Home » පිටකොටුවේ අනවසර කඩ පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

පිටකොටුවේ අනවසර කඩ පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

by chanaka
April 18, 2024 1:01 pm 0 comment

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.

ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. ඔහු පවසන්නේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි.

එබැවින් කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙසයි.

එම අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් දැනුවත් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුල්ම දැනුම්දීම සිදුකර ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 20 වැනිදාය. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාව විසින් පසුගිය ජනවාරි මස 02 වැනිදා වෙළඳසැල් හිමියන් සියලුම දෙනාට දින 14ක් ඇතුළත වෙළඳසැල් ඉවත්කර ගන්නා ලෙසට ලිඛිතව දැනුම් දී ති‍බේ. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම මෙම වෙළඳසැල් හිමියන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට වාචිකව උපදෙස් ලබාදුන් බවද කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නමුත් නියමිත කාලයේදී ඉන් ඉවත් නොවූ නිසා පසුගිය 16 හා 17 දෙදිනතුළ මෙම අනවසර වෙළඳසැල් ඉවත්කිරීමට පියවර ගත් බවද ඉංජීනේරුවරයා සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ මෙම වෙළඳසැල් ඉවත්කිරීමට නගර සභාවට වැයවූ මුදල ඉදිරියේදී ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවයි.

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකායේ ශ්‍රවණාගාරයේදී ඊයේ (18) පැවැති එම මාධ්‍ය හමුවේදී නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා මෙසේද පැවසීය.

අපි 2013 දී මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් ඉවත් කළාට පසුව, පසුගිය කොවිඩ් හා අරගලය පැවති සමයේදී යම් යම් සංවිධානාත්මක පිරිස් විවිධ කාලසීමාවන්වලදී පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට වෙළඳසැල් ඉදිකර තිබුණා. ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට දැනුම්දී තිබුණත් ඉවත් නොවූ නිසා මෙම වෙළඳසැල් ඉවත්කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීමක් කළා.

මේ වනවිට කොළඹ මැනිං වෙළඳපොළේ පමණක් අනවසර වෙළඳසැල් 231ක් තිබෙන බවට හඳුනාගෙන ඇතැයිද ඔහු කීය. එම වෙළඳසැල් ඉවත් කිරීම පිළිඳවද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර එම වෙළඳසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අනුකමිටුවක් පත්කර තිබෙන බවද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

නාගරික සංවර්ධණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ජපාන ආයෝජකයකුට ලබාදෙන බවට වාර්තා පළවුවද ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු ගිවිසුමකට එළඹ නැති බවයි. නමුත් එම ව්‍යපෘතියේ වටිනාකර සම්බන්ධයෙන් මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවද ඔහු කීය.

එමෙන්ම මෙම වෙළඳ සැල් ඉවත් කිරීම හා පාවෙන වෙළඳ සංකීර්ණය ජපානයට ලබාදීම අතර කිසිඳු සම්බන්ධයක් නැති බවයි.

ජනතාවට හිතෙන හිතෙන ආකාරයට අනවසර ඉදිකිරීම් සිදුකිරීමට නීතියෙන් කිසිඳු අයිතියක් නැතැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් අයුතු ලාභ ප්‍රයෝජන ලබාගන්නා බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT