Home » ජිරාෆ් අනුරුවක් ඇඟට වැටී මිය ගිය පුංචි චේතියගේ පශ්චාත් මරණ පරීක්ෂණය: පුතා ඇඳේ නිදාගෙන ජිරාෆ්ගේ පිටෙන් එයා වැටුණා කියලා කීවා

ජිරාෆ් අනුරුවක් ඇඟට වැටී මිය ගිය පුංචි චේතියගේ පශ්චාත් මරණ පරීක්ෂණය: පුතා ඇඳේ නිදාගෙන ජිරාෆ්ගේ පිටෙන් එයා වැටුණා කියලා කීවා

by sachintha
April 19, 2024 1:24 am 0 comment

බලද්දී පිටේ සීරීමක් විතරයි තිබුණේ – මව හඩා වැටෙමින් සාක්කි දෙයි

සිංහල අලුත් අවුරුද්දේ අසිරිය වඩාත් මිහිරි ලෙස විඳින්නේ කුඩා දරුවන්ය. අනතුර, අවදානම ගැන සිතනවාට වඩා දරු පැටවුන්ගේ සිත්වල ඇත්තේ අසිරියේ මිහිර නොඅඩුවම විඳ ගැනීමයි.

වෙනදා පාඩම් කරන්න ගණන් හදන්න ගෙදර පාසල් වැඩ කරන අම්මලා තාත්තලාගෙන් ද නිදහස ලැබෙන අවුරුදු සමයේ එහි සතුට උපරිමව විඳ ගන්න අපේ පොඩිත්තෝ කටයුතු කරති. අවුරුද සැමරුම් අස්සේ සිදු වූ මේ ඛේදවාචකය කාටත් දරා ගත නොහැකි ශෝකාන්තයකි. මේ හඩ දරු ස්නේහයෙන් හඩා වැටෙන මවගේය.

‘අපේ ගෙවත්තේ තැන තැන සුරතල් සතුන්ගේ රූප සවි කර තිබෙනවා.ඒ අතර අඩි හතක් වගේ උස ජිරාෆ් අනුරුවකුත් තිබුණා. එදා 14දා පුතා ගෙවත්තේ තනියම සෙල්ලම් කර කර ඉන්න අතරේ අර ජිරාෆ් අනුරුවේ පිටට නඟින්න බෙල්ලෙ එල්ලිලා. එතකොටම පුතාත් යට කරගෙන ඒක පුතාගෙ ඇඟට වැටිලා. ඔය වෙලාවේ මම හිටියේ මුළුතැන්ගෙයි.

ඒ ඉන්න කොට පුතා මා ළඟට ඇවිත් ඇහුවේ කිරි අම්මලාගෙ ගෙදර ඔන්චිලි පදින්න යන්න ද කියලා. ඒ අහලා ගිහින් තමයි ඔය සිද්ධිය වෙලා තිබෙන්නේ. ටික වෙලාවකින් පුතා ඇඳේ නිදාගෙන මට කිව්වා එයා ජිරාෆ්ගේ පිටෙන් වැටුණා කියලා.

මම පුතා පරීක්ෂා කර බැලුවා. පිටේ සුළු සීරීමක් හැර වෙන තුවාලයක් තිබුණේ නැහැ.

මම මිදුලට ගිහින් බැලුවා. බලනකොට ජිරාෆ් පෙරළිලා. මම මල්ලිත් එක්ක පුතා හෙට්ටිපොළ පෞද්ගලික රෝහලකට ගෙන ගියා. එහිදී වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලලා වහාම කුලියාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී පුතාට කඩිනමින් ප්‍රතිකාර කළා. වෛදවරු විශාල පරිශ්‍රමයක් ගත්තත් මගෙ පුතා බේර ගන්න බැරිවුණා. රාත්‍රි 8.45ට පමණ අපේ පුතා අපව දාලා ගියා.’

පසුගිය අප්‍රේල් 14 වැනිදා කොන්ක්‍රීට් ජිරාෆ් අනුරුවකට යටවීම නිසා මිය ගිය හෙට්ටිපොළ කනිෂ්ඨ විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හෙට්ටිපොළ මණ්ඩපොළ ජයසිරිගම පදිංචි චේතිය දෙනුවන් ජයතිලක නම් අට හැවිරිදි දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් චේතියගේ මව නිලුකා සුභාෂිණී බන්නැහැක මහත්මිය එසේ පැවසුවාය.

අවුරුදු උදාවත් සමඟ එහි සතුට පරයා පැන නැඟුණු මේ ඛේදවාචකයේ සාක්ෂිකාරියක වන්න තරම් අවාසනාවන්ත වූ අම්මා එසේ පැවසූ මේ කඳුළු කතාවෙන් මතු වූ කඳුළු ගංගාව තවමත් පඬුවස්නුවර පුරය සිසාරා යයි.

කුලියාපිටිය හෙට්ටිපොළ මණ්ඩපොළ ජයසිරිගම පදිංචි ලක්මාල් දිල්රුක්ෂ ජයතිලක ප්‍රදේශයේ ප්‍රක⁣ට ව්‍යාපාරිකයකු මෙන්ම බොහෝ ජාතික ආගමික සාමාජික කටයුතුවලදී පුරෝගාමීව කටයුතු කරන සමාජ සේවකයෙකි. කලා රසිකයෙකි.

ප්‍රදේශයේ බොහචේතියස්ථානවල දියුණුව සඳහා සිය කාලය ධනය ශ්‍රමට වැය කරන මේ ව්‍යාපාරිකයා කලාවට කෙතරම් ප්‍රිය ද යත් ශ්‍රී ලංකාවේ සුපතල වාදක මඩුල්ලක් වනÓආශාවරීÓවාදක මඩුල්ලේ පරිහරණයට නවීන බස් රථයක් පවා පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ රසිකයෙකි.

ප්‍රිය බිරිය නිලූකා සුභාෂනී බන්නැහැක සමඟ වැඩිමහලු දියණිය කුලියාපිටිය සාරානාත් ජාතික පාසලේ 12 ශ්‍රේණිය ඉගෙනුම ලබන මල්ෂා ජයතිලක, හෙට්ටිපොළ ආදර්ශ ප්‍රාථමිකයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චේතිය දෙනුවන් ජයතිලක එකම පුතු සහ තවමත් පූර්ව ළමා වියේ පසුවන දෙව්මිණි ජයතිලක සිඟිති දියණිය (දරු තිදෙනා)සමඟ ගත කළේ අතිශයින්ම සරල සැහැල්ලු ප්‍රීතිමත් දිවි පෙවෙතකි.

රටම එකට ඉටුකළ අවුරුදු චාරිත්‍ර 13දා මධ්‍යම රාත්‍රියේ සතුටින් ඉටුකළ මේ එකමුතු පවුල සඳුදා එනම් අප්‍රේල් 14දා පවුල පිටින්ම ගියේ ලක්මාල් ජයතිලක නම් ව්‍යාපාරිකයාට ගොඩනැඟෙන්න මඟ පෙන් වූ ආදරණීය ව්‍යාපාරික වැඩිහිටියා බැහැ දැක අලුත් අවුරුද්දේ බුලත් දී සිය පවුලේ කෘතවේදී ගෞරවය පුද කිරීමටය.

එසේ අවුරුදු නෑගමන ගොස් ආපසු නිවසට පැමිණීමෙන් පසු සිදු වූ මේ අනපේක්ෂිත විපත සමඟ දරුවාට අවසන් බුහුමන් දක්වන්න රට පුරා සිව් දෙසින් ජන ගංගාවක් හෙට්ටිපොළට ඇදී ආහ. ඒ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහත්වරු ද වූහ. හෙට්ටිපොළ මණ්ඩපොළ දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථ ශ්‍රී මේධංකර දහම් පාසලේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි දෙනුවන් එහි දී දැක් වූ බොසත් ගුණය සහ දක්ෂතා පිළිබඳව අප හා අදහස් දැක්වූයේ විහාරාධිපති ශාස්ත්‍රපති වහන්තරේ සිද්ධත්ත හිමියන්ය.

‘මරණයෙන් පසු අතිශයෝක්තියෙන් කියනවා නොවෙයි.හෘදයාංගමවයි කියන්නේ.මේ දරු තිදෙනා ඒ අම්මා තාත්තත් අපේ විහාරයේ කුළුපඟ දායක පවුලක සාමාජිකයන් හැටියට කටයුතු කළේ.

ඔය දෙනුවන් පුතා රංගනයට, නර්තනයට ගායනයට හරිම දක්ෂයි. පසුගිය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීත් ඒ බව මනාව පසක් කළා.’ ජීවිතයේ අනියත බව මනාව පසක් කරමින් මුළු හෙට්ටිපොළම අවුරුදු සතුට වෙනුවට කඳුළ දායාද කරමින් චේතිය දෙනුවන් ජයතිලක පුතු සිය දෙනුවන් පියා ගත්තේ රටට සහ අපට ⁣සිතන්න බොහෝ දේ ඉතිරි කරමිනි.

පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.එම්.ඩබ්ලිව්.කුමාර මහතා පැවැත් වූ අතර මරණ පරීක්ෂණය කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක නන්දන පී.හෙට්ටිගේ මහතා විසින් පවත්වන ලදී. මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වූ හානි සහ අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් මේ මරණය සිදු වී ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය. හෙට්ටිපොළ පොලිසියේ පොලිස් සැරයන්(59861) විජේ බාලසූරිය මහතා සාක්ෂි මෙහෙයවීය.

කුලියාපිටිය විශේෂ තාරක විජේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT