Home » කාන්තාවකගේ ගෙල බැඳි රන් මාල දෙක කොල්ලකෑ සැකකරු ඒගර්ගේ සහායෙන් දැලේ

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාල දෙක කොල්ලකෑ සැකකරු ඒගර්ගේ සහායෙන් දැලේ

by sachintha
April 17, 2024 1:00 am 0 comment

හෙල්මටයක් පැලඳ සුදු ටී ෂර්ට් එකකින් මුහුණ ආවරණය කරගෙන පැමිණ වත්තේගම යටිරාවන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගෙල බැඳි රන් තැල්ල හා මාල දෙකක් පැහැරගෙන පලාගිය සැකකරුවකු සිද්ධියෙන් පැය හයක් ගත වන්නට මත්තෙන් පොලිස් නිල සුනඛ ඒගර්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

අලුත් අවුරුදු උදාවෙන් පසු 14 වැනිදා අදාළ කාන්තාව මිදුල අතුගාමින් සිටියදී සැකකරු පෙරවරු 6.05ට පමණ පැමිණ මෙම කොල්ලය සිදු කර ඇත.

කොල්ලය සිදු කළ පුද්ගලයා සම්බන්ධව කිසිදු හෝඩුවාවක් නොවීම හේතුවෙන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සැරයන් (42320) ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිල සුනඛ ඒගර්ගේ සහාය ලබා ගෙන තිබේ.

ඒගර්ට ඉව ලබාදීම සඳහා කිසිවක් පෙනෙන්නට නොතිබීම නිසා පැමිණිලිකාරියගෙන් ලබාගත් තොරතුරු මත සැකකරු පලා ගිය මාර්ගය නිරීක්ෂණය කිරීමේදී එහි වැටී තිබී සුදුපාට ටී ෂර්ටයක් හා කුඩා පිහියක් හමු වී ඇත.

එමඟින් ලබාදුන් ඉව ඔස්සේ ගමන් කළ ඒගර් පැමිණිලිකාරියගේ නිවසේ සිට මීටර් 200ක පමණ දුරින් පිහිටි අලුතින් ඉදි කෙරෙමින් පවතින නිවෙසකට ගොස් නැවතී තිබේ.

ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී බීමතින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. සැකකරු එක් රන් මාලයක් විකුණා ලබාගත් මුදලින් මත්පැන් පානය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

ඒගර්ට ඉව ලබාදුන් ටී ෂර්ටය සහ කුඩා පිහිය සැකකරුට අයත් ඒවා බව හෙළිව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT