Home » විදුලිසර වැදී පුතා මිය ගිය කතාව අදහාගන්න බෑ: පුතාගේ දේහය ඇස් දෙකෙන් දකිනකම් මට හිතාගන්නත් අමාරුයි

විදුලිසර වැදී පුතා මිය ගිය කතාව අදහාගන්න බෑ: පුතාගේ දේහය ඇස් දෙකෙන් දකිනකම් මට හිතාගන්නත් අමාරුයි

by sachintha
April 19, 2024 1:00 am 0 comment

පුතාගේ වියෝවෙන් කම්පා වී සිටින පියා කියයි

‘ලස්සන ගෙයක සිහිනය සැබෑ කරන්න රන් කහවනු සොයා කටාර් රාජ්‍යයට ගිය මගේ රත්තරන් පුතා දුරකථනයෙන් කතා කරද්දි විදුලි සර වැදී මිය ගියා කියා අලුත් අවුරුද්ද ලබන විටම 13දා උදේ කියපු පුවත මට අදහාගන්න බැහැ. මගේ පුතාගේ මිනිය ඇස් දෙකෙන් දකිනකම් මට ඒ ගැන අදහන්නත් බෑ.මගේ පුතාගේ දේහයවත් ගෙනැත් දෙන්න කියන්න පින් අයිති වෙයි ‘ තම වැඩිමල් පුතාගේ අකල් වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටින පොල්පිතිගම,උල්පත පල්ලේකැලේ පදිංචි එච්.එම්.සෙනෙවිරත්න මහතා පැවසීය.

කටාර් රාජ්‍යයට විදුලි කාර්මික රැකියාවකට ගිය පොල්පිතිගම,උල්පත පල්ලේකැලේ පදිංචිව සිටි එච්.එම්. ජානක චතුරංග සෙනෙවිරත්න නැමැති 27 හැවිරිදි අවිවාහක පුතා ගැන පියා එහිදී මෙසේද කීවේය.

‘අපේ පවුලේ හතර දෙනයි. වැඩිමල් පුතා තමයි මේ නැති වෙලා ඉන්නේ.ඔහුට මල්ලියෙක් හා නංගි කෙනෙක් ඉන්නවා. මීට ඉස්සරලත් පුතා රට ඉදලා ආවේ. පස්සේ ගිය අවුරුද්දේ ලංකාවේ ජීවත් වෙන්න රැකියාවක් නෑ කියලා කටාර්වලට ගියා. ඒ මේ ගෙයි ඉතිරි ටික ඉවර කරගන්න සල්ලි හොයා ගන්න තමයි ආයෙ ගියේ. පුතා එහෙ හොඳින් හිටියා. වැටුප් පවා වරින් වර එව්වා.අම්මාට පවා නිතර නිතර කතා කෙරුවා.කිසිම අසනීපයක් තිබ්බේ නෑ.

අවසන් වරට පුතා අප්‍රේල් 12 වැනිදා ගලේවෙල ඉන්න හිතවත් දුවෙක් එක්ක කතා කර කර සිටිද්දිත් පුතාගේ කටහඩ නැතිව ගියාලු. ෆෝන් එක විතරක් වැඩ.යම් සැකයක් තිබෙනවා කියා ඒ දුව අපට කතා කර කිව්වා. ඊට පස්සේ අපේ බාල පුතත් අයියාට කෝල් ගත්තා. පුතාගේ ෆෝන් එක වැඩ. එහෙත් කතාවක් නැහැ. ඉන් අනතුරුව රට පුතාගේ යහළුවෙකුට කතා කෙරුවාම ඔහු තමයි 13 උදේ කිව්වේ 12දා රාත්‍රියේදී ෆෝන් එක චාජරයට ගහලා වයර් ගලවන්නේ නැතිව කතා කරද්දී විදුලිය වැදිලා එය මැරිලා කියලා. අපි ඒ ගැන හොයනකම් කිසි කෙනෙක් පුතාට වෙච්ච මේ අපරාධය

කිව්වේ නැහැ. පුතාට විදුලිය වැදුණා නම් ෆෝන් එක පිච්චුණේ නැත්තේ ඇයි. මොනා වුණාද කියන්න අපට තේරෙන්නේ නෑ. තේරුණත් ආයේ පුතාට පණ එන්නෙත් නැහැ. ඒ හින්දා මැරුණු පුතාගේ මෘත දේහයවත් අපට ඇස් දෙකෙන් බලා හිත හදා ගන්න ලංකාවට ගෙනැත් දෙනවා නම් ඒ බලධාරින්ට පින් සිදු වෙනවා’

ඒ සම්බන්ධව අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ද විමසීමක් කළෙමු.

‘ඔහු මිය ගිය බවට තානාපති කාර්යාල හරහා සනාථ කර තිබෙනවා.හැබැයි මරණයට හේතුවක් තවම නිශ්චිතව කියා නැහැ. එතෙක් ඒ සම්බන්ධව අපටත් මොකුත් කියන්න බැහැ. එහෙත් පවුලේ උදවිය පන්සලේ හාමුදුරුවොත් එක්ක අපි හමුවෙන්න ආවා.ඒ අයට මරණ පරීක්ෂණයක් නැතිව ඉක්මනින්ම මෘත දේහය ගෙනැත් දෙන්න කියා ඉල්ලීමක් කෙරුවා.මේ මාසේ අවසන් වීමට පෙර එය ගෙනත් දීමට අපත් උපරිම උත්සාහයක් දරනවා’ යැයි නිලධාරියෙක් පැවසීය.

පොල්පිතිගම නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT