Home » දුවලා-පුතාලා-බෑනලා පක්ෂ හදාගෙන අම්මව තනි කළා – හිටපු ජනාධිපති මෛත්‍රී
මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළ අවස්ථාවේ

දුවලා-පුතාලා-බෑනලා පක්ෂ හදාගෙන අම්මව තනි කළා – හිටපු ජනාධිපති මෛත්‍රී

by sachintha
April 18, 2024 1:00 am 0 comment

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ දුවලා, පුතාලා සහ බෑනලා එක එක පක්ෂ හදාගෙන අම්මව තනි කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එවිට එතුමියගේ තනි රකින්න සිටියේ තමන් ඇතුළු පිරිසක් පමණක් යැයි ඒ මහතා කීවේය.

ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 108 වැනි ජන්ම දින සැමරුම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී ඊයේ (17) පැවැති අතර එම අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීවේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රතිමාව දිහා බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය හැකි දැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් කීවේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකරන බවත් එසේ තමන් වංචාවක් සිදු කර ඇත්නම් එය හෙළි කරන ලෙස ඕනෑම අයකුට අභියෝග කරන බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යම් අර්බුදයකට අද මුහුණ දීල තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද තිබෙන අර්බුදයට වඩා බොහොම ලොකු අර්බුදයක් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පස්සේ හැදුණා. දුවලා, පුතාලා, බෑනලා සියලු දෙනාම එක එක පක්ෂ හදාගෙන අම්මව තනි කරපු වෙලාවේ ඒ ශ්‍රේෂ්ඨ මාතාවගේ තනි රකින්න අප හිටියා. මේ තිබෙන රටාව තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රතිමාව දිහා බලාගෙන අපට පුළුවන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු විදියට වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙන්න කියලා මම තමුන්නාන්සේලගේ හෘද සාක්ෂියෙන් අහනවා. මේ රටේ නොයකුත් තාන්න මාන්න ගන්න අය ඇති. මම මේ පක්ෂයට පත්වුණදා ඉඳලා අද දක්වාම කිසිම පුද්ගලයකුගෙන් සතේක මුදලක් අරගෙන නැහැ. වංචා කරලා නැහැ. යැයිද කීවේය.

 

නුවන් කොඩිකාර

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT