Home » කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉතා පැහැබරයි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉතා පැහැබරයි

by sachintha
April 19, 2024 1:42 am 0 comment

දැන් හොඳ ප්‍රතිඵල එන්න පටන් අරන්

ක්‍රිකට් පිටියේ රැජන චමරි අතපත්තු කියයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉතා පැහැබර එකක් බවත්, මෙතෙක් කළ කැපවීම හේතුවෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, දැන් හොඳ ප්‍රතිඵල එන්න පටන් අරගෙන ඇති බවත්, වාර්තා පිට වාර්තා බිහිකරමින් සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි.

දකුණු අප්‍රිකාවේදී විස්සයි20 හා එක්දින ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමා කළ කාන්තා ක්‍රිකට් පිල අද ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගීවීම උදෙසා දකුණු අප්‍රිකාවේ සිට අබුඩාබි වෙත පැමිණෙන අතර එහි පළමු තරගය මේ 25 වැනිදා ටොලරන්ස් ඕවල් පිටියේදී තායිලන්තය සමඟ පැවැත්වීමට නියමිතය.

“මට මගේ කණ්ඩායම ගැන හොඳටම විශ්වාසයි. අපි මේ වන විට ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ තත්ත්වයන් පවතින තණතිලි අපට හමුවෙනවා. ඒ තණතිලි පිතිකරණයට ඇත්තෙන්ම හොඳයි. සෑම කණ්ඩායමක්ම සුදුසුකම් ලැබීමේ තරගවලට යන්නේ ජයග්‍රහණය කිරීමටයි. ඒ නිසා අපි කණ්ඩායමක් ලෙස අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවලදී මගේ පන්දු යැවීමේ අංශය සහ පිතිකරණ අංශය ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා” චමරි අතපත්තු පැවසුවාය.

“මම ඇත්තටම සතුටු වෙනවා අපේ තරුණ ක්‍රීඩිකාවන් පිටිය මැද පීඩනය හසුරුවන ආකාරය පිළිබඳව. විශේෂයෙන්ම විශ්මි, කවිෂා සහ හර්ෂිතා වැනි ක්‍රීඩිකාවන්. තෙවැනි තරගයේදී නිලක්ෂි හොඳින් ලකුණු අතරට ආවා. මමත් කැමැතියි පීඩනය මැද ලකුණු ලබා ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ දවස් වගේම නරක දවස් තියෙන්න පුළුවන්. වැදගත් දේ කණ්ඩායමක් ලෙස වැරදි අඩුවෙන් කොට උපරිමය රට වෙනුවෙන් ලබා දීමයි. අපේ ක්‍රීඩිකාවන් පසුගිය මාස කිහිපය තුළ ඇත්තෙන්ම හොඳ මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. ඒ වගේම අපි කණ්ඩායමක් හැටියට ගැඹුරෙන් ක්‍රියාත්මක වෙනවා” චමරි සඳහන් කළාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව යටතේ ගෙවුණු මාස 10ක කාලය තුළ එක්දින තරගවලදී එංගලන්තකය, නවසීලන්තය, බංග්ලාදේශය පරාජය කළ අතර දකුණු අප්‍රිකාව සමඟ තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා විය. විස්සයි20 තරගවලදී එංගලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකා කණ්ඩායම් පරාජයට පත් කරමින් දක්ෂතා දැක්විය.

“අපි රටක් ලෙස සහ ක්‍රීඩකාවන් ලෙස පෞද්ගලිකව වෙහෙස මහන්සි වී වැඩ කළා. අපේ දේශීය ක්‍රිකට් තරගාවලි අලුත් මුහුණුවරක් ගත් නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා තරග ක්‍රියාත්මක වෙනවා. අපේ අවුරුදු 19න් පහළ තරගාවලි, 17න් පහළ තරගාවලි, පළාත් තරගාවලි සහ ක්‍රීඩා සමාජ තරගාවලි හොඳින් පවත්වාගෙන යන නිසා ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන මාර්ග ඇතිවී තිබෙනවා. දැන් හොඳ ප්‍රතිඵල එන්න පටන් අරගෙන තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් සහ පාසල් සිසුවියන් වැඩි වශයෙන් ක්‍රිකට් ගහන්න පටන් අරන් තියෙන එක සතුටට කරුණක්” චමරි අතපත්තු පැවසුවාය.

 

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT