Home » කොස්ගොඩ ගෙවල් බිඳින සොරමුළ මෙහෙයවූ කතුන් දෙදෙනා මාට්ටු

කොස්ගොඩ ගෙවල් බිඳින සොරමුළ මෙහෙයවූ කතුන් දෙදෙනා මාට්ටු

by sachintha
April 16, 2024 1:00 am 0 comment

කොස්ගොඩ ප්‍රදේශයේ නිවාස ගණනක් රාත්‍රී කාලයේ දොරවල් කඩා නිවෙස් හිමියන්ට මරණ තර්ජනය කර රන් බඩු හා මුදල් පැහැරගත් සොර කණ්ඩායමක් මෙහෙය වූ කාන්තාවන් දෙදෙනකු සහ ඊට සහාය වූ පුද්ගලයන් දෙදෙනකු අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඉකුත්දා (12) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.

වයස අවුරුදු විසිනවයක් හා හතළිස් වියේ පසුවන මෙම කාන්තාවන් දෙදෙනා කොස්ගොඩ ලෑලි හේත්තුව ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවන් බවත් ඔවුන් නිවෙස්වල දොරවල් කැඩීම සඳහා භාවිත කරන ලද කැති, මන්නා, යකඩ පොලු, කඩු ඇතුළු ආයුධ සමඟ හෙරොයින් මිලිග්‍රෑම් 2410ක් ද අයිස් මත්කුඩු මිලිග්‍රෑම් 3112 ක් ද කොල්ලකන ලද රන් බඩු උකස් තබා බැංකුවෙන් ලක්ෂ පහක් පමණ මුදල් ලබාගත් උකස් බිල්පත් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා සහ කොල්ලකෑම් සඳහා ඔවුන්ට සහාය වන පුද්ගලයන් සිව් දෙනකු පිළිබඳ කොස්ගොඩ පොලිසිය විමර්ශන කටයුතු අරඹා ඇති අතර මෙම කාන්තාවන් දෙදෙනා මීට පෙර ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය බවත් ඔවුන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වූවන්ට මත්ද්‍රව්‍ය ලබා දී නිවෙස්වල තොරතුරු ද සපයා කොල්ලකෑම් සඳහා යොදවන බවත් පොලිසිය කියයි.

ඌරගස්මංහන්දිය, අහුංගල්ල, කොස්ගොඩ යන ප්‍රදේශවල නිවාස රැසක් මොවුන් කොල්ලකෑ බවට තොරතුරු ලැබී ඇති බවත් කළු ඇඳුම් ඇඳ දොරවල් කඩා නිවෙස්වලට ඇතුළු වී නිවැසියන්ට පහරදී මරණ තර්ජනය කොට රන් භාණ්ඩ හා මුදල් ලබාගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

මෙම වැටලීම සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ප්‍රභාත් දේශබන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. උදාර සිල්වා, උ.පො.ප. උපුල්සිරි, පො.කො.වරුන් වන ලක්ෂිත (77725), තරිඳු (104466), ජයමාන්න (12779) ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සිව්‍දෙනාගෙන් කාන්තාවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් එක් පුද්ගලයකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමටත් අනෙක් පුද්ගලයාට ඇප ලබා දීමටත් අධිකරණය විසින් නියෝග කෙරිණි.

බෙන්තොට – එස්. මද්දෙවිතාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT