරේ කස්සප හිමි

“උපන්නා වූ සෑම සත්ත්ව­ය­කු­ටම කවදා හෝ කොතැ­න­කදී හෝ කුමන ආකා­ර­ය­කින් හෝ මුහු­ණ­දී­මට සිදු වන ධර්ම­තා­වට ආචාර්ය නලින් ද සිල්වා මහතා දැන් මුහු­ණදී සිටි­නවා. ඔහු මියැ­දෙන බව දැන සිටියා. ඔහුගේ ලිපි­යක සඳ­හන් වෙනවා ‘මගේ පියා බලා­පො­රොත්තු වුණේ මාව වෛද්‍ය­ව­ර­යෙක් කරන්න’ කියලා. නමුත් ඔහු සඳ­හන් කර තිබෙ­නවා, ඔහු ගමන් කළ මාර්ගය තමයි දැන් මේ තියෙන්නේ කියලා. අවු­රුදු 79ක් 80ක් වෙන­කන්ම ඔහු මේ ජීවි­තය තුළ ධර්ම­පා­ල­තුමා ජාතිය වෙනු­වෙන් වැඩ කරන්න ගිහින් වින්ඳ දුකට සමාන මට්ට­ම­කින් දුක් වින්ඳා. ඇයි මම එහෙම කියන්නේ. රට වෙනු­වෙන් කතා කරලා, රට වෙනු­වෙන් ලියලා, රට වෙනු­වෙන් අද­හස් දීලා, සම්ම­න්ත්‍ර­ණ­ව­ලට සහ­භාගී වෙලා, තමන්ගේ ශිෂ්‍ය­යන්ට නිවැ­රදි දැක්මක් ඇති කරලා දැවැන්ත විදි­යට කට­යුතු කළ ඔහුට මේ රටේ සිංහ­ල­යන්ම ගහන්න ගත්තා. වෙන අය නෙමෙයි. මේ රටේ සිංහ­ල­යන්ම තමයි ගහන්න ගත්තේ. ගැහීමේ ප්‍රති­ඵ­ල­යක් විදි­යට ඒ මහ­තාට රැකි­යා­වත් නැති වෙනවා.

ඔහු ලංකාවේ තාරකා විද්‍යාව පිළි­බ­ඳව ප්‍රථම උපා­ධි­ධා­රි­යයි. ගණි­තය පිළි­බ­ඳව මහා­චා­ර්ය­ව­ර­යයි. අන්ති­මට රැකි­යා­වක් කරන්න විශ්ව­වි­ද්‍යා­ල­යට ඉදි­රි­පත් වෙන්න නැති කළා. ඔහු වෙන අප­රා­ද­යක් කළේ නෑ. ඒ තර­ම­ටම සිංහ­ලයා ගැන කතා කළ දේ විත­රයි කළේ. සිංහ­ලයා ගැන කතා කළා, බෞද්ධයා ගැන කතා කළා. ඒක තමයි ඔහු කළේ.”

අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නලීන් ද සිල්වා මහතාගේ  ඡායාරූපයට මල් දමක් පැලඳවූ අයුරු

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නලීන් ද සිල්වා මහතාගේ
ඡායාරූපයට මල් දමක් පැලඳවූ අයුරු

“ආචාර්ය නලීන් ද සිල්වා මහතා ජාතිය පුබු­දු­වාලු අපේ රටේ ආඩ­ම්බ­ර­යයි. ඔහු බුදු දහම අර්ථා­න්වි­තව ගිහි­යකු ලෙස අප රට­වා­සීන්ට සහ ලෝක­යාට පෙන්වා දුන් උත්ත­ම­යෙක් සහ සම්බුද්ධ ශාස­නයේ චිර­ස්ථි­ති­යට රැකු­මට සෑම අව­ස්ථා­ව­කම එඩි­ත­රව කැපවු අපේ බෞද්ධ නාය­ක­යෙක් ද වෙනවා. ඔහුගේ වියෝව මේ අව­ස්ථාවේ විශාල හිඬැ­සක් අප රටට ඇති කරන බව අප සැවොම පිළි­ගන්නා කාර­ණා­වක් පම­ණක් නොව මෙවන් මොහො­තක බෞද්ධ­යන් ලෙස මෙලෙස ගෞර­වය දක්වා පින් දීමට අපි එක­තු­වීම ඒ මහතා වෙනු­වෙන් ජාති­යට ඉටු කළා වූ ගෞර­ව­නීය ආඩ­ම්බ­ර­යක් වෙනවා. ඒ මහතා ජාති­යේම ආඩ­ම්බර නාය­ක­යෙක් ලෙස නොබි­යව අද­හස් පළ කළා. ජාතිය අඳු­රට පත්වන කාල පරි­ච්ඡේ­ද­ය­කදී අද­හස් පළ කළා. ජාති­යට පණ දුන්නා. ප්‍රාණ­වත් කළා. රට අවදි කළා. ඒ උදාර වචන මාලාව නිසාම රටක් යළි යළි නැගිට්ටා.

ඒ වගේම සම්බුද්ධ ශාස­නය ආරක්ෂා කර­ලී­මෙ­හිලා නලීන් ද සිල්වා මහ­තාගේ හඬ පම­ණක් නොව ඔහු අතින් නිර්මා­ණ­ශී­ලීව සහ තර්කා­නු­කූ­ලව ලිය­වුණු ලිපි දහස් ගණන්, ලක්ෂ ගණන් ජන­තා­වට හැම වය­ස­ටම කිය­වන්න පුළු­වන් ලෙස එකතු වුණා. අද වන විට තිබෙන ප්‍රධාන පුව­ත්පත් සිය­ල්ලම ආචාර්ය නලීන් ද සිල්වා මහ­තාගේ එවන් ඉදි­රි­පත් කිරීම් දශක දෙක හමා­ර­කට වැඩි කාල­යක් භුක්ති වින්ඳා. ඒ නිසාම රට වැසි­යාට තවත් ශක්තිය දිය හැකි මඟ­පෙ­න්වී­මක් දෙන්නට නලීන් ද සිල්වා මහ­තාට අව­ස්ථාව ලැබුණා. ඒකීය රාජ්‍ය­යට තර්ජ­නය කර­මින් අප රට මෑත කාලයේ භයා­න­කම අව­ස්ථා­ව­කට මුහුණ දුන්නු අව­ස්ථාවේ ඉදි­රි­පත්වී මඟ පෙන්වූවා. අප ඇතුළු ජාතික ව්‍යාපා­ර­යට සම්බන්ධ සියලු නාය­ක­යන් සමඟ අත්වැල් බැඳ­ගෙන කට­යුතු කර­මින් එය ආපසු හැර­වී­මට දැවැන්ත මඟ­පෙ­න්වී­මක් කළා.

පරා­ජය කළ හැකි දේශ විරෝධී බල­වේග පරා­ජය කර­න්නට විරු­ද්ධ­වා­දීන් සමඟ හැප්පුණා. මේ කාර­ණාව ආපසු හර­ව­න්නට පුළු­වන් කියන මතය ජය­ග්‍ර­හ­ණය කොට අපේ රට ආරක්ෂා කර­න්නට අපගේ ත්‍රිවිධ හමු­දා­වන්ට පුළු­වන් බව කියා පෑ නොසැ­ලෙන ගතිය අපි මේ අව­ස්ථාවේ යළි යළිත් ගෞර­ව­යෙන් යුතුව සිහි­පත් කර­නවා. සිංහ­ල­කම, බෞද්ධ­කම, ශාස­නය ආරක්ෂා කර­වී­මෙ­හිලා ආචාර්ය නලීන් ද සිල්වා මහතා ඉදි­රි­පත් කළ ‘මගේ ලෝකය’ වැනි ලිපි ලේඛන ජාතික හා ජාත්‍ය­න්ත­රව දැවැන්ත පිළි­ගැ­නී­ම­කට ලක් වූ නිසා ලක්වැ­සි­යාට ඒ තැන්පත් කළ ජාතික මෙහෙය වෙනු­වෙන් යළි ඔබට අපි පින් දෙනවා. මේ සසර ගමනේ අව­සා­නයේ අත්වෙන අනිත්‍ය අව­බෝධ කර­ගෙන තිබුණු ආචා­ර්ය­තු­මාට එය රට­වැ­සි­යාට අව­බෝධ කර දීමට දීර්ඝ කාලීන වශ­යෙන් ගත කළ කාලය කුමන විවේ­ච­න­යන් තිබු­ණද ඒ හරහා ගමන් කර­න්නට බුදු දහමේ ශක්තිය හේතු වාස­නා­වක් බවට පත්වුණා.

ඒ මහතා අපේ ජාතික වීර­ව­ර­යෙක් වගේම අපේ බෞද්ධ නාය­ක­යෙක් ද වෙනවා. ඒ නිසාම බෞද්ධ සම්මේ­ල­නයේ එක­ඟ­තාව පළ කළා මේ බෞද්ධ නාය­ක­යාගේ මහා පින්කම මේ ස්ථානයේ පව­ත්වන්න. ඔහුගේ දේහය මෙර­ටට තව­මත් ගෙනැ­විත් නෑ. අව­සන් කට­යුතු කිරී­මෙන් අන­තු­රුව ඉදි­රි­යේදී භෂ්මා­ව­ශේෂ රට­වැ­සි­යාට ගෞර­වය දක්ව­න්නට ගෙන එනවා. ඒ මහතා සමඟ එකට වැඩ කර­මින් එතුමා සමඟ දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­යන් හරහා අප සැමට කට­යුතු කර­න්නට පුළු­ව­න්කම ලැබුණා. මාතෘ භූමිය වෙනු­වෙන් සිංහල ජාතියේ පැවැත්ම, බුදු සසුනේ පැවැත්ම, මේ රට අනා­ග­ත­යට ඉතුරු කර­න්නට ඔහු කළ දායා­දය මඟ­පෙ­න්වීම හා දුන් ශක්ති­යට මුළු මහත් ජාතියේ ගෞර­වය මේ අව­ස්ථාවේ පුද කර­නවා.”

බෙංග­මුවේ නාලක හිමි­යන් සහ ඇල්ලේ ගුණ­වංශ හිමි­යන් ඇතුළු මහා සංඝ­ර­ත්නය සහ අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ මැදි­හ­ත්වී­මෙන් ද, සියලු ජාතික සංවි­ධාන හා දේශ හිතෛෂී ව්‍යාපාර එක­තු­වෙන් ද මේ පාංශු­කූල පින්කම සංවි­ධාන කෙරිණි.

මේ අව­ස්ථා­වට අම­ර­පුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක රාජ­කීය පණ්ඩිත ශාස්ත්‍ර­පති ත්‍රිකු­ණා­ම­ලයේ ආනන්ද හිමි, කෝන්ග­ස්තැන්නේ ආනන්ද හිමි, මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝ­ර­ත්නය, හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ, රාජ්‍ය ඇමැ­ති­ව­රුන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නයේ සභා­පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, ආචාර්ය ගුණ­දාස අම­ර­සේ­කර, ජාතික සංවි­ධාන නියෝ­ජි­ත­යන්, ආචාර්ය නලීන් ද සිල්වා මහ­තාගේ ඥාතීන් ඇතුළු පිරි­සක් ද සහ­භාගී වූහ.

ආචාර්ය නලීන් ද සිල්වා මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු ඊයේ (05) අමෙ­රි­කා­වේදී සිදු කෙරිණි.

ඡායා­රූප – රංජිත් අසංක

නෙත්මි පූජනී රත්නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT