ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ 123 වැනි ගුණ සැමරුම් උත්සවය පසුගියදා (13) පෙරවරුවේදී මාතර උයන්වත්තේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියසදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ඩලස් අලහප්පෙරුම සහ දොස්තර වික්‍රමසිංහ මහතාගේ දියණිය ඇතුළු පවුලේ ඥාතීහු එක්ව සිටියහ.
වික්‍රමසිංහ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණසමරු උත්සවය පැවැති අතර එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ තමා වික්‍රමසිංහ මහතා දකින්නේ මාක්ස්වාදියකු නොව දේශ සමාජවාදියකු විදියට බවයි. අනාගතය කල් තියා දුටු මහත්මා දේශපාලනයේ නිරත වූ දොස්තර වික්‍රමසිංහ මහතා අවුරුදු අනූවකට පෙර මෙරට අනාගතය පැහැදිලිව දැක අදහස් ඉදිරිපත් කළ බවද ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන මහතා කියා සිටියේ හිරගෙදරට ගියත් ප්‍රජා අයිතිය අහෝසි වුණත් දොස්තර වික්‍රමසිංහ සහෝදරයා සිය ප්‍රතිපත්තිය වෙනස් නොකළ අතර අද ඇමැතිකම්වලට ඇමැතිකම් භාගවලට තනතුරුවලට සම්බන්ධීකරණ සභාපතිකම්වලට වාහනයට, ජීප් රථයට දේශපාලනය නැමෙන සමාජයක ඔහු කිසිවක් නොසලකා මැරෙනතුරු කටයුතු කළ බවයි.
ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි