Sunday, May 5, 2024
Home » තරුණ කාලය අනවශ්‍ය දේට වැය කිරීම අපරාධයක්

තරුණ කාලය අනවශ්‍ය දේට වැය කිරීම අපරාධයක්

-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්

by sachintha
April 26, 2024 2:50 am 0 comment

තරුණ කාලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද? ධනාත්මකව සිතා ජීවිතය ජය ගන්නේ කෙසේද? යන්න පිළිබඳව මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් සමඟ සිදු කළ සංවාදයකි මේ.

අවබෝධයකින් තමන්ගේ ගමන යනවා නම් වරදින අවස්ථා අඩුයි පරාජයන් කියන්නේම අත්දැකීම් සහ පාඩම් ධනාත්මක වන තරමට අපට මානසිකව ලැබෙන ශක්තිය වැඩියි

ජීවිතය ගැන අලුතින් සිතීම සහ ධනාත්මකව ජීවිතය දෙස බැලීම තුළින් ජීවිතයට අලුත් වෙනසක් ළඟා කර ගත හැකිද?

කෙනෙකුට ඕනෑම මොහොතක වෙනස් විය හැකියි. තමන්ගෙ ජීවිතය වෙනස් කරගත හැකියි. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන ආකල්පය හා කැපවීමයි. කිසියම් විරාමයකින් පසු නැවතත් වැඩ කටයුතු පටන් ගැනීම සාමාන්‍ය දෙයක්නෙ. නමුත් මේ සාමාන්‍ය දේ ටිකක් වෙනස් කරලා කෙනෙක්ට පුළුවන් නම් තමන්ගෙ ජීවිතය සැලකිය යුතු මට්ටමකින් වෙනස් කරගැනීම සඳහා තීරණයක් ගැනීමට ඇත්තෙන්ම මෙය හොඳ අවස්ථාවක් වෙනවා. සිත සිතා කල්මැරීමට අපට ලොකු කාලයක් නැහැ.

ඒ නිසා කොතැන හෝ නැවතුණ තැනකින් නැවතත් ආරම්භ කළ යුතුයි. ඒ ආරම්භයේදී ධනාත්මක වන තරමට අපට මානසිකව ලැබෙන ශක්තිය වැඩියි. ඍණාත්මක වන තරමට අප මනසින් වැටෙන්න තිබෙන නැඹුරුවත් වැඩියි. ඒ නිසා අපව දුර්වල කරන සිතිවිලි ඈත් කරගැනීම අපම කළ යුතු දෙයක් වෙනවා.

සාර්ථක වීමට නම් පරාජයට තිබෙන බිය නැති කර ගන්නේ කොහොමද?

සෑම කෙනකුටම ජීවිතයේදී අවස්ථාවන් ලැබෙනවා. බොහෝ අය ඒ අවස්ථාවන් හඳුනාගන්නේ නැහැ. සමහර අයට ඒ අවස්ථාව ලබා ගන්න හිතෙන්නේ නැහැ. තවත් සමහර පිරිස් අවස්ථාවන් සාධනීය විදිහට ගන්නෙ නැහැ. තවත් පිරිසක් අවස්ථාව ලැබුණම ඒ අවස්ථාව ලබා ගන්න බයයි. ගොඩක් අයට වටිනා අවස්ථා මඟහැරෙන්නෙ මෙන්න මේ කාරණා නිසයි. ලැබෙන අවස්ථාවන් මඟහැරුණාද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා. සමහර අය පරාජය වීම නිසාම නව අවස්ථාවන්වලට මුහුණ දෙන්න බයයි.

ඉතින් බොහෝ දෙනාට සාර්ථකත්වය සිහිනයක් පමණක් වෙන්නේ ඒ නිසයි.

මා හිතන්නේ පරාජය ගැන සිතීමම පරාජයක් කියලයි. පරාජය වීමට ඇති ඉඩකඩ ගැන සිතමින් සිටීම වෙනුවට කෙනෙක්ට පුළුවන් නම් තමන්ව විශ්වාස කරමින් ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ගන්න, නව අවස්ථා සොයා යන්න ඒ කෙනාට ජයග්‍රහණය කරා යෑම බොහොම පහසුයි.

සාර්ථකත්වයෙන් 80%ක්ම තීරණය වන්නේ අපේම සිතුවිලි මතද?

ඔව්. සියල්ල සිදු වන්නේ සිතිවිලි නිසයි. සිතුවිල්ලක් නැතිව කිසිම කෙනෙක්ට කිසිදු දෙයක් කරන්න බැහැ. ඒ වගේම හොඳින් හිතන්න පුළුවන් කෙනකුට කරන්න බැරි දේකුත් නැහැ. සිතුවිලිවල ප්‍රතිඵලයක් තමයි සාර්ථකත්වය කියන්නෙ. කිසිම ජයග්‍රහණයක් ඉබේ ලැබෙන්නේ නැහැ. එහෙම ලැබුණත් ඉන් එහාට යන්න නම් අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව හිතලා වැඩ කරන්නම සිද්ධ වෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් තමන්ගේ තාරුණ්‍ය වෙත අරුතක් එක් කර ගැනීමට ග්‍රහණය කර ගන්නා මාතෘකා සුදුසුද?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කියන්නේ උගත් දක්ෂ තරුණ පිරිසක් වගේම හිතන්න පුළුවන් පිරිසක්නෙ. නමුත් අසීමිත නිදහස වගේම වෙනත් පාර්ශ්වවල බලපෑම් වැනි කාරණා නිසා ඇතැම් අය ලැබුණු අවස්ථාව අපතේ හැර ගන්නවා. කාලයත් ජීවිතයත් නාස්ති කර ගන්නවා.

නමුත් තමන්ගේ අනාගතය ගැන නිවැරැදි අවබෝධයක් තියන අය ඉතාම සාර්ථක ලෙස ජීවිත හදා ගන්නවා. ඒ අය තමයි රටේ වගේම ලෝකයේදීත් කැපී පෙනෙන උසස් තැන්වල ඉන්නෙ. මේ කාරණය හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි.

ඒ තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිදු වන්නේ අවැඩක්ද?

මොන දේ කළත් තමන්ව බුද්ධිමත්ව ඉදිරියට රැගෙන යන එක තරුණ ශිෂ්‍යයින් ප්‍රධාන වගකීම කරගත යුතුයි. විශ්වවිද්‍යාලයේදී හෝ ඉන් පිටතදී හෝ විවිධාකාර සමාජයීය, දේශපාලනමය මත දැරීම වරදක් නෙමෙයි. නමුත් ප්‍රධාන දේ තමන්ගේ සංවර්ධනය තුළින් ජීවිතයට අර්ථයක් එක් කරගැනීමයි. ඒ වෙනුවෙන් වැඩ කිරීමයි. තරුණ කාලය අනවශ්‍ය දේවලට වැය කිරීම අපරාධයක්.

කෙනෙක් තම ඉලක්ක කරා නිවැරදිව යා යුත්තේ කෙසේද?

ඕනෑම කෙනෙක්ට ජීවිතේ අරමුණක් තිබිය යුතුමයි. යා යුත්තේ කොහේටද? කළ යුතු දේ කුමක්ද? යන්න පිළිබඳව අවබෝධයක් තියන කෙනකුට තමන්ගේ ගමන හරි පහසුයි. ඒ වගේම වරදින තැන් ගොඩක් අඩුයි.

සරසවි ප්‍රවේශය වසරකින් හෝ දෙකකින් ආපස්සට ගැනීමට තීරණය කර තිබෙනවා. වෙනත් රටවල පවතින අධ්‍යාපන ක්‍රමයත් සමඟ සැසඳූ විට මෙය මීට කලින් කළ යුතුව තිබූ දෙයක්ද?

අපේ රටේ දැනට දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ මතවාද තිබෙනවා. ඇත්තටම සමහර දේවල් වෙනස් විය යුතුයි. ඒ වගේම කාලය සමඟත් අපි වෙනස් විය යුතුයි. ඇතැම් විෂයන් නව පරම්පරාවට ගැළපෙන්නෙ නැහැ. නව ලෝකයට ගැළපෙන්නෙ නැහැ. ඒ වගේම දරුවන්ගේ තරුණ කාලය අපතේ නොයන විදිහට වෙනසක් වෙනව නම් ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා මම හිතනවා. අපේ රටේ නිර්මාණාත්මක හැකියාවන් තිබෙන, ඒ වගේම වැඩිපුර අවධානයට යොමු නොවුණ, නමුත් ඉතා වටිනා දක්ෂතාවන් තිබෙන දරුවන් ඉන්නවා.

එවැනි දරුවන්ට වෙනත් රටවල නම් විවිධ අවස්ථාවන් තියෙනවා. තෝරා ගැනීමට බොහෝ දේ තිබෙනවා. එවැනි අවස්ථාවන්, පහසුකම්, දිරිගැන්වීම් සහ මඟ පෙන්වීම් අපේ රටේ දරුවන්ට ඉතා සීමිතයි. ඊට හේතුව අපි තාමත් සාම්ප්‍රදායික රාමුවක් තුළ කොටු වී සිටීමයි. වැඩිහිටියන් ඒ රාමුව තුළ කොටු වී පැරණි දෙයෙහිම එල්බගෙන සිටීම පමණක් නොවෙයි වැඩිහිටියන්ටත් හරි අවබෝධයක් නොතිබීම නිසා දරුවන්ට නව ලෝකයට අවශ්‍ය දැනුම නොලැබී යන්නට පුළුවන්.

එයින් ලැබෙන වාසි හෝ අවාසි මොනවාද?

විශ්වවිද්‍යාල ප්‍රවේශය අවුරුද්දක් හෝ දෙකක් කලින් ලබා දීම හොඳ දෙයක්. එයින් ඔවුන්ට වෘත්තීය ප්‍රවේශය කලින් ලබා ගැනීමට හැකි වෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා අවශ්‍ය අයට කාලය ඉතිරි වෙනවා. මේ කාරණා ගැන හිතලා නව ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. එය තවත් කල් දැමිය යුතු නැහැ. එය කලින්ම කළ යුතුව තිබූ දෙයක්.

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය සඳහා දායකත්වය සැපයීමේදී මුණ ගැසෙන දරුවන්ගේ සහ සිසුන්ගේ හඳුනා ගන්නට ලැබුණු ගැටලු සහ නිවැරදි විය යුතු තැන් තිබෙනවාද?

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් තුළ මා දුටු බහුලවම ඇති ගැටලුව තමයි තමාගේ ඉදිරිය පිළිබඳ තීරණයක් ගැනීමේ දැනුම නොවීම. බොහෝ දෙනා ඊළඟට කළ යුතු දේ ගැන දන්නේ නැහැ. හැම කෙනෙක්ම තමන්ට යා හැකි පාරවල් පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි.

උදාහරණයක් ලෙස තමන් උසස් පෙළ විභාගය කළ යුතුමද? ඒ සුදුසුකම විභාගය නොකර වෙනත් ආකාරයකින් සපුරා ගත නොහැකිද? කළ යුත්තේ කුමන උපාධියක්ද? වැනි අවිනිශ්චිත අදහස් තුළ සිටිනවා. නිවැරදි පිළිතුරු සොයා ගත නොහැකිව ජීවිතයේ අතරමංව සිටිනවා. මෙවන් ගැටලු නිසාම බොහෝ සිසුන් මානසිකව පීඩාවන්ටත් පත් වෙනවා.

ඒ වගේම පෞරුෂය සංවර්ධනය පිළිබඳ කතා ක රටේ මතුව තිබෙන වත්මන් ආර්ථික, දේශපාලන, සමාජයීය යන තත්ත්වය හමුවේත් දරුවන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට අසහනකාරි සිතුවිලි, බිය, කනස්සල්ල සහ මානසික ආතතිය වැනි සිතුවිලි ඇති විය හැකිද?

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සතුටුදායක නැති බව බාල, මහලු, සියලු දෙනාම දන්නා කාරණයක්. රටේ ආර්ථික තත්ත්වය, දේශපාලනමය තත්ත්වය වගේම සාමාජයීය තත්ත්ව සියල්ල පිරිහී ඇද වැටී අවිනිශ්චිතතාව පමණක් ඉතිරිව තිබෙන මොහොතක එය වයස් භේදයකින් තොරව සියලු දෙනාට බලපාන බව අප දන්නවා. විශේෂයෙන්ම තරුණ හා පාසල් යන දරුවන් ඉන්නේ අනාගතය පිළිබඳ විශාල බියකින්.

එහිම අනෙක් කාරණය තමයි මේ අසහනය, පීඩනය තීව්‍ර කිරීම සඳහා තවත් පිරිස් විවිධ වැඩපිළිවෙළ ගෙන යෑම. ඔවුන් එසේ කරන්නේ මුදල් ඉපයීම, බලය ලබා ගැනීම වැනි කාරණා නිසයි. මෙවැනි වැඩසටහන් ආර්ථික, දේශපාලනමය, සමාජමය කාරණා සියල්ල ප්‍රයෝජනයට ගනිමින් සිදු කරනවා. උදාහරණයක් විදිහට අනාගතය ස්ථාවර කරගැනීම සඳහා යැයි කියමින් කූට මුදල් උපයන්නන් දරුවන්ට ව්‍යාජ අධ්‍යාපනික පාඨමාලා හඳුන්වාදී ප්‍රචලිත කරවීම, ඒ ඔස්සේ ආකල්ප ප්‍රචලිත කරවමින් දරුවන්ගේ මුදල් වංචා කිරීම වැනි කාරණා දැක්විය හැකියි. මෙවන් අය සාමාන්‍ය දරුවෙකුට ලැබිය හැකි අධ්‍යාපනය හෑල්ලුවට ලක් කරමින් එය දරුවන්ට එපා කරවීම වැනි දේ සිදු කරනවා.

එසේම රටට නොගැළපෙන දේවල් මත්ද්‍රව්‍ය වැනි දේ සඳහා දරුවන් යොමු කිරීම ඔස්සේ මුදල් ඉපැයීම සූක්ෂ්මව සහ ඉතාම බරපතළ ලෙස සිදු වෙනවා.

සෑම කාර්යයකදීම මනස ලිහිල්ව තබා ගැනීම වැදගත් වන ආකාරය පෙන්වා දෙන්න?

ඕනෑම කාරණයකදී මනසේ නිරවුල් බව ඉතා වැදගත් වෙනවා. අනවශ්‍ය ලෙස ආතතියට පත් වීම, අනවශ්‍ය ලෙස කලබල වීම වැනි දේ නිසා සිදු වන්නේ ඕනෑම තත්ත්වයක් තවත් නරක අතට හැරීම පමණයි. ඒ නිසා අධ්‍යාපනය පමණක් නොවෙයි ව්‍යාපාර කටයුතුවලදීත්, සාමාන්‍ය ජීවිතයේදීත් මනස නිරවුල්ව නිදහස්ව පවත්වා ගැනීම පුහුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. අනෙක් කරුණ තමයි මනසේ නීරෝගි බව අපගේ කායික නීරෝගි බවට ප්‍රබලවම හේතු වෙනවා. නීරෝගි බව නැති තැන මොන දේ තිබුණත් පලක් නැහැ. අප සියල්ල කරන්නේ සතුටින් පහසුවෙන් ජීවත් වන්නයි. නමුත් අනවශ්‍ය ලෙස තමන් විසින්ම ජීවිතය අපායක් කරගන්නා පිරිස් ඕනෑතරම් ඉන්නවා. එය එසේ වන්නට ප්‍රධාන හේතුව මානසිකව තමාව හසුරුවා ගැනීමට නොහැකියාව බව බොහෝ දෙනා දන්නෙ නැහැ.

ජීවිතයේ පරාජයන් මතින් යළි නැගී සිටින්නේ කොහොමද?

පරාජයන් කියන්නේම අත්දැකීම් සහ පාඩම් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ හැර සදාකාලික පරාජයන් නැහැ. මනුෂ්‍යයින් කියන්නේම වෙනස්වෙන සහ අනුගත වන පිරිසක්නෙ. ඒ නිසා පරාජයන් තුළින් ඉගෙනගෙන ජයග්‍රහණ කරා යාමට ඒ අත්දැකීම් පාදක කරගත යුතුයි. එසේ කරන්න කරන්න කෙනෙක් වැඩි වැඩියෙන් ශක්තිමත් වෙනවා වගේම දැනුමෙන් සහ අවබෝධයෙනුත් වැඩෙනවා.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT