Home » පොලිසියක් හදන්න කියා ගත් ගල්වෙහෙර පැරණි බාලිකා විදුහල් භූමියේ අයිතිය තවමත් පොලිසියට

පොලිසියක් හදන්න කියා ගත් ගල්වෙහෙර පැරණි බාලිකා විදුහල් භූමියේ අයිතිය තවමත් පොලිසියට

-බළපිටියේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීමටත් බාධා

by sachintha
April 18, 2024 1:27 am 0 comment

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අවුරුදු අටක් තිස්සේ අහුන්ගල්ල ගල්වෙහෙර පැරණි බාලිකා විදුහල් භූමියේ අයිතිය භාර නොදීම හේතුවෙන් බළපිටිය අතිරේක දිස්ත්‍රික් හා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීමට නොහැකි වී ඇති බව බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් පී. ද සිල්වා සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න ශ්‍රී සාලිය මැන්දිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණ. රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් පී. ද සිල්වා මහතා කතා කරමින්, කාලයකට පෙරදී වැසී ගිය මෙම විදුහල් භූමියේ අතිරේක දිස්ත්‍රික් හා මහේස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීමට චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතා යෝජනා කර තිබෙන බවත්, මේ වන විට එහි තත්ත්වය කුමක්ද කියාත් විමසීය.

ඊට පිළිතුරු දෙමින් බළපිටිය ප්‍රාදේශීය මහලේකම් මාලක ජයසිංහ මහතා කියා සිටියේ, මීට කලකට පෙරදී අහුන්ගල්ල පොලිසිය ඉදිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ඉඩම භාර දී ඇති බවයි. මේ වන විට පොලිසිය වතුරෙගම ප්‍රදේශයේ ඉදිකර තිබෙන බැවින් මෙම ඉඩම ඒ අයට අවශ්‍ය නොවන නමුත් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම ඉඩමේ භුක්තිය අවුරුදු අටක් තිස්සේ භාර නොදෙන බවද හෙතෙම අනාවරණය කළේය. මේ හේතුවෙන් පාසල් ගොඩනැඟිල්ල නිකරුණේ ගරා වැටෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා වැඩිදුරටත් එහිදී මෙසේ පැවසීය.

“පොලිස්පතිට දැනුම් දී මෙම විදුහල් භූමියේ අයිතිය පවරා ගත යුතුයි. මෙසේ අයිතිය භාර නොදීමෙන් බළපිටිය ජනතාවට වන්නේ අසාධාරණයක්. වටිනා පාසල් ගොඩනැඟිල්ල ගරා වැටීම මහා අපරාධයක්. එය අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගත යුතුයි.”

 

අහුන්ගල්ල සමූහ – අනුර යසමිත් ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT