Home » රැඳවූවන් 30,000කට අවුරුදු කිරිබත්

රැඳවූවන් 30,000කට අවුරුදු කිරිබත්

by sachintha
April 17, 2024 1:00 am 0 comment

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරමින් රැඳවූවන් 30,000කට අධික පිරිසකට අවුරුදු කිරිබත් ලබාදීම මෙරට සියලු බන්ධනාගාරවලදී පසුගිය අවුරුදු දිනයන්හිදී සිදු කෙරිණි.

මෙරට බන්ධනාගාර 28කදී කිරිබත් කැට 30,108ක් රැඳවූවන්ට බෙදා දුන් අතර කොළඹ බන්ධනාගාරවල මෙම අවුරුදු කිරිබත 13 වැනිදාත් තවත් බන්ධනාගාර රැසක 14 වැනිදාත් බෙදා දීම සිදු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසීය.

කොළඹ රිමාන්ඩ්, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයන්හි පමණක් කිරිබත් කැට 8551ක් අලුත් අවුරුදු දිනයදා (13) උදෑසනදී රැඳවූවන්ට බෙදා දීම සිදු කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ පිළියෙල වුණු අවුරුදු කිරිබත ලංකාවේ පිළියෙල වුණු ලොකුම අවුරදු කිරිබත යැයි සැලකෙන අතර ඒ සඳහා හාල් කිලෝග්‍රෑම් 450ක් සහ පොලි ගෙඩි 1000ක් යොදාගෙන ඇත. එයින් කපාගත් කිරිබත් කැට ප්‍රමාණය 3677ක් වන අතර එක් රැඳවූවකුට ග්‍රෑම් 125ක ප්‍රමාණයැති කිරිබත් කැටයක් හිමිව තිබේ. එම කිරිබත් සඳහා ලුණු මිරිසක්ද පිළියෙල වූ අතර ඒ සඳහා ලූනු කිලෝග්‍රෑම් 70ක් ද මිරිස් කිලෝග්‍රෑම් 07ක් ද යොදාගෙන ඇත. මෙම කිරිබත පිළියෙල කිරීම 12 වැනිදා රාත්‍රී 10ට පමණ වැලිකඩ බන්ධනාගාර මුළුතැන්ගේ පරිශ්‍රයේදී, රැඳවූවන් 200කගේ පමණ සහභාගිත්වයෙන් ඇරැඹුණු අතර 13 වැනිදා අලුයම 4.00 සිට කිරිබත් සහ ලුණු මිරිස් රැදවූවන්ට බෙදා දීම සිදු කළ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි ධම්මික දසනායක මහතා දිනමිණට කීය.

එයට අමතරව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් වෙනුවෙන් කිරිබත් කැට 2641ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවූවන් වෙනුවෙන් කිරිබත් කැට 2233ක් ද අලුත් අවුරුදු කිරිබත් පිළියෙල කරමින් ලබාදී තිබේ.

මෙයට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රැඳවූවන්ගේ දහවල් ආහාරය සඳහා කහ බතක් පිළියෙල කර ලබා දීම ලංකාවේ සෑම බන්ධනාගාරයකම සිදු කෙරුණු අතර වැලිකඩ බන්ධනාගාරයේ පමණක් හාල් කිලෝග්‍රෑම් 750ක කහබතක් පිළියෙල කර වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය සහ වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳවූවන්ට බෙදා දීම සිදු කර ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT