Home » ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකා සාකච්ඡාවට IMF පූර්ණ සහාය

ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකා සාකච්ඡාවට IMF පූර්ණ සහාය

by sachintha
April 19, 2024 1:30 am 0 comment

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එම පාර්ශ්වයන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු විධිමත් තක්සේරුවක් ලබාදෙන බව ද ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව ද එම අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබෙන අතර ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබූ අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයන් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කර හිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වුවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ද එම වෙබ් අඩවිය පවසයි. එහිදී ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණීමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු ‘සාර්ව සම්බන්ධිත බැඳුම්කර’ සම්බන්ධයෙන් බව ද සඳහන් වෙයි.

බැඳුම්කර හිමියන්ගේ සැලැස්මේ ‘මූලික පරාමිතීන්’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට ඇතුළත් කර ඇති ඒවාට නොගැළපීම ප්‍රධාන බාධාවක් බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන අතර ඔවුන්ගේ සාකච්ඡා කඩිනමින් ඉදිරියට ගෙන යන ලෙස දෙපාර්ශ්වයම දිරිගන්වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර ඇති නවතම යෝජනා එම වැඩසටහනේ පරාමිතීන් තුළ තිබේදැයි තක්සේරු කිරීමට ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරයි.

ශ්‍රී ලංකාව පසුගිය 2022 වසරේ මැයි මාසයේදී සිය විදේශ ණය පැහැර හැර මාස කිහිපයකට පසුව ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර අවසානයේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසයේ ගිවිසුමකට පැමිණ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබාදීමට ප්‍රථම ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව සැලකීමේ අවශ්‍යතාවට අනුකූලව මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT